මොකක්ද මේ ශරියා විශ්ව විද්‍යාලය?

• ඉඩම දුන්නේ මහවැලියෙන් – අනුමැතිය ගිය ආණ්ඩුවෙන්
• සෞදියෙන් මිලියන 4320ක් ලැබිලා
• මේ ආණ්ඩුවෙනුත් යහමින් අත හිත
• ශරියා නීතිය උගන්වන්න වෙනමම දෙපාර්තමේන්තුවක්
• වෛද්‍ය පීඨයකුත් ළඟදීම

මීට වසර හයකට පෙර එනම් 2013 වසරේදී පොළොන්නරුව, මඩකලපුද දිස්ත්‍රික් මායිමේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් පූනානි ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක් ඉදි කිරීම ආරම්භ වන්නේ එවකට පැවති ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයෙකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ මූලිකත්වයෙනි. ඒ වන විට හිස්බුල්ලා කටයුතු කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙනි. ඒ නිසා ආණ්ඩුවේ ද මැදිහත්වීමෙන් හිස්බුල්ලා අමාත්‍යවරයාට පූනානි ප්‍රදේශයෙන් අක්කර හතළිහකට ආසන්න භූමි ප්‍රදේශයක් වෙන් කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවීය. එතෙක් එම ඉඩම් වල හිමිකාරීත්වය එතෙක් පැවතියේ මහවැලි අධිකාරයට සතුව වන අතර මහවැලිය සතු ඉඩම් විවිධ ව්‍යාපාරිකයන්ට සහ දේශපාලන හිතවතුන්ට ලබා දීම ද ජයටම සිදු වූයේ ඒ කාලයේය. ඒ අවුරුදු තිය, හතළිය ආදී විවිධ කාල පරාසයන් සඳහාය. එහෙත් මේ භූමි ප්‍රදේශය ඉහත කී අධ්‍යාපන ආයතනය සඳහා ලබා දී ඇත්තේ වසර අනූ නමයක කාලයක් සඳහා වීම විශේෂයකි. ඉහත කී අධ්‍යාපන ආයතනය ආරම්භ වන්නේ එසේ වෙන් කර ගත් භූමි ප්‍රදේශය තුළය.
වෙන් කර ගත් භූමියේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා හිස්බුල්ලා අමාත්‍යවරයා විසින් එවකට වෘත්තීය පුහුණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් 2013.04.13 දින සිය පෞද්ගලික ලිපි ශීර්ෂය යටතේ වන ලිපියකින් අනුමැතිය ඉල්ලන්නේ වෘත්තීය පුහුණු පාඨමාලා හයක් එහි ආරම්භ කරන බව ද සඳහන් කරමිනි. ඒ යටතේ ප්‍රමාණ සමීක්ෂණය, වැඩබිම් සුපරීක්ෂක, ආහර තාක්ෂණවේදය, සැලසුම් ශිල්පය, තොරතුරු තාක්ෂණවේදය සහ විදුලි සංදේශ සන්නිවේදනය යන පාඨමාලා පැවැතAවීමට එය ආරම්භයේදීම සැලසුම් කර තිබුණි. එම පාඨමාලා සඳහා ලංකාවේ සිසුන් පමණක් බඳවා ගන්නා බවත් සිංහල දෙමළ සහ මුස්ලිම් ඇතුළු ලංකාවේ සියලූම ජාතිකත්වයන්ට අයත් සිසුන්ට එක සේ අධ්‍යාපනය ලැබිය හැකි ලෙස එම ආයතනය ගොඩ නැගනෙ බවද ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේදී සඳහන් විය. එසේ කරන ලද ඉල්ලීමට එවකට පැවති ආණ්ඩුව විසින් ලබා දුන් අනුමැතියට අනුව 2013.08.13 දින වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබීය.
අබ්දුල්ලා මලික් යුනිවර්සිටි කොලේජ් ලෙස ආරම්භයේදී නම් කරනු ලැබූ එහි පරිපාලන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා හයිරා පදනම ( Sri Lanka Hira Foundation ) ලෙස හඳුන්වනු ලැබූ පදනමකින් වන අතර එහි සභාපතිත්වය දරනු ලබන්නේ ද එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාමය. අබ්දුල්ලා මලික් යනු සෞදි අරාබියේ රජුගේ නමයි. ඒ නම මෙම ආයතනය සඳහා යෙදීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ මේ සඳහා සෞදි අරාබිය විසින් මූල්‍යාධාර සැපයීමයි. එහෙත් ඒ කොපමණ මුදලක්දැයි නිල වශයෙන් අනාවරණය නොකළ නමුත් දැනට ලැබී තිඛෙන තොරතුරු අනුව සෞදි අරාබියේ අලී-අල් ජුෆාලි පදනම විසින් රුපියල් මිලියන 4320ක් ලබා දුන් බව හෙළි වී ඇත.
මෙම ආයතනය ආරම්භයේ සිටම ව්‍යාජ සහ රැවටිලිකාරී ලෙස පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබී ඇති බව පළමු වරට පැහැදිළි වන්නේ සෞදි අරාබියේ ඉහත කී පදනම විසින් මේ සඳහා මුදල් ආධාර ලබා දෙන්නේ යැයි පැවසීම අමූලික බොරුවක් බව හෙළි වීමත් සමගය. අටවා ගත් සමාගමකට මුවා වී මේ කියන අබ්දුල්ලා මලික් යුනිවර්සිටි කොලේජ් නමින් ජනතාව ඉදිරියට ගෙන ආ ඊනියා අධ්‍යාපන ආයතනය සඳහා මුදල් ආයෝජනය කර ඇත්තේ ෂෙයික් යෙහාන් අබ්දුල් අෂීස් අල් රෂීඩ් නම් සෞදි ජාතිකයෙකු විසිනි. 2013.08.13 දින ඉහත කී ගිවිසුම අත්සන් කරන්නේ අබ්දුල් අෂීස් අල් රෂීඩ් සහ ශ්‍රී ලංකා ආණAඩුව අතර වීම මගින් මේ රැවටිල්ල සඳහා කොපමණ රාජ්‍ය අනුග්‍රයක් ලැබී ඇත්ද යන්නත් සිතා ගත හැකිය.
කෙසේ වෙතත් එවකට සිටි වෘත්තීය පුහුණු ඇමතිවරයාගේ ද තවත් දේශපාලන නියෝජිතයන් විශාල පිරිසකගේද සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් මුල් ගල් තබා, ඇමති ඩලස් අලහප්පෙරුම ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ගේ පුරසාරම් සහ කයිවාරු කතා වලට මුවා වී ආරම්භ කරන මේ අධ්‍යාපන ආයතයේ නම, ඊට මුල් ගල් තබා වසරක් ඉක්ම යන්නටත් මත්තෙන් 2014 වර්ෂයේදී බැටිකලෝ යුනිවර්සිටි කොලේජ් (Batticaloa University College ) වෙනස් නාමකරණයක් ලබන්නේ කිසිදු හේතුවක් නොමැතිවය. එතැනින් නොනැවතී 2015 වසරේදී එය බැටිකලෝ යුනිවර්සිටි පුද්ගලික සමාගම (Batticaloa University Private Limited) යනුවෙන් නම වෙනස් කරගෙන පෞද්ගලික සමාගමක් බවට පත් වෙයි. එතෙක් ආයතනයේ භාරකාරීත්වය තිඛෙන්නේ යයි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ ලිපියේද සඳහන් කර තිබූ ශ්‍රී ලංකා හයිරා පදනම පිළිබඳ පිළිබඳ කතාව ද එතැනින් අවසන් වන අතර අධ්‍යක්ෂ මණ්ඩලක් ඒ වෙනුවට අලූතින් පත් කරනු ලබයි. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා එහි සභාපතිවරයා බවට පත් වන අතර ඔහුගේ පුත්‍රයා කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙසත් තවත් පිරිසක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් බවටත් පත් වෙයි.
පියවරෙන් පියවරට තම සැලසුම් වෙත ළඟා වන මොවුන් නැවත වරක් 2016 වර්ෂයේදී එහි නම තවත් වටයකින් වෙනස් කරනු ලබන්නේ බැටිකලෝ කැම්පස් ඔෆ් ශ්‍රී ලංකා (Batticaloa Campus of Sri Lanka) යනුවෙනි. වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස අනුමැතිය ලබා ගන්නා මෙම ආයතනය විශ්ව විද්‍යාලයෙක් බවට පත් වන්නේ කාටත් හොර රහසේ, කිසිදු නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුගත වීමකින් තොරවය. එහෙත් එහි නිල වෙබ් අඩවිය වන bcsl.edu.lk හි සඳහන් වන පරිදි දැනට පීඨ හයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. තවමත් සිසුන් බඳවාගෙන නොමැති වුවද පීඨ හයකට අදාළ ඉදිකිරීම් වලින් සියයට අනූවක් පමණ මේ වන විට ඉදි කර අවසන්ය. ඒ අනුව ආයතනයේ පරිපාලන ගොඩනැගිල්ල, නේවාසිකාගාර, දේශන ශාලා හතක්, 650ක පිරිසකට ආසන පහසුකම් ඇති ප්‍රධාන රැස්වීම් ශාලාවක් සහ 350කට පමණ ආසන ඇති තවත් රැස්වීම් ශාලාවක් මෙන්ම සිසුන් 60 දෙනෙකුට පරිගනක පහසුකම් ඇති පරිගනක විද්‍යාගාර හයක් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉදි කර අවසන් කර ඇත. නවීන පහසුකම් සහිත යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාගායේ ඉදි කිරීම් ද මේ වන විට බොහෝ දුරට අවසන් වෙමින් පවතියි. දැනට ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිඛෙන පීඨ හයට අමතරව නුදුරේදීම වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට ද කටයුතු සූදානම් වෙමින් තිඛෙන බව එහි නිල වෙබ් අඩවිය පවසයි. ඒ සඳහා අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.
මෙහි ආරම්භ කරන්නේ යයි කියන පීඨ හයෙන් එකක් වන්නේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයයි. ශරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව එහි එක් අධ්‍යයන අංශයකි. එහිදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරීයා නීතිය පිළිබදව බී.ඒ. උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට අවස්ථාව සලසා තිබේ. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිඛෙන අතර ඒ බව ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බව ද අනාවරණය වී තිබේ.
වෘත්තීය පුහුණු ආයතයන් ආරම්භ කරන්නේ යයිද ඒ සඳහා සෞදි අරාබියේ සංවිධානයක් මූල්‍ය ආධාර සපයන්නේ යයිද පවසමින් කළ මුලාව මෙන්ම තවත් මුලාවක් සිදු කරමින් ශරියා නීතිය ඉගැන්වීම සඳහා පිඹුරුපත් සැකසෙන්නේ ඒ අනුවය. එහි තත්ත්වය තවත් බරපතළ කරමින් ශරියා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම සඳහා සවුදි අරාබියේ මක්කමේ පිහිටි උමා අල් කුරා සහ තවත් විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්යවරු බඳවාගෙන ඇති බව ද හෙළි වී ඇති අතර එම අධ්‍යයන අංශය සඳහා 2019 වර්ෂයදී සිසුන් 3670ක්ද 2020 වර්ෂය සඳහා සිසුන් 5380ක් ද බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. මේ සිසුන් පිරිස අතරට ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාම් සිසුන් ද ඇතුළත්ය.
මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතින විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් දැනට අනාවරණය වී ඇති තොරතුරුය. මේ සම්බන්ධයෙන් වග කිවයුතු එක් ප්‍රධාන පුද්ගලයෙකු වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඒ ආණ්ඩුවේ සිටි ඇමතිවරයෙකි. ඔහු වර්තමාන ආණ්ඩුවේ ද ඇමති ධුරයක් දැරීය. දැන් නැගෙනහිර පළාතේම ආණ්ඩුකාරයාය. ආණ්ඩුකාර ධුරය ලැබීමත් සමග එතෙක් තමා දැරූ සභාපති ධුරය සිය පුත්‍රයාට පිරිනමා ඇති අතර කළමණාකාර අධ්‍යක්ෂ ධුරයට මොහමඩ් තහීර් නම් පුද්ගලයෙකු පත් කර තිබේ.
විශ්ව විද්‍යාලය පිළිබඳව ආන්දෝලනය ඇති වීමත් සමග එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සහ ශ්‍රි ලංකා සමාගම් පනත යටතේ ස්ථාපනය කරන ලද මෙම විශ්ව විද්‍යාලය උපාධි ප්‍රදානය කිරිමේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයක් ලෙස අප රටේ අධ්‍යාපනය දියුණු කිරිම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරිමට 2015 ජුනි 03 දින අයදුම් කර ඇති බවයි. මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා පොලොන්නරුවේ පූනානි ප්‍රදේශය තෝරා ගත්තේ සිංහල, දෙමල, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ගවල සිසුන්ට පහසුවෙන් ලඟාවීමට බවද කියයි. මෙහි උපකුලපති, පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, කාර්යමණ්ඩල සියලු ජන කොට්ඨාස නියෝජනය කරන බවද පවසයි. බැලු බැල්මටනම් කතාව සාධාරණය. එහෙත් නංගි පෙන්නා අක්කා දෙන්නට යන බව හෙළි වීම නිසා ඒ කතාව තව දුරටත් වලංගු වන්නේ නැත. එසේම හිස්බුල්ලා එකක් කියද්දී එහි වෙබ් අඩවියේ සඳහන් වන්නේ වෙනත් කතාවකි. ඊට අනුව 2019අප්‍රේල් 30 විශ්ව විද්‍යාලය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ තොරතුරු තාක්ෂණය, කළමනාකරණය, කෘෂිකර්මය සම්බන්ධයෙන් උපාධි පිරිනැමීම සිදුකරන බවයි. එසේම විශ්ව විද්‍යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේත් අනුමැතිය මෙම විශ්ව විද්‍යාලයට ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සියල්ල සිදුවන බවත්ය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන්නේ මේ කලබගෑනිය අතරතුරය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 1978 විශ්ව විද්‍යාල පනත ප්‍රකාරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් පමණි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය භාරය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ එම විශ්වවිද්‍යාලවල පරිපාලනය විධිමත් කිරීමයි. ශරියා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වෙන කිසිදු ආයතනයක උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසරයක් ඉල්ලා නොමැති බවත් ඒ සදහා කිසිදු බලයක් ලබා දී නොමැති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරනු ලැබේ යනුවෙන් එහි සඳහන් කර තිබේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ඇඟ බේරා ගැනීම සඳහා කොලේ වසා ගැසීමක් සිදු කර ඇත්දැයි සැකයක් මතු වන්නේ ‘ශරියා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වෙන කිසිදු ආයතයනක්’ ලෙස එහි සඳහන් කර තිබීම නිසාය. හිස්බුල්ලා ඇතුළු කණ්ඩායම ආරම්භ කර ඇති ආයතනයේ නම නසිිහ අවස්ථාවක ‘ශරියා විශ්ව විදයාලය’ යනුවෙන් සඳහන් කර නැත. විටින් විට නම් මාරු වුවද ඒ කිසිදු අවස්ථාවක ‘ශරියා’ නම ඊට නොයෙදීමට ඔවුන් වග බලාගෙන තිබේ.
ඒ අතරතුර මෙම විශ්ව විද්‍යාලයේ සාමාන්‍යධිකාරී මොහමඩ් තහීර් පවසා ඇති පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිළධාරී කණ්ඩයම් තුනක් විශ්ව විද්‍යාලය නිරීක්ෂණය සඳහා පැමිණ ඇත. නමුත් කොමිසමේ නියෝජ්‍ය ලේකම්වරියක වන සී. ෙජ්. විෙජ්සිංහ පවසන්නේ එවැනි නිරීක්ෂණ කටයුත්තක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිළධාරීන් නියැලී නැති බවයි. එසේම අය වැඩිදුරටත් පවසා ඇත්තේ ‘අපි සොයා බලන්නේ විශ්ව විද්‍යාල පනතට අයත් රාජ්‍ය විශ්ව විද්‍යාල 15ක් ගැන පමණයි. මඩකලපුව විශ්ව විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාල අතරට වැටෙන්නෙ නැහැ. ඒ නිසා මෙම විශ්ව විද්‍යාලයේ කටයුතු සොයාබැලීමේ කටයුතු පැවරෙන්නේ උසස් අධාපන අමාත්‍යංශයට’ යනුවෙනි.
දැන් ඇති මූලික ගැටළුව වන්නේ ඇත්ත කියන්නේ කවුරුන්ද යන්නයි. සියල්ලන් එකිනෙකාට බෝලය පාස් කරන්නේ කාගෙ කාගේත් කිල්ලෝට වල ටික ටික හෝ හුණු තිඛෙන නිසා විය හැකිය. ඒ නිසා පළමුවෙන්ම කළ යුත්තේ මෙහි ඇති ගැටළු මොනවාද යන්න නිවැරදිව හඳුනා ගැනීමයි.
මේ සියල්ල දවසකින් දෙකකින් සිදු වූ ඒවා නොවේ. සිදු වූයේ කිසිවෙකුගේ අවධානය මේ වන තෙක් ඒ දෙසට යොමු නොවීමයි. එහෙත් පසුගිය පාස්කු දිනයේ සිදු වූ ප්‍රහාරයත් සමග නැගෙනහිර පළාතේ ඉදි වෙමින් පවතින ‘ශරියා විශ්ව විද්‍යාලය’ පිළිබඳ කතාව පිමි ගණනාවකින් ඉදිරියට එමින් හන්දි වල සහ ත්‍රී වීල් පාක් වල ද එය ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් විය. විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඇතැමුන් විවිධ ආකාරයේ අර්ථ කථානයන් මේ සඳහා දෙන්නට විය. ඒ අතරින් බොහෝ දෙනෙකුට පොදු ඉඩම් අනීතික ලෙස සහ සදාචාර සම්පන්න නොවන සෙල මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම ගැටළුවක් වූයේ නැත. නීත්‍යානුකූල නොවන අයුරින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම ගැටළුවක් වූයේ නැත. ආරම්භක ගිවිසුමට අනුව මෙහි ඉගැනිවීමට හා මෙහි පාලනය හා මෙහි පරිපාලනය කිසිදු ශ්‍රි ලංකා නීතියකට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අනුගත නොවන බවත්, කිසිදු පාලනයක්, පත් කිරීමක් කළ නොහැකි බවත් සඳහන්ව ඇත. එසේ ආයතනයේ නියාමනය කිසිදු රාජ්‍ය ක්‍රියාවලියකට යටත් නොවීම ද ගැටළුවක් වූයේ නැත. ඒ බොහෝ දෙනෙකුට ගැටළුව වූයේ ‘ශරියා’ ප්‍රශ්නයයි. එහෙත් එය මෙහි ඇති එක් ගැටළුවක් පමණි. එහි ඇති තවත් ගැටළු රැසකි. අත යට ගැහිලි වල සිට සිදු වෙන සහ සිදු වෙමින් පවතින තවත් ගේම් විශාල ප්‍රමාණයකි. මේ සියල්ලම එක වර පරාජය කළ යුතුය. ගැටළුව විසෙඳන්නේ එවිටය.


සටහන – චතුර දිසානායක
සේයා රූ – ප්‍රියන්ත බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

sixteen + 18 =