ඇමරිකාවේ කඩ කොල්ලකෑම

ඇමරිකාවෙ කළ කෝලහලය ඇතුලේ වඩාත් ආන්තික සහ පීඩිත ජන කොටස් කඩ සාප්පු කඩා කොල්ල කෑම බොහෝ මැද පාන්තිකයින්ගේ පිලිකුලට හේතුවෙලා තිබීම අපට තේරුම් ගන්න ඒ තරම් අමාරු නෑ. ඒකේ හරි වැරදිකරුවන් කවුදැයි කියන එක මොහොතකට පැත්තකට දමා අපි උත්සාහ කරමු මොකක්ද එතන වෙලා තියෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් බලන්න.

ඒ වඩා පහළ තලවල සාමාන්‍ය ජන කොටස් අවශ්‍යයෙන්ම ගෙවල් දොරවල් බිඳිමින් හොරකම් කරමින් ජීවත් වූ අය නෙමෙයි, සත්තකින්ම එහෙම අයද ඉන්නට පුළුවන්. අපට ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කඩ සාප්පු කඩා කොල්ලකෑමට උත්තේජනය ලබන්නේ ම පීඩාවට පත් කළ ක්‍රමය හා එහි පුද්ගල පාර්ශවයන්ට අනුකම්පා විරහිතව ප්‍රතිචාර දැක්වීමේ මානසිකත්වයට පත්වීමත් සමඟයි කියන එක. බොහෝවිට එවන් තත්වයකට වැටී සිටි ජන කොටස් තුළ තම වර්ගයාගෙන් එකෙක් අසාධාරණ ලෙස මරා දැමීමත් සමග එන ආවේගය ඊට අවශ්‍ය සම්පූර්ණ පරිසරය සහ කොල්ල කෑම සාධාරණය කිරීමේ මානසිකත්වය වඩාත් තදින් ඇති කරනවා. ඒ නිසා මේක හදිසියේ හුදු වර්ගවාදය මත ඇතිවුණු තත්වයකට වඩා අනාදිමත් කාලයක ඉදන් පවතින වර්ගය මෙන්ම පන්තිමය සමාජමය වශයෙන් ම ඇතිකළ පීඩනයකට එරෙහි ප්‍රතිචාරයක්. තම ශ්‍රමයට අකාරුණිකව හා නින්දිතව සලකපු ක්‍රමයකින් උපයා ගත් මහා ධනවතුන් ගේ දේපොල අවස්ථාව ලැබෙන විට කොල්ල කා ගෙන යෑම කිසිදු වරදක් නැතැයි සාමාන්‍යන් එවැනි ජනකොටස්වල වර්ධනය වෙන දෘෂ්ටිවාදයයි. මේ මිනිස්සු ඉතා හොඳින් දන්නවා මේ මහා සමාගම් – කඩකාරයින් සහ රාජය අතර තියෙන එකිනෙකා ආරක්ෂා කරගැනීමේ මිත්‍රත්වය ඒ දෙපාර්ශ්වයම ඔවුන් කෙරෙහි නැති බව. ලෝකයේ දැනට ජීවත් වෙන වඩාම දිළිඳු මිනිසුන්ගෙන් හරි අඩකගේ දේපොළ වඩාම පොහොසත් මිනිසුන් අටදෙනෙකුගේ වත්කමට සමාන වීමෙන් පෙන්වන්නේ රජයන් සහයෝග දී තිබෙන්නේ කාගේ දේපොළ කාට කොල්ල කන්නට ද කියන එකයි. ඇමරිකාව යනු ඒ කොල්ල කෑමට වඩාම නායකත්වය දුන් රාජ්‍යයයි.

“පෝල්ට ගෙවන්නට පීටර්ව කොල්ලකන රජයකට හැමවිටම පෝල්ගේ සහයෝගය මත රඳා පවතින්නට පුළුවන්” කියලා වරක් බර්නාඩ් ෂෝ කීවේ මේ නිසයි.(“A government that robs Peter to pay Paul can always depend on the support of Paul”). රජය යනු මෙතනදී එසේ ජනතාව කොල්ලකෑමට නීතිගතව, ආයතනගතව, ජනතාවගේ සහයෝගයෙන්ම සංවිධානය වෙලා තියෙන නිල කොල්ලකරුවායි. අන්න එතකොට රජයට කොල්ල කෑමට ජනතා අනුමැතිය ලැබෙනවා. නමුත් එවැනි නිල වශයෙන් පිළි නොගත් අසංවිධානාත්මක ලෙස එම රජයේ ම සහයෙන් පවතින දේපළ මිනිසුන් කොල්ල කන කොට ඒ මිනිස්සුන් මධ්‍යම පන්තිකයින්ගේ දැඩි සදාචාරමය විනිශ්චයට ලක් වෙනවා.කොල්ලකෑම වැරදියි. නමුත් එය වැරදි විය යුත්තේ ඉහත විග්‍රහයට අනුවයි.

ඒ නිසා, සරලව, මේ දැන් එතන සිදුවෙමින් පවතින්නේ රජය පෝල්ට ගෙවන්ඩ පීටර්ගෙන් කොල්ල කෑ දේපල පිටර් පෙරලා පොල්ගෙන් කොල්ල කෑමට වැඩි යමක් නෙමෙයි. එකම වෙනසකට ඇත්තේ මෙවර එය වඩාත් නාටකීය ආකාරයෙන් ඔබ ඉදිරියේ දෘශ්‍යමාන වීමයි.
-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

eight + seven =