චීනයෙන් හා ඉරානයෙන් ඇමෙරිකාවට වාග් ප්‍රහාර

අදට දින හයක් ගත වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත. වර්ගවාදය ඇමෙරිකානු සමාජය තුළ මුල් බැස රෝගයක් යැයි චීනයේ බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියෑන්ග් අද (2) පැවැසීය. මේ අතර ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතාවලින් වර්ගවාදය කොතරම් විශාල ප්‍රශ්නයක් වී ඇත් ද යන්න මෙම සිදුවීම් මාලාවෙන් පැහැදිලිවන බව ද ෂාඕ ලිජියෑන්ග් පවසයි.

‘‘අපි ඇමෙරිකානු බලධාරීන්ටත් පොලිසියටත් අවධාරණය කරනවා. තමන්ගෙම මිනිස්සුන්ට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය නවත්වන්න කියල. ඔවුන්ට හුස්ම ගන්න දෙන්න’’ ඉරානයේ තෙහ්රාන් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි ඊයේ (1) පැවැසීය.

‘‘ඇමෙරිකානු ජනතාවට අපි කියන්න ඕනේ. ලෝකය ඔබ සමඟ සිටිනවා’’ යැයි ද ඔහු කීය. ඇමෙරිකානු පොලීසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉරානය කම්පාවට පත්ව ඇතැයි අබ්බාස් මුසාවි වැඩිදුරටත් පැවසීය.

චීනය සහ ඉරානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.

four × two =