කොත්මලේ හමිඩ් රිස්වාන්ට කවි ලියැවෙයි

ඊයේ දින ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණිය බේරා ගැනිමට උත්සහ කළ දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි ඊයේ (21) දින පස්වරුවේ සොයා ගත් අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (23)පැවැත්වේ.

තලවකැලේ, ලිදුල, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (32) හැවිරිදි දෙදරු පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි.
ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කර ඇත්තේ හින්දු ජාතික තරුණියක් වන අතර ඇය බේරා ගැනිමට උත්සහ ජිවිතක්ෂයට පත් වූ රිස්වාන් මුස්ලිම් ජාතිකයෙකි.
මෙම සිදුවීම පාදක කරගෙන අද දින මුහුණු පොතේ ලියවුන කවි කිහිපයක් පහත පළවේ.

ළය පිරුණු මහ කඳුළු ගඟක් මිස…...

නන්නාඳුනනා මිතුර ඔබ රිස්වාන්
නන්නාඳුනනා ඈ ඔබේ නැගණිය ද
මොහොතකට අමතක වී ද ඔබ බිරිය
ඔබ දෙදරුවන්
ඔබ එන තෙක් ඔවුන් තිදෙනා තාම ඉන්නවා
මග බලා ගෙන රිස්වාන්
ඒත් ඔබ නො එන්නම යන්නම ගිහිං

සතුටින් ද ඔබ ගියේ ඔවුන් හැර දා
නන්නාඳුනා නැගණියක වෙනුවෙන්
ඔබ ළය තෙත් වුණි ද මොහොතකට
විසල් ජල කඳ සමග පොර බැද
ගලව ගත්ත ද නන්නාඳුනා නැගණිය
දිනා දිය රකුසු හා සටන
පරාජය වැළඳ ගත්තෙ ද ඔබ

ජයග්‍රාහී මිනිසා ය
ජයග්‍රාහී සොයුරා ය
රිස්වාන්
ඔබ මිනිස් හදැති මිනිසාය

දෙනෙත නැත කඳුළු ඔබ නමට
ළය පිරී ගලා යන
මහ කඳුළු ගඟක් මිස

(බුද්ධදාස ගලප්පත්ති )

කොත්මලේ සැඟව ගිය මිනිස්කම…

අසෙනි වැසි මැද වැළපෙනා
කොත්මලේ දිය බොර උනා
මිනිස්කම දෝතින් දරා
සොයුර නුඹ සැඟ වී ගියා…

සිහල දෙමළ ද නොම බලා
උතුම් හැඟුමෙන් සිත්පුරා
මහා ජල කඳ පරයනා
නුඹේ නමින් මල් පිබිදුණා…

සිය දහස් හදවත් කරා
ප්‍රේමයේ මනුදම් ගෙනා
සොයුර රිස්වාන් නික්මුණා
නෙතඟ කඳුළක් සඟවලා…

(නිමල් කරුණාරත්න)

ඇයට මිස අනෙකෙකුට

ජාන නොකිළිටි සිත් සතන් මත අවුස්සා ජාතික නිලේ
ජීවිතේ බර කියාදෙන්නද මෙවන් අනුවනකම් කලේ
ආයෙ මහවැසි වැටි නුවරට පිරුණු දවසක කොත්මලේ
ඇයට මිස අනෙකෙකුට නුඹ ගැන මතක්වත් වේවිද මලේ

(චින්තක සමන් හේරත්)

රිස්වාන් මලේ….

වහිනවා නෙවෙයි ඒ
ඉකිබිඳිනු ඇහෙන්නේ
ගැස්සිලා හඳුන්පොත
කොත්මලේ වේල්ලත්

ඇස් කෙවෙණි බොරවෙලා
මූණ පිටිහලුවෙලා
දැක්කාද රාමසන්
හඳ අඬපු ඇඬිල්ලක්

පස්වාන් දහක් මැද
ගමේ හිටියා රජෙක්
රිස්වාන් නුඹ අපට
අස්වාන් වේල්ලක්.

(නයනසේන වන්නිනායක)

 

Leave A Reply

Your email address will not be published.

7 − 4 =