මාලිගාවත්තේ තෙරපීමෙන් කාන්තාවන් 3ක් මියයයි

මාලිගාවත්ත ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් නිවාස පෙදෙසේ දරුසලාම් විද්‍යාලය අසල සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් තිබේ. තවත් 9 දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. තුවාල ලැබූ නවදෙනාම පිරි පුද්ගලයෝ ය. තුවාලකරුවෝ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත්කර තිබේ.  මිය ගිය කාන්තාවන් තිදෙනා සම්බන්ධව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇත.

ව්‍යාපාරිකයෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ. මෙහිදී බෙදා දී ඇත්තේ එක් අයෙකුට රු. 2500ක මුදලකි. සිද්ධිය සිදුවූ අදාළ නිවස ඉදිරිපිට මුදල් බෙදීම සිදුකර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසිනි. සිද්දිය වූ මෙම ස්ථානය එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථ අමතර කොටස් ගබඩා කරන තබන ස්ථානයක් බවද පැවසේ.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සිද්ධියට අදාළව ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයාද වන බවයි සඳහන් වන්නේ.

මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පල්ලිය අසල නිවසක පිරිසක් රැස්ව සිටින බවත් එය අසල්වාසීන්ට හිරිහැරයක් බවත් සදහන් කරමින් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 දුරකතනය වෙත ලද පණීවිඩයකට අනුව සෝදිසියක් සදහා පිටත්ව ගොස් තිබූ අතර, එහිදී එම ස්ථානයේ රැදී සිටි පිරිස හේතුවෙන් තෙරපීමකට ලක්ව කාන්තාවන් තිදෙනකු මියගොස් ඇති බවත් මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මුදල් බෙදූ අදාළ ව්‍යාපාරිකයා නෝම්බි උපවාසය හේතුවෙන් ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලසීමාවේදී නිසි අවසරයක් තොරව නිරෝධායන නිති උල්ලංඝණය වන අයුරින් මෙම ස්ථානයේ දී මුදල් බෙදා දී ඇති බව ද මාලිගාවත්ත පොලීසිය එහිදී අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇති තිදෙනා වන්නේ  මාලිගාවත්ත ‘ලක්සිත සෙවණ’ නිවාස හී පදිංචිව සිටි උමා අකිලා (62), මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) සහ ජුම්මා මස්ජිඩ් පෙදෙස පදිංචිව සිටි මොහොමඩ් ෆවුසියා නීසා (59) යන කාන්තාවය. මෙම මුදල් බෙදා දීමේ අවස්ථාවට එම ප්‍රදේශයේ 300ක පමණ පිරිසක් සහභාගී වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

සිද්ධිය හේතුවෙන් මාලිගාවත්ත, ජුම්මා මස්ජිත් මාර්ගයේ සිට කොළඹට ඇතුලූවීම සහ පිටවීම තාවකාලිව තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

5 + two =