බන්දුලගේ ක්‍රීඩාංගනයට මහේල සහ මහානාම වැරෙන් පහරදෙයි

 

එදා මෙදා තුර ලංකාවේ ඉදිවන දැවැන්තම කි‍්‍රකට් ක‍්‍රීඩාංගනය, හෝමාගම දියගම ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඊයේ දිනයේ දී පවසා තිබුණි. මේ ආකාරයේම ප්‍රකාශ නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාද තම නම සටහන් කර ගැනීමට සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකළේය. එහෙත් අද තරඟ පවත්වන්නේ නැතිවම ජනතා මුදලින් ක්‍රීඩාංගණය නඩත්තු කරයි. තමන්ගේ පළාතේ ක්‍රීඩාංගනයක් ඉදිකරමින් නම ඉතිහාසයට එකතුකිරීමේ අරමුණක් බන්දුල ගුණවර්ධනට තිබෙන බව ක්‍රිකට් ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනා අදහස් පළකරයි එහෙත් ඇතැමුන් පවසන්නේ මෙය රජයේ ප්‍රබලයන්ගේ අරමුණක් බවත් බන්දුල ගුණවර්ධනගෙන් සිදුවුවේ මුට්ටිය දැමීමක් පමණක් බවයි.

මේ අතර බන්දුල ගුණවර්ධන මුට්ටිය දැමූ සැනින් ප්‍රහාර එල්ල වූ බවක් පෙනී යන්නේ මෙම ප්‍රකාශයට ක්‍රිකට් ක්ෂේස්ත්‍රයේම ප්‍රබලයන් දෙදෙනෙකු ගෙන්ම විරෝධය එල්ලේ වීමයි. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පුජිතයන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ රොෂාන් මහානාමගෙනි.

මේ සම්බන්ධයෙන්, සිය පුදුමයද පල කරමින්, මහේල ජයවර්ධන ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප‍්‍රශ්න කරන්නේ, ලංකාවේ දැනට තිබෙන ජාත්‍යන්තර මට්ටමේ කි‍්‍රකට් ක‍්‍රීඩාංගනවල පවා, ශ‍්‍රි ලංකාව ප‍්‍රමාණවත් තරමට කි‍්‍රකට් තරග ක‍්‍රීඩා නොකරන පසුබිමක, තවත් අළුත් ක‍්‍රීඩාංගනයක් මොකටද යනුවෙනි.

අපිට ඇති වෙන්න ක්‍රිකට් ක්‍රීඩාංගණ තියනව

එසේම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු හා ICC තරග තීරකවරයෙකු වන රොෂාන් මහනාම පවසා ඇත්තේ, රට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දී තිබෙන මෙවැනි දුෂ්කර අවදියක අපිට ඇති වන්නට ක්‍රිකට් ක්‍රීඩාංගණත් තිබියදී මිලියන ගණනක් වියදම් කර අලුතින් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදි කරන්න යාම විහිළුවක් බවයි.

මහානාම වැඩිදුරටත් පවසන්නේ “මේ වන විට ලොව බොහෝ රටවල් දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති පවා අත්හිටුවලයි තියෙන්නේ. ශ්‍රී ලංකාවට ඇතිවෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටි තියෙනවා. ඒවා අවුරුද්දේ වැඩි කාලයක් නිකම් වහලා දාලයි තියෙන්නෙ. ක්‍රිකට් ආයතනය කියනවා මෙය ඉදිකරන්න යන්නේ ණයක් අරගෙන කියලා. හම්බන්තොට ක්‍රීඩාංගණය හදන්න වියදම් කරපු මිලියන ගණනක් තවමත් ගෙවන්න තියෙනවා.

අපිට කියන්න තියෙන්නෙ මේ වෙලාවේ එවැනි නාස්ති නොකර අපේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්න හොද වැඩපිළිවෙළක් යොදන්න කියලයි.” යනුවෙන් ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවියට පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.

eighteen + 3 =