පින්නවල ඇතින්නියගේ දුක් ගැනවිල්ල

පසුගිය වකවානුවේදී පංසල්වලට හා දේවාලවලට අලි ඇත්තුන් පූජා කිරීම පාලකයන්ගේ පුරුද්දක් වී තිබුණි.පූජා කිරීම කෙසේ වෙතත් අලි පූජාවෙන් පෙන්නුම් කළේ පූජකයන්ගේත් පාලකයන්ගේත් ගරු ගාම්භීරාකාර උද්දච්ඡකමය.
පින්නවල අලි සංරක්ෂණාගාරේදී අලි පැටවුන් කිහිප දෙනෙකුම අතුරුදන් වූ බවට ප්‍රවෘත්ති පළවීමත් සමඟ මේ සිතුවිල්ල මා තුළ රෝපණය වී වර්ධනය විය.

පින්නවල ඇතින්නියගේ දුක් ගැනවිල්ල

දඟ පා කෙළිලොල්ව සිටි මගෙ තුරුල්ලේ
ඉරුවා තන පුඩුව බඩගිනි ඇසිල්ලේ
දරුවා මගේ මං ළඟ සිටි නැටිල්ලේ
අරගෙන ගියා මා කුදලා කඩුල්ලේ

විසිමස් පුරාවට ගැබ බර දරාගෙන
ඇඟ මස් වේදනා විඳ නිදි මරාගෙන
දරු සුරතලේ ගැන සිත තුට වඩාගෙන
හිටියේ පුතුට තන පුඩු කිරි පුරෝගෙන

වන පෙත අහිමි මුත් දුව පැන ඇවිදින්ඩ
තිබුණා පින්නවල ඉඩකඩ ඇතිවෙන්ඩ
මාඔය ජලේ බැස බෑ යළි පීනන්ඩ
උඹෙ පා බැන්දෙ පංසලකට ගෙනි යන්ඩ

පංසල් බිමේ පෙරහැර තේවා වලට
වටවී මිනිස්සුන් කරඬුව වැන්දාට
වරපොට දමා හිරකොට ගෙන පා වලට
මොන පින් කම්ද මේවා හිරිහැර අපට

කිරි සප්පයන් ගෙනි යන්නේ ඇයි මෙහෙම
පිං වැඩ කරන්නේ දුක දීලද බොහොම
අත පය යදම් බැඳ හිරකර හැමදාම
මගෙ පුත් රජාණෙනි උඹ ඉන්නේ කොහොම?

බුදු හිමි හිටියෙ නම් අද දින ලංකාව
නොකරයි අපට මේ දුක් වධ හිංසාව
හොරකම් නොකර දරු පැටවුන් මෙලෙසාව
තබනා බව දනිමි මගෙ පුතු මං ගාව…..

-බණ්ඩාර වැවගෙදර

සංකේත ඡායාරූපයකි 

Leave A Reply

Your email address will not be published.

thirteen − ten =