වෛරස් වසංගතයේ තිරය පිටුපස භයානක ලෝක බල ගැටුමක්

කොවිඩ් -19 , චීනයේ වුහාන් විද්‍යාගාරයක නිර්මාණය කළ වෛරසයක් බවත්, එය ලොව පුරා පැතිරීම වැලැක්වීමට චීනය පියවර නොගත් බවත්, චීනය තුළ පවා වෛරසයෙන් වූ හානිය පිළිබඳ තොරතුරු වසං කිරීමට චීනය පියවර ගත් බවත්, ඇමරිකාවේ මතය ය.

මෙම මතය ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා හවුලේ රටවල් තුළ ද අඩු වැඩි වශයෙන් පවතී.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල් ද පසුවන්නේ එවැනිම අදහසක ය.

ඇමරිකාවේ චෝදනවාට පිළිතුරු දුන් චීනය පසුගිය මාර්තු මාසයේ දී පැවසුවේ, චීනයේ වුහාන් වෙත කොරෝනා වෛරසය රැගෙන ගෙන ආවේ ඇමරිකානු සොල්දාදුවන් විසින් බවය.

කෙසේ වෙතත්, එය සනාථ කිරීමට කිසිදු සාධකයක් චීනට නොතිබුණි.

දෙපාර්ශවය අතර ඇති වූ මෙම බහින් බස් වීම මේ වන විට වෙළඳ යුද්ධයකින් පටන් ගෙන අති නවීන තාක්ෂණයෙන් යුක්ත ආයුධ සන්නද්ධ යුද්ධයක් ඇතිවීම දක්වා ගමන් කරමින් තිබෙන බවට වූ පෙර නිමිති පහළ වෙමින් ඇත.

ඇමරිකාව පසුගිය මැයි 01 දා කියා සිටියේ චීනය සඳහා තීරු බදු ඉහළ නැංවීම නිසැකවම විකල්පයයක් බවය. චීනයට දඬුවම් කිරීම සඳහා තීරුබදු තර්ජණය ක්‍රියාවට නැගීමට ට්‍රම්ප් තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියාව යනු ශක්තිමත් එක්සත් ජනපද සගයෙකි ය. ඔස්ට්‍රේලියාවේ සිටින චීන තානාපති චෙං ජින්ගි, ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ තම රට වර්ජණය කරන බවට තර්ජනය කළේය.

ඊට හේතුව වූයේ වෛරසයේ මූලාරම්භය සහ එහි මුල් ප්‍රතිචාරය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවට ඕස්ට්‍රේලියාව යෝජනා කිරීමය.

මේ අතර පසු ගිය ජනවාරියේ දී එකඟ වූ වොෂින්ටන් සහ බීජිං අතර වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක නොවීමේ අවදානමක් මේ වන විට මතු වී ඇත.

මෙම ගිවිසුමට අනුව බීජිනය , බොර තෙල්, ද්‍රව ස්වභාවික වායු, සහ එක්සත් ජනපද බලශක්ති ආනයනය 2020 ට වඩා 2021 දී ඇමරිකානු ඩොලර් බිලියන 52.4 කින් ඉහළ නැංවිය යුතුය.

චීනය මෙම වගකීම ඉටු කිරීමට ක්‍රියා කර නොමැත. මර්තු සහ අප්‍රේල් මාස වලදී කිසිදු බොර තෙල් ආනයනක් චීනය සිදු කර නැත. සාමාන්‍යයෙන් චීනය දිනකට එක්සත් ජනපදයේ බොර තෙල් බැරල් මිලියන 2.74 ක් ආනයනය කරයි.

චීනය සමඟ එකඟ වූ වෙළඳ ගිවිසුම ඵලදායී නොවන අයුරින් මිය ගොස් ඇති බව ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට මේ වන විට පැහැදිලි වී ඇත. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව කුමක් කරණු ඇති දැයි යන ප්‍රශ්නය මේ වන විට මතු වී ඇත.

2018 මැද භාගය වන විට ට්‍රම්ප් වෙළඳ යුද්ධයක් දියත් කළ අතර, ඒ වන විට ඇමරිකාවෙ ආර්ථිකය ශක්තිමත්ව සහ වර්ධනය වෙමින් පැවැති අතර, ඒ අවස්ථාවේ චීනය සිටියේ දැඩි අවදානමකය.

1930 ගණන්වල ඇති වූ මහා අවපාතයෙන් පසුව සිදු වූ දරුණුම පසුබෑමට මේ වන විට ඇමරිකාව මුහුණ දෙමින් සිටින නමුත්, චීනය සිටින්නේ එතරම් නරක ස්ථානයක නොවේ.

චීනය වෙත ඇමරිකානු වෙළඳ භාණ්ඩ අපනයනය පහත මට්ටමක පවතින අතර, චීනය , ඔවුන්ගේ මිලදී ගැනීම් සඳහා බල කිරීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර මෙම නව වෙළඳ යුද්ධයේ ප්‍රතිඵල සමතුලිත කිරීමට ට්‍රම්ප් ට සිදු වනු ඇත.

ඇමරිකානු රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරු බදු කොමිෂන් සභාව අන්තර්ජාලය හරහා භාණ්ඩ ලැයිස්තුවක් පළ කර ඇති අතර, මැයි 19 සිට වසරක කාලයක් සඳහා පළිගැනීමක් ලෙස බදු ක්‍රමයේ වෙනසක් සිදු කොට ඇත.

එසේම චීනය සමඟ එකඟ වූ ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමද ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව , තීරු බදු වලින් නිදහස් කරන එක්සත් ජනපද වෙළඳ භාණ්ඩ 79 ක ලැස්තුවක් චීනය එළිදැක්වීය.

ඇමරිකා – චීන වෙළඳ ගිවිසුම පිළිබඳව දෙපාර්ශවය විසින් පසුගිය සිකුරාදා දුරකථන සාකච්ඡාවක් සිදුකොට ඇත. එහිදී එක්සත් ජනපද වෙළඳ නියෝජිත රොබට් ලයිට්සයිසර් සහ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් , චීන නියෝජිතයා වු, උප අගමැති ලියූ හී ට පවසා ඇත්තේ ගිවිසුමේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ බවය. එහෙත් දෙවැනි අදියර ගැන කිසිදු වචනයක් සඳහන් කර නැත.

මේ අතර, චීනය තුළ ක්‍රියාත්ම දැවැන්ත නිෂ්පාදන සමාගම් 1000 කට අධික ප්‍රමාණයක් චීනයෙන් ඉවත්වීමට අපේක්ෂා කර ඇත.

මේ අතර, චීනයෙන් ඉවත්වීමට සුදානම් වන මෙම සමාගම්, තම රටට ගෙන්වා ගැනීමේ දැවැන්ත උත්සාහයක මේ වන විට ඉන්දියාව යෙදී සිටී.

මෙම සමාගම් අතරින් වෛද්‍ය උපකරණ නිෂ්පාදන, ආහාර සැකසුම් ඒකක නිෂ්පාදන, රෙදිපිළි, සම් හා වාහන කොටස් නිෂ්පාදන සමාගම් ඇතුළු සමාගම් 550 කට අධික ප්‍රමාණයක් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වී තිබේ.

අදාල නිෂ්පාදන සමාගම් සඳහා අවශ්‍ය දිරී දීම් ඇති කිරීම සඳහා අවශ්‍ය වන නීති වෙනස් කිරීමට පවා ඉන්දියාව එකඟත්වය පළ කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙඩිට්‍රොනික්, පී. එල්. සී. සහ ඇබට් රසායනාගරය වැනි සමාගම් සමඟ මේ වන විට සිදු කර ඇති සාකච්ඡා ධනාත්මක බව ඉන්දීය නිලධාරින් ප්‍රකාශ කොට ඇත.

මේ තර, ජපානය ද , චීනය තුළ ක්‍රියාත්මක තම සමාගම් ඉන් පිටත වෙනත් රට වලට මාරු කිරීම සඳහා ඩොලර් බිලියන 2.2 ක් වෙන් කර ඇත.

ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ යුද්ධය ආරම්භ කරන විට , බොහෝ ඇමරිකානු සමාගම් තමන්ගේ විකල්ප ගමනාන්තය ලෙස වියට්නාමය වැනි රටවල් තෝරා ගැනීමෙන් පසුව , ඉන්දියාව තමන්ට අහිමිවෙමින් පවතින භූමිය නැවත ලබා ගැනීමට දැවැන්ත උත්සාහයක යෙදී ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ පසුගිය මාසයේ දී කියා සිටියේ , තම රට ,ඉන්දියාව ,ඔස්ටේලියව, ජපානය නවසීලන්තය, දකුණු කොරියාව සහ වියට්නාමය සමඟ එක්ව සැපයුම් දාම ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවය.

මෙය , ගෝලීය සැපයුම් දාමයෙන් චීනය ඉවත් කිරීමට මුල පිරීමක් බව පැහැදිළිය.

ඉන්දියාව සහ වියට්නාමය ,අවම වශයෙන් චීන ධාරිතාවදක්වා වේගයෙන් වර්ධනය වනු ඇති බවට ඇමරිකාවට විශාල වූ බලාපොරොත්තුවක් ඇති බව ඔවුන් ප්‍රකාශ කොට ඇත.

එසේම යුරෝපීය සංගමයේ සාමාජිකයන් ද චීන සැපයුම්කරුවන් මත යැපීම අඩු කිරීමේ සඳහා සැලසුමක් සකස් කර ඇත.

මේ අතර , ශීතල යුද්ධයේ ආයුධ පාලන ගිවිසුමේ අවහිරතා ඉවත් කොට , ආසියා පැසිපික් කලාපයේ දිග දුර කෘෂ් මිසයිල ගොඩ බෑමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු ආරම්භ කොට ඇත.

වසර ගණනාවකට පසුව, නෞකාවන් විනාශ කළ හැකි නව දිගු දුර මිසයිල බෙදා හැරීමද ඇමරිකාව වේගවත් කර ඇත.

සෙනට් සන්නද්ධ සේවා කමිටුවේ හිටපු මාණ්ඩලික අධ්‍යක්ෂවරයෙකු සේම දිවංගත සෙනෙට් සභික ජෝන් මැකෙන්ගේ සමීප උපදේශකයෙකු වන ක්‍රිස්ටියන් බ්‍රෝස් විසින්
” The kill Chain ” නමින් පොතක් එළිදක්වා ඇති අතර, එමගින් චීනය විසින් ඇමරිකාවට එරෙහිව සිදු කිරීමට සැලසුම් කරමින් සිටින ප්‍රහාරයන් පිළිබඳව විස්තර කොට ඇත.

ඇමරිකාව ඉතාමත් අවදානමකට ලක් වී ඇති බවත්, මිලිටරි බලයේ අවශ්‍යතාවය පිළිබඳව ඇමරිකාවට පෙනීම නැතිවී ගොස් ඇති බවත් ” ඝාතන දාමය ” පොතේ කතුවරයා වූ ක්‍රිස්ටියන් බ්‍රෝස් පවසයි. චීනයේ මෙම තර්ජනය දැකීමටත්, එය පරාජය කිරීමට ඉක්මන් හා තීරණාත්මක පියවරක් අැමරිකාව විසින් ගත යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

” ලෝකය වසා දමා ඇති විට සහ නැවත තක්සේරු කිරීමට අවස්ථාවක් ලැබී ඇති විට , අපි දැන් ඇමරිකාවේ අවදානම ගැන මෙනෙහි කළ යුතුයි ” යැයි ඔහු තව දුරටත්, එම පොත මගින් පෙන්වා දී තිබේ.

කොරෝනා වෛරස් වසංගතයෙන් පසුව ,ගෝලීය බලයක් ලෙස එක්සත් ජනපදයට අභියෝග කිරීමට චීනය පැහැදිලිව අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු පවසා තිබේ.

පෙන්ටගනයට චීන අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය නමුත්, අවදානමකට ලක්විය හැකි අධික මිල සහිත ස්ථාන එක්සත් ජනපදයේ මිල්ටරි බලයේ කේන්ද්‍රයේ තබා ගැනීමට වගබලාගත යුතු බවත්, කොන්ග්‍රසය මෙම ක්‍රියාදාමයන් පිළිපැදිය යුතු බවත්, ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටී.

කොරෝනා වසංගතය හමුවේ තිරය පිටු පස චීනය සිදු කරමින් සිටින ආර්ථික හා යුධමය කුමන්ත්‍රණය හේතුවෙන් ඉදිරියෙ දී ලෝක මට්ටමින් සිදු විය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට , චීන ලැදි ප්‍රතිපත්තියක කටයුතු කරමින් සිටින හා චීන ණය උගුලක පැටලී සිටින ශ්‍රී ලංකාවට ද සිදුවනු ඇත.

සුනිල් ගාමිණී

Leave A Reply

Your email address will not be published.

3 + 17 =