අඩුම තරමින් නිමලරාජන්,නඬේසන් සහ සිවරාම් ගැන සොයන්න

යාපනය මාධ්‍ය සමාජයේ (Jaffna Press Club) කැඳවුම්කරු මාධ්‍යවේදී ආර්. දයාබරන්

මේ මොහොත වන විට යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය කොහොමද?

තත්ත්වය ගැන කෙටියෙන්ම කියනවා නම් දැනට ප්‍රසිද්ධියේ කෙරෙන ඝාතන නැහැ.ඊට අමතරව කිවහැකි විශේෂ කිසිවක් නැහැ.

අපි දන්නවා 2000 සිට 2009 දක්වා වසර නමයක කාලය තුළ පමණක් මාධ්‍යවේදීන් සහ එම ක්ෂේත්‍රයේ නිරත වූවන් 44 දෙනකු ඝාතනය කර ඇති බව. ඒ අය අතරින් 39ක් ම දෙමළ අය?

ඔව්, ඒත් ඔබ පිළිනොගන්නා කතාවක් අපිට කියන්න තියෙනවා. අපි කව්රුත් දන්නවා එල්.ටී.ටී.ඊ. පාලන කාලය තුළ වන්නියේ ගුවන් විදුලි සහ රූපවහිනී නාළිකා වගේම පත්තරත් ක්‍රියාත්මක වූ බව. ඒවා ඝෘජුවම ක්‍රියාත්මක වුණේ එල්.ටී.ටී.ඊ.ය යටතේ. ඒක ඇත්තක්. ඒත් ඒවායේ රස්සාව කළේ එල්.ටී.ටී.ඊ. අය පමණක්ම නෙමෙයි. ඒ බොහෝ දෙනෙක් ඔබත් මමත් වගේ සාමාන්‍ය මාධ්‍යවේදීන්. ඒ කාලයේ වන්නිය පාලනය කළේ එල්.ටී.ටී.ඊ.ය නිසා ඒ අයට රස්සාව කරන්න වුණේ එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ආයතනවල. ඇතැමුන්ගේ විග්‍රහයට අනුව ඒ අය එල්.ටී.ටී.ඊ. අය වුණත් අපිට ඒ අය සහෝදර මාධ්‍යවේදීන්.ඒක හරියට ලේක් හවුස්, ගුවන්විදුලිය හෝ රජයේ රූපවාහිනි නාළිකාවල රස්සාව කරන අය ආණ්ඩුවේ අය නොවෙයි වගේම එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ආයතනවල වැඩ කළ අයත් සාමාන්‍ය මාධ්‍යවේදීන්. ඒ අයට වැටුප් ගෙව්වේ එල්.ටී.ටී.ඊ. එකෙන්. එච්චරයි වෙනස. ඒ අය රස්සාව ඉවර වෙලා ඔබ වගේම ගෙදර යන සාමාන්‍ය සේවකයෝ.ඒ නිසා ඇත්තටම අවසන් යුද්ධයේදී හරියටම මාධ්‍යවේදීන් කී දෙනෙක් වන්නියේදී මැරුණද කියලා කියන්න අපි ළඟ සත්‍ය තොරතුරු නැහැ. ඒ අයගේ පවුල් පිටින් සහමුලින්ම ඝාතනයවෙලා. නැත්නම් තොරතුරු දෙන්න ඉන්න අය රට අතහැරලා ගිහින්. ඒ නිසා ඔබ ඔය කියන 39 සම්පූර්ණයෙන් ඇත්ත තොරතුරක් නෙමෙයි. පණ බේරාගත්ත එක්කෙනෙක් දෙන්නෙක් සමහර තොරතුරු කිව්වත් ඒ ඇසුරෙන් සත්‍ය හෙළිකරගන්න බැහැ.ඔබ කියන්නේ වන්නියේ කතාව. ඒත් වන්නියෙන් පිටත් යාපනය අර්ධද්වීපයේ වැඩ කළ සහ ඒ නිසාම ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පවා දකුණේ මාධ්‍ය කවයන්වලදීත් හඳුන්වන්නේ ඒ අය එල්.ටි.ටි.ඊ. සංවිධානයට උදව කළ “ත්‍රස්තවාදීන්” නිසා ඝාතනය වූ බවයි?නැහැ; මම කතා කරන්නේ වන්නිය ගැන විතරක් නෙමෙයි. වන්නියත් දෙමළ සමාජයේම කොටසක්. වන්නිය වෙනම ලෝකයක් ලෙස වෙන්ව කතා කිරීම දකුණෙන් ආපු ඔබට පහසුවක් ගෙනෙනවා ඇති. ඒත් න්‍්බේ ඡරුි ක්‍කමඉ එකේ අපිට ඒක එහෙම නැහැ. අපිට වන්නිය වෙනම ලෝකයක් නෙමෙයි.යාපනය අධි ආරක්ෂක කලාපයේ සිටියදී ඝාතනය වූ ඔබත් හොඳින් දන්නා නිමලරාජන් කොටියෙක්ද, ඔහු සේවය කළේ ඊඊක්‍ යට. ඔබ හිතනවාද ඊඊක්‍ ය කොටින්ට උදව් කළැයි කියලා. එහෙම හිතනවා නම් අපි කනගාටුවෙනවා ඔබේ දැනුම ගැන. කොටින්ට පුළුවන් නම් ඊඊක්‍ යෙන් පවා කප්පම් ගනියි. එහෙම තියෙද්දී නිමලරාජන්ට පුළුවන්ද කොටින්ට් උදව් කරන්න. අනික් අතින් අධිආරක්ෂක කලාපයක ජීවත්වෙමින් එහෙම කරන්න නිමලරාජන්ට පුළුවන් වුණා නම් කොහෙද තිබුණේ අධි ආරක්ෂාවක්?ඒක නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ. ඉතාමත් මෑතකදී පටන් දකුණේ මාධ්‍ය සංවිධාන උත්සාහ කරන්නේ ලසන්ත සහ ප්‍රගීත්ගේ ඝාතන පමණක් ගැන කතා කරන්න. එයාලා අපේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කතා කිරීම මගහරිනවා.

ඕක වැරදි ප්‍රකාශයක් නේද?

නැහැ, මේක වැරදි ප්‍රකාශයක් නෙමෙයි. මම වගකීමක් ඇතුව ඇත්ත කියන්නේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවා දැන් අපෙන් බලාපොරොත්තු වෙනවා වන්නියේ සහ යාපනයේ ඝාතනය වූ මාධ්‍ය සහෝදර සහෝදරියන් ගැන මැදිහත් නොවීමක්. මම නම් විදිහටම කියන්නම්; දොඩාවත්ත පවා කියන්නේ “වෙනස් පසුබිමක් තුළ” ඝාතනයට ලක් වූ මම අර කලින් කියපු මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්න බැහැ කියලා. අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒක වැරදි මිනුම් දණ්ඩක්. ඒ නිසයි මම කිව්වේ එයාලා අපේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කතා කිරීම මගහරිනවා කියලා.පසුගියදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සමරුව තිබුණා. අපි දන්නා අපේ මිතුරන් වුණ ලසන්ත සහ ප්‍රගීත් ගැන සිහි කළා. කිත් නොයාර්ගේ පහරදීම ගැන කථා කළා. අපි ඒ ගැන එකඟයි. ඔබ දන්නවාද ප්‍රගීත් සහෝදරයාගේ බිරිඳ සන්ධ්‍යා සහෝදරිය සමඟ අපිත් ප්‍රගීත්ගේ අතුරුදන් කිරීමට එරෙහිව වැඩ කරනවා. උතුරේ අපට නම් ඔවුන් සියලු දෙනාම සහෝදර මාධ්‍යවේදීන්. ඒත් ඒ අය අපේ අය ගැන කතා කරන්නේ නැහැ. අපි ජනාධිපති, අගමැති සහ මාධ්‍ය ඇමතිවරයාට කිව්වා ප්‍රගීත්, ලසන්ත ඝාතනය සහ කිත් නොයාර්ට පහරදීම පිළිබඳව සොයාබැලීමේදී අඩුම තරමින් අපේ දෙමළ මාධ්‍යවේදීන් තුන් දෙනෙක් ගැනවත් සොයා බලන්න කියලා.

කව්ද ඔබ නම් කරන තුන්දෙනා?

යාපනයේදී මරාදැමූ මයිල්වාගනම් නිමලරාජන්. මඩකලපුවේදී මරාදැමූ අය්යාතුරෙයි නඬේසන්. කොළඹදී මරාදැමූ ඔබත් අපත් දන්නා තාරකී හෙවත් ධර්මරත්නම් සිවරාම්. අඩුම තරමින් මේ පරීක්ෂණ ගැන විශ්වාසයක් අපි තුළ ඇති කිරීමටවත් මේක කරන්න කියලයි අපි ඉල්ලුවේ. ඒත් මේ අය ඒකට කැමති නැහැ. මේ අය විතරක් නෙමෙයි මාධ්‍ය ආයතන පවා ඒකට කැමති නැහැ. ඒ අයගේ හැඟීම වුණේ යාපනය මාධ්‍යවේදීන් මේ ගැන කියනවා නම් අපිට තව දුරටත් යාපනය මාධ්‍යවේදීන් එක්ක මේ ගැන කතා කරන්න බැහැ වගේ දෙයක්.ඇත්තටම අපි නම් ලසන්ත හෝ ප්‍රගීත් හෝ කිත් ගැන කරනවා කියන පරීක්ෂණ පවා සාර්ථකව, සාධාරණව කෙරෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ.

ඒත් යාපනයේදී ඔබ සංවිධානය මේ ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම් සහ පහරදීම් ගැන කතා කරද්දී දකුණේ මාධ්‍යවේදීන් පිළිබඳව කතාකරන්න එපා කියලා ඒ අය කියන්නේ නැහැ නේද?

ඇත්ත; එයාල අපිට එහෙම කියන්නේ නැහැ. ඒ වගේම එහෙම කිව්වයි කියලා අපි නොකර ඉන්නෙත් නැහැ, මොකද ගෙවුණු බිහිසුණු සමයේ අතුරුදන් කළ හෝ මරා දැමූ හෝ පහරදුන් හැම මාධ්‍යවේදියෙක්ම අපිට නම් සහෝදර මාධ්‍යවේදීන්. අපිට ඒ සහෝදරයන් සිංහලද, දෙමළද හෝ උතුරේද, දකුණේද කියලා වෙනසක් නැහැ. අපි හැමෝම ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ එකම විදිහට. අපි හැමෝම ඒ භීෂණයේ ගොදුරු. ඒ නිසා අපිට වෙනස්කමක් දක්වන්න බැහැ. ඒත් එයාලා මාධ්‍ය උද්ඝෝෂණවලදී නිමලරාජන් වගේම සිවරාම්ගේ ඡායාරූප ඔසවනවා. ඒත් පුදුමය තමයි ඒ අය මේ අයගේ ඝාතනය කිරීම් සොයා බැලීම කියන එකට එකඟ නොවීම.

මොකක්ද මේ තත්ත්වය වෙනස් කරන්න තියෙන යෝජනාව?

අපි අපේ හිතවතුන් කියන අයගේ හැසිරීම් ජිනීවාවලදී දැක්කා. නිමල්කා, සුනන්ද පවා එහෙදි උත්සහ ගන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආරක්ෂා කරන්න. අපි හිතන්නේ වෙන්න ඕනේ ඒක නෙමෙයි කියලා. අපි උතුර සහ දකුණ කියලා එකතු වෙලා අඩුම තරමින් අපේ මාධ්‍ය සහෝදරවරුන්ගේ ඝාතන ගැන හොයමු. ලසන්ත, ප්‍රගීත් වගේම සිවරාම්, නිමලරාජන් සහ නඬේසන් ගැන ජාත්‍යන්තර මාධ්‍ය හිමිකම් සංවිධාන නිරීක්ෂණ යටතේ විනිවිද පෙනෙන අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණ කරන්න කියලා මේ ආණ්ඩුවට බලකරමු. ඒ බලකිරීමේ ප්‍රතිඵල විදිහට අඩුම තරමින් හෙට දවසේදීවත් මිනිසුන් ඝාතනය නොවන සමාජයක් හදමු.අපිට මේ ආණ්ඩුව හෝ මේ දේශපාලන පක්ෂ විශ්වාස නැහැ. ඒ වෙනුවට ජාතීන් විදිහට නොබෙදෙන පුළුල් මහජන පෙරමුණක් හදමු. ඒ තමයි අපේ සරලම යෝජනාව.

සංවාද සටහන සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

3 + 12 =