පරිසර ගැටලුවලට පාලකයන් වගකිව යුතුයි

ජීවයේ අයිතිය සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

මතුවෙලා තියෙන පාරිසරික අර්බුදය කොතරම් උග්‍රද කියලා කිව්වොත් එය විසින් සමාජ අර්බුද නිර්මාණය කොට තිබෙනවා. සමාජ අර්බුද ගත්තොත් ඒක ඇතුළෙ සෞඛ්‍යමය අර්බුද නිර්මාණයවෙලා, ඒක ඇතුළෙ ආර්ථික අර්බුද නිර්මාණයවෙලා, දේශපාලන අර්බුද නිර්මාණයවෙලා, පරිසර අර්බුදය විසින් රටපුරා විවිධ අර්බුද මතුකරමින් තිබෙනවා. ඒ තුළ අපි දකින්නේ නැහැ ජනාධිපතිවරයාට හෝ වර්තමාන පාලකයන්ට මේ අර්බුදයන්ට උත්තර තියෙනවා කියලා. ඔවුන්ට තියෙන අර්බුදය රටේ ජනතාව මුහුණ දීලා තියෙන මේ අර්බුදය නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ බලය පිළිබඳ අර්බුදයක්. පසුගිය කාලයේ ඇති වුණු ව්‍යවස්ථාමය අර්බුදය සඳහා දක්වපු අවධානය, ප්‍රතිචාරය, මැදිහත්වීම අපි ඔවුන්ගෙන් මේ කාරණයේදී දකින්නේ නැහැ. රටේ මාධ්‍ය තුළත් ඒක එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ව්‍යවස්ථා අර්බුදයේදී මාධ්‍ය, සිවිල් ක්‍රියාකාරිකයන් ආදී කණ්ඩායම් සැලකිය යුතු කාර්යභාරයක් කළා. ජාතික වශයෙන් ජනතාව පෙළගැසිය යුතු පාරිසරික ප්‍රශ්නයක් මේ වන විට රට තුළ මතුවෙලා තියෙනවා. මේ පාරිසරික ප්‍රශ්නය මත තව තව දිශාවන්වලින් අර්බුද නිර්මාණය කරමින් තිබෙනවා. මේ මොහොතෙ මතුවෙලා තියෙන සේනා දළඹුවගේ ප්‍රශ්නය ගත්තොත් මේක දළඹුවෙකුගෙ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. බඩඉරිඟු වගාවේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක ගොවියාට වන්දියක් ලබාගැනීමේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක විශාල ආර්ථික ගැටලු නිර්මාණය කරනවා. රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ප්‍රශ්න ඉදිරියට මතුවෙමින් තිබෙනවා. මේ අනුව මිනිසාගේ මූලික අවශ්‍යතාව වන ආහාර අවශ්‍යතාව බරපතළ අනතුරකට පත්ව තිබෙනවා. මේ දළඹුවා ඊළඟ වෙලාවේ වී වගාවට මාරු වෙනවා. දැනටත් මාරුවෙච්ච තැන් දක්නට ලැබෙනවා. මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වුණොත් රටේ විශාල සාගතයක් දක්වා මෙය වර්ධනය විය හැකියි. මේ අනතුර දකින්න ඕන. මේ වෙලාවේ, මේ සඳහා ජාතික වශයෙන් මෙහෙයුමක් අවශ්‍යයි. පරිසර ඇමතිවරයා වුණ ජනාධිපතිට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් නෑ වගේම, ව්‍යවස්ථාව වැදගත් නෑ වගේම මේ වෙලාවේ මේක එයාට දැනෙන්නේ, හැඟෙන්නේ නෑ වගේ තමයි ඉන්නේ. නිලධාරී මට්ටමින් යම් යම් උත්සාහයක් ගන්න බව පේනවා. නමුත් මේකට අවශ්‍ය වෙන්නේ දේශපාලන තීන්දුවක්. අපිට පේන්න නැහැ මේක ඒ දක්වා දිගුවෙලා තියෙනවා. එක පැත්තකින් පාරිසරික ප්‍රශ්නත් එක්ක නිර්මාණය වෙච්ච දරුණු වකුගඩු රෝගයකින් රටේ ජනතාව පෙළෙනවා. ඒ මිනිස්සු පාරට බැහැලා තියෙන මොහොතක් මේක. ගොවි ජනතාව තව පැත්තකින් බරපතළ අර්බුදයකට ලක්ව තියෙනවා. මේ ප්‍රශ්න ආණ්ඩුව හරියට අරගත්ත බවක් පේන්න නැහැ. හරියට දැකලා ක්‍රියාමාර්ග ගත්ත බවක් පේන්න නැහැ. සංවර්ධන ව්‍යාපෘතියකින් විය යුත්තේ මිනිසුන්ගේ ජීවිත තිබුණු තැනින් ඉහළට ගැනීමයි. නමුත් ලංකාවේ කරන සංවර්ධන ව්‍යාපෘතිවලින් මිනිසුන්ගේ ජීවන තත්ත්වයන් තිබුණට වඩා පහළට ඇද වැටිලා තියෙනවා. ඩෙංගු ප්‍රශ්නය කියන්නේ පරිසර ප්‍රශ්නයක්, වකුගඩු රෝගය කියන්නේ පරිසර ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න නිසාම සෞඛ්‍ය වියදම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ නිසාම අධ්‍යාපනය පවා කඩා වැටිලා තියෙනවා. පාරිසරික ප්‍රශ්නයක් අවසානයේදී සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය හරහා ගෙවල් 9000ක් පමණ පුපුරලා විනාශ වුණා. අක්කර 10,000කට ආසන්න ප්‍රමාණයක් වගා කරගන්න බැරි මට්ටමට පත්වුණා. මේ ප්‍රශ්නය ආවේ මොකක් නිසාද? ආණ්ඩුව කියනවා මේක බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් කියලා. ඒකට අපි කියන්නේ බහු විනාශකාරී ව්‍යාපෘතියක් කියලා. ආණ්ඩුව සංවර්ධනය කියලා අර්ථකථනය කරන ඒවා සංවර්ධනය නෙවෙයි. මිනිස්සු හිටියට වඩා පහළට ඇද දමන ඒවා. මේ සංවර්ධනය යැයි කියාගත්තු ඒවායින් නිර්මාණයවෙලා තියෙන්නේ බරපතළ පාරිසරික ප්‍රශ්න. නරුම පාලනයක් තුළින් මේ වගේ ඒවා තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක පුදුම විය යුතු කාරණයක් නෙවෙයි. නරුම නොවූ මානවවාදී, ජනතාවාදී පාලනයක් බිහිකරන තුරු මේ ප්‍රශ්නය නිසි ලෙස නිරාකරණය කරගන්න බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =