මෙදවසටද අදාළ ගෞතම් ගෝෂ්ගේ ‘පාර්’

ගෞතම් ගෝෂ්ගේ(Gautam Ghosh) ‘පාර්’ (PAAR) අමතක කරන්නට නොහැකි ඉන්දියානු සිනමාපටයක්. “පාර්” මෙරට සිනමා ප්‍රේක්ෂකයාට සමීප වූයේ වර්ෂ 1986 දී පමණ සංවිධානය කළ ඉන්දියානු සිනමා උළෙලකදී . එය කොළඹ හා මහනුවරදී පැවැත්වුනේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්. විචාර ප්‍රතිචාරද නොඅඩුව ලැබුණා .මේ සමඟ ප්‍රදර්ශනය වූ සෙසු සිනමාපටද ලැබුවේ ඉහළම ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර.”පිරවී”, “පාර් “ටත් වඩා ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබා ගත්තා.

“පාර්” හි එන්නේ ප්‍රේක්ෂකයා සසල කරන පුවතක්. දුෂ්කර ගමක වෙසෙන තරුණ දිළිඳු යුවළකට් සිදු වන්නේ ගම හැරදා නගරය බලා එන්නට.ඒ පසුපස ගම වෙලාගත් භීෂණයද තිබෙනවා. ඇත්තටම ඔවුන් ගම හැරදා නොපැමිනියේනම් ඝාතනයට ලක් වන්නටද ඉඩ තිබු බව නො රහසක්.

මේ යුවළ පැමිණෙන්නේ කල්කටාවට. ජනාකීර්ණ කල්කටාව අතිශය සංකීර්ණ මහා නගරයක්. කලකටා මහා නගරය තුළ මේ යුවළ ලිලිපුට්ටන්. ඇස් පනාපිටම. සිනමාකරුවා ඉතාම පරිස්සමෙන් මොවුන්ගේ නාගරික ජීවන අත්දැකීම් නිරූපණය කරන්නේ කිසිදු වාර්තානුරූපී පිවිසුමකට ඉඩක් ලබා නොදෙමින්. ඔහු මේ යුවළ සමගම කල්කටාවේ සංකීර්ණ ජන ජීවිතය හසු කර ගන්නේ සූක්ශ්මව.

“පාර්” නැරඹු අයකු තදින් සසල කළ අවස්ථා දෙකක් මෙතනදී සිහිපත් වෙනවා. ඉන් පළමුවැන්න එන්නේ එක්තරා රාත්‍රියක නගරයේ දිළින්දන් සමග මේ යුවළ පදික වේදිකාවක නිදමින් සිටි මොහොතක. එක් විටම තරුණ පිරිසක් ජය ඝෝෂා නගමින් පැමිණෙනවා. ඊට හේතුව ඒ මොහොතේදී ඉන්දියාව ලෝක ක්‍රිකට් කුසලානය දින ගැනීම. අර දිළින්දන්ද විනෝදකාමී තරුණ පිරිස හා එක් වනවා.

අනෙක් අවස්ථාව එන්නේ සිනමාපටය නිමාවත් සමගම. දැන් තරුණ බිරිඳ ගැබිණියක්. ජීවත්වීමට සරිලන ආදායමක් ඔවුනට නැහැ . ජීවිතය අතිශයින්ම කටුකයි . කෙසේ වෙතත් ඔවුනට තවත් සුළු ආදායමක් සරි කර ගත හැකි අවස්ථාවක් උදා වෙනවා. ඒ ඌරන් රංචුවක් ගංගාවකින් එගොඩ කිරීම. මහත් වෙර වෑයමෙන් ඔවුන් මෙම කාර්යය ඉටු කරනවා. එහෙත් ඔවුන් පැමිණ තිබෙන්නේ ගඟ මැද වූ දූපතකට. තවත් යා යුතු දුරක් තිබෙනවා. ගඟ හරියට ඉමක් කොනක් නැති දුෂ්කර ජීවිතය වගේ.

“පාර්” විශිෂ්ට හා විවාදාත්මක සිනමාපටයක් වීමට ප්‍රධාන චරිත ණ නිරූපනය කල නස්රුදීන් ෂා හා ශබානා ආස්මි දක්වූ දායකත්වය ඉමහත්. ඒ චරිත නිරූපනයකට වඩා චරිත තුළ නිර්ව්‍යාජව ජීවත් වීමක්.

මෙබඳු අනුවේදනීය පුවතකින් අතිශය හැගීම්බර සිනමාපටයක් නිර්මාණය වීම් අනතුරක් පවතින වග මුසාවක් නොවෙයි . සිනමාකරු එබඳු තැනකට සිනමපටය ගෙන නොඒම තුළ ඔහුගේ පරිනත බව ප්‍රකට කරනවා.

“පාර්” මුල් වරට මහජන ප්‍රදර්ශනයට එක වූයේ වර්ෂ 1984 දී. අදින් වර්ෂ 36 කට පෙරාතුව. එහෙත් “පාර්” අදටත් සලක බැලිය හැක්කේ එදවසට පමණක් නොව මෙදවසටද අදාළ කර ගත හැකි සිනමාපටයක් ලෙසින්.

-තුසිත ජයසුන්දර(fb)

Leave A Reply

Your email address will not be published.

one × 5 =