මේ තට්ටුමාරු දේශපාලනය තුළ පරිසරය සුරක්ෂිත නැහැ

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති
පාහියංගල ආනන්ද සාගර හිමි

පහුගිය කාලය පුරාවටම පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. පිටු ගණන් පුරවලා අපි ලිපි ලිව්වා. අපි මාධ්‍ය තුළින් මේ පිළිබඳ කතා කරන්න විශාල ගුවන් කාලයක් වැය කොට තිබෙනවා. හැබැයි වෙච්ච ප්‍රගතියක් පේන්න නැහැ. සමස්තයක් ලෙස පරිසර සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන, එසේම සිවිල් දේශපාලන සංවිධාන බලයේ ඉන්න ආණ්ඩුවලට අපි බලපෑම්කොට තිබෙනවා. නමුත් පාලකයන් නෑසූ කන්ව සිටිනවා. අපි කොතරම් බලපෑම් කළත් අවසානයේ අපිට ලැබෙන ඉඩ අවමයි. අපි මේ පාලකයොත් එක්ක කතා කරන්න ගිහාම අපිට තේරුම් ගිය දෙයක් තමයි මේ හැම පාලකයෙක්ම සිර දඬුවමක් විඳිනවා වගෙයි අපිට පේන්නේ. මොකද ලෝක බැංකුව ආධාර දීලා තියෙනවා මෙන්න මේ ව්‍යාපෘතිය කරන්න ඕන කියලා. මේ මේ තැන්වල ජල විදුලි බලාගාර ඉදිකරන්න ඕන කියලා කියනවා. සිංහරාජය සංවර්ධනය කරන්න ඕන මෙහෙමයි කියලා කියනවා. විල්පත්තුව සම්බන්ධයෙන් ගන්න ඕන මෙන්න මේ වගේ තීන්දුවක් කියලා කියනවා. ආසියානු සංවර්ධන බැංකුව කන්නෙලියට විදුලි කාර් දාන්න කියනවා. මේ වගේ මූල්‍ය ආයතනවලින් තමයි තීරණය කරන්නේ මොකක්ද කරන්නේ කියලා. බටහිර බලවේග විසින් තමයි තීරණය කරන්නේ රටේ පාරිසරික සම්පත කොයි විදිහටද හසුරුවන්න ඕන කියලා. අපේ ජාතික සම්පත් හසුරුවන්නේ කොහොමද කියලා ඒ කට්ටිය තමයි තීරණය කරන්නේ. අපේ පාලකයෝ ඉන්නේ නිකං හරියට රූකඩ වගෙයි. අර කට්ටිය නූල අදින විදිහට තමයි මෙයාලා වැඩකරන්නේ. ඒ ඇරෙන්න මේ පාලකයන්ට අපේ පාරිසරික සම්පත පිළිබඳව දැනුමකුත් නැහැ, අවබෝධයකුත් නැහැ, සැලසුමකුත් නැහැ, දැක්මකුත් නැහැ. අපේ පාලකයෝ බලන්නේ මොකක් හරි මූල්‍ය ආයතනයකින් දෙන මුදල් ටික අරගෙන, ඒ මුදල්වලින් වාහන ටිකක් අරන්, සැප පහසුවේ ජීවත්වෙලා, එදා වේල කාලා, තියෙන දෙයක් විකුණගෙන, ජීවත්වෙන්නේ කොහොමද කියලයි. දැන් අපි සිංහරාජය ගැන කියන්නේ මේකෙ ඉදිකිරීම් කරන්න එපා කියලා. එහෙම කළොත් ජෛව විවිධත්වය නැති වෙනවා, සතුන්ගේ වාසස්ථාන අහිමි වෙනවා, සතුන්ගේ ජීවන රටාව අහිමි වෙනවා. අපි මේක කපන්න එපා කියලා කිව්වහම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා, වනසංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයත් එක්ක ගිහින් කියනවා “කිසි ප්‍රශ්නයක් නැහැ මේක හොඳ ව්‍යාපෘතියක්. මේක දිගටම කරගෙන යන්න” කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ වැඩ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ ලංකාව සිංගප්පූරුවක් කරන්න. වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ළඟදී විශ්‍රාම ගන්න ඉන්නේ. නමුත්, ඔහු සම්බන්ධයෙන් අපට තියෙන්නේ බරපතළ චෝදනාවක්. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම අත්තනෝමතික ලෙස අපේ රටේ සංරක්ෂණ වනාන්තර පද්ධති සියල්ලම ඔහු හිතන්නේ ඔහුගේ පෞද්ගලික දේපොළක් කියලා. එයා බලන්නේ මේකෙන් කීයක් හරි හම්බ කරගන්න. සමහර වනසංරක්ෂණ නිලධාරීන්ද මේවාට හවුල්. මේ අයට මේවයේ නිවාඩු නිකේතන තියෙනවා. ඒවා පවත්වගෙන යන්නේ කොහොමද කියලයි එයාලා බලන්නේ. ඒ නිසා මේ අයත් එක්ක මේ පරිසරය රකින්න බැහැ. මෙතෙක් කල් මේ රට පාලනය කළ දේශපාලනඥයො එක්කත් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන්න බැහැ. ඒ නිසා ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයකට ජනතාව පෙලඹිය යුතුමයි. මේ තට්ටුමාරු දේශපාලන ක්‍රමය තුළ මේ දෙගොල්ලන්ටම තියෙන්නේ එකම න්‍යාය පත්‍රයක්. අපි මාරු කරන්නේ ඔළුගෙඩි ටිකක් විතරයි. මේ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න අපිට බැහැ. මේ න්‍යාය පත්‍රය අහෝසි කළ යුතුමයි.

Leave A Reply

Your email address will not be published.

3 × four =