ජනාධිපති තාත්තා වයලීන්- සර්පිනා සහ අපි

මෑතකදී මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසලක පැවති වැඩමුළුවකට සම්බන්ධ වීමට මා හට සිදුවිය. එකී වැඩමුළුව අවසානයේදී මම එම පාසලින් පිටත් වීමට සූදානම් වුණෙමි. ඒ මොහොතේ මා කරා පැමිණි දියණියක මා සමඟ කතා කළ හැකි දැයි විමසුවාය. මගෙන් ලද අවසරය මත ඇය මා සමඟ කෙටි කතා බහකට එක් වූවාය. ඇය දිළිඳු පවුලක දියණියක් බවත්, සිය පියා හදිසි අනතුරකින් මීට මාස කිහිපයකට පෙර මිය ගිය බවත්, දැනට අම්මා සහ ඇගේ මලනුවන් දෙදෙනා සමඟ අත්තම්මාගේ නිවසේ ජීවත් වන බවත් පැවසුවාය. කතාව අවසානයේදී ඇය මගෙන් ඉල්ලීමක් කළාය. ඇය උසස් පෙළ සංගීතය හදාරන අතර ඇය සතුව සංගීත භාණ්ඩයක් නොමැති බවත් හැකි නම් වයලීනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළාය. එක්වරම ඉදිරිපත් වූ මෙම ඉල්ලීමත් සමඟ මා නිරුත්තර වූ අතර ඇය ඊළඟට පැවසූ දෙයින් තවත් අවුලකට පත්වීමි. මට වයලීනය ලබාදීමට නොහැකි නම්, ජනාධිපතිතුමාට හෝ පවසා එය අරන් දෙන ලෙස ඇය ඉල්ලුවද, ඇය පැවසුවේ වත්මන් ජනාධිපතිතුමා එලෙස අවශ්‍ය සංගීත භාණ්ඩ ළමයින්ට ලබා දෙන අයුරු තමන් රූපවාහිනිය ඔස්සේ දැක ඇති බවයි. කිසිත් නොකියූ මම “බලමු පුතේ” යනුවෙන් පවසා ඉක්මනින් එතැනින් ඉවත් වුණෙමි. මට ජනාධිපතිතුමා වයලින් ලබා දෙන ආකාරය පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණි. ඇත්තෙන්ම පසුව කරුණු සොයා බැලීමේදී මා හට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා තමන් සංචාරය කරන ස්ථානවලදී මෙවැනි ඉල්ලීම් ලැබුණ විට ඒවා ඉටු කරන බවයි. එමෙන්ම එකී තොරතුරු ප්‍රධාන සිරස්තල ලෙස මාධ්‍යවලත් පළ වන බවයි. මෙවැනි අවස්ථා රැසක් පසුගිය කාලය පුරාම සිදුවූ බවයි. මේ පිළිබඳව මට ගැටලු ගණනාවක් පැන නැගිණි. මේ වන විට අපේ රටේ ලක්ෂ 03 ට අධික සිසුන් පිරිසක් උසස් පෙළ හදාරති. එයින් බොහෝමයක් දෙනා යන්නේ ඉතාම අවම පහසුකම් ඇති ග්‍රාමීය ප්‍රදේශවල පාසල් වෙතය. ඒවායේ දහසකුත් එකක් අඩුපාඩු තිබේ. නාගරික පාසල්වල බොහෝ දුරට එවැනි අඩුපාඩු අවම වන අතර එවැනි පාසල්වලට යන්නේ යම් හෝ ආර්ථික හැකියාවක් ඇති අයයි. විශේෂයෙන් සංගීත උපකරණ නොමැතිව සංගීතය හදාරන අති විශාල පිරිසක් අපේ රටේ නැතුවා නොවේ. සියඹලාණ්ඩුව දියණියගෙන් සංකේතවත් වන්නේ එම තිත්ත යථාර්ථයයි. මම මීට දශක 03 ට පෙර උසස් පෙළ හදාරන අවධියේදී හුණුවටයේ කතාව සිංහල විෂය නිර්දේශයට ඇතුළත් නිර්දේශිත කෘතියක් වූ අතර, මා කිසි දිනක හුණුවටයේ කතාව තබා කිසිදු වේදිකා නාට්‍යයක් හෝ නරඹා තිබුණේ නැත. අඩුම තරමින් වී එච් එස් පටයකින් හෝ එය නරඹා නොතිබුණි. නමුත් මා හට හුණුවටයේ කතාව පිළිබඳව නාට්‍ය විචාරයක් විභාගයට ලියන්නට සිදුවිය. එදා අප මුහුණ දුන් ගැටලු අදටත් විසඳී නැත.ජනප්‍රිය දේශපාලනයේදී වයලීනයක්, සර්පිනාවක් ලබාදීමෙන් කිසියම් ආස්වාදයක් තමන්ටත්, එම සිදුවීම දකින අහන අයටත්, ආස්වාදයක් ලැබිය හැකි මුත් මේ රටේ සුවහසක් දූ දරුවන් මුහුණ දෙන මෙවැනි ප්‍රශ්න විසඳෙන්නේ නැත. ග්‍රාමීය සම්භවයක් සහිත වත්මන් ජනාධිපතිතුමාට මෙම ප්‍රශ්න නොතේරෙනවා යැයි සිතිය නොහැකිය. තමන්ට හමුවන දරුවන් අතරින් බොහෝ දෙනෙක් ඉල්ලන මෙවැනි ඉල්ලීම් සලකා අදාළ සංගීත උපකරණ ලබා දෙන ජනාධිපතිතුමාට තමන් යන එන හැම තැනම මෙවැනි ඉල්ලීම් ගලා ඒම පිළිබඳවත්, එහි ඇත්ත ස්වභාවය පිළිබඳවත් නොතේරෙන්නේ මන්දැයි නොදනිමි. හරි නම් ජනාධිපතිතුමා අවම වශයෙන් කළ යුත්තේ ලංකාවේ උසස් පෙළ සඳහා සංගීතය විෂයක් ලෙස හදාරන දරුවන් අතරින් සංගීත භාණ්ඩ නොමැති සියලුම දරුවන්ට අදාළ පහසුකම රජය වෙතින් ලබාදීමට පියවර ගැනීමයි. මන්ද යත් මේ රටේ ජනතාවගේ මේ මොහොතේ සිටින පාලකයා වන්නේත්, දේශපාලනිකව සර්ව බලධාරී පුද්ගලයා වන්නේත්, වඩාම බලපෑමක් කළ හැකි පුද්ගලයා වන්නේත් ඔහු නිසාය. නමුත් ජනාධිපතිතුමා තවමත් සිදු කරන්නේ තමන් හමුවට සංගීත භාණ්ඩ ඉල්ලා පැමිණෙන දරුවන් කිහිප දෙනකුට අදාළ භාණ්ඩ ලබා දීමයි. ඒ පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය කර රටේ අනෙක් අසරණ දරුවන් තවදුරටත් අසරණ කිරීමයි. මීට මාස කිහිපයකට ඉහතදී චීනයේ සංචාරයක නිරත වීමට මෙම ලියුම්කරුට අවස්ථාව උදා විය. එහිදී චීනයේ හූනාන් පළාතේ පිහිටි හුනාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු සමඟ එරට අධ්‍යාපන පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා විය. චීනයේ අධ්‍යාපනය පිළිබඳව වන දැක්ම කුමක්දැයි මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු ඊට පිළිතුරක් නොදී මගෙන් පෙරළා පැනයක් යොමු කළේය. ඔබට දරුවන් සිටීද? යන්න එකී පැනයයි. මම ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුනිමි. කී දෙනෙක්ද යනුවෙන් නැවතත් පැනයක් යොමු විය. තිදෙනෙක් බව මම පැවසුවෙමි. ඔබ ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ කෙසේදැයි යළි පෙරළා අදාළ මහාචාර්යවරයා මගෙන් විමසීය. අපේ රටේ දිය හැකි හොඳම අධ්‍යාපනය සහ පහසුකම් ලබාදීම මගේ අරමුණ බව මම පැවසුවෙමි. යළි මහාචාර්යවරයා මෙසේ පැවසීය. ඔබ ඔබේ දරුවන් ගැන සිතන්නේ කෙසේද? අප චීනයේ සිටින සමස්ත දරුවන් ගැන සිතන්නේ එසේය. මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම තිබෙන හොඳම අධ්‍යාපනය අප ඔවුන්ට ලබා දීමට උත්සාහ කරන බවත්, අධ්‍යාපනය යනු අනාගත ආයෝජනයක් බවත්, අද සිදු කරන එම ආයෝජනයේ ප්‍රතිඵල අනාගතයේදී අපේ රට බුක්ති විඳිනු ඇති බවත් එම මහාචාර්යවරයා මා සමඟ පැවසීය. මට මා ගැන ලජ්ජාවක් ඇති විය. ඒ ගැන නොව අපේ රට සහ එහි දැනට පවතින අධ්‍යාපන ක්‍රමය ගැන සිහිවීම නිසාය.දැන් මට චීන මහාචාර්යවරයා සහ අපේ රටේ ජනාධිපතිවරයා එකට තබා සිහි වේ. අධ්‍යාපන පද්ධතියේ පවතින දහසකුත් එකක් දුෂ්කරතා සහ අඩුපාඩු අපට අරුමයක් නොවේ. බීමට පිරිසිදු පානීය ජලය හෝ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් කීයක් අපේ රටේ තිබේද? ප්‍රමාණවත් නිල ඇඳුම් නොමැති පාසල් ළමුන් කී දෙනෙක් අපේ රටේ සිටිත්ද? නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට සුදුසු පංති කාමර නොමැති පාසල්, පොල් අතු සෙවිලි කළ කටු මැටි ගැසූ බිත්ති ඇති පාසල් කීයක් අපේ රටේ තිබේද? විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම්, නිසි පරිදි ප්‍රමාණවත් ගුරුවරුන් නොමැති පාසල් කීයක් අපේ රටේ තිබේද? පරිගණකයක් දැක නැති පාසල් දරුවන් කීදෙනෙක් අපේ රටේ සිටීද? එවැනි දහසකුත් එකක් ගැටලු අතර අපේ පාසල් දරුවන් ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටිය යුත්තේ මුළු රටම එක් කලාපයක් ලෙස සලකා පවත්වන විභාගවලටය. කොළඹ 07 පාසලට යන දරුවාත්, සියඹලාණ්ඩුව මම එදා ගිය පාසලේ දරුවාත් පිළිතුරු ලිවිය යුත්තේ එකම ප්‍රශ්න පත්‍ර වලටය. මෙය සාධාරණද? රටේ සංවර්ධනයට වෙන් කරන මුදල්වලින් සියයට 40 ක් දූෂණයට ලක් වන බවත් හොරා කන බවත් කියන්නේ අප නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. මෙලෙස හොරා කන මුදල් අපේ රටේ පාසල් අධ්‍යාපනය නගාසිටුවීමට යෙදවිය නොහැකිද?අනෙක් පසින් ජනප්‍රිය පාසල් තරගය හේතුවෙන් මේ වන විට ඇති වී ඇති තත්ත්වය ජනාධිපතිතුමා දන්නේද? ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීම සඳහා 5 ශිෂ්‍යත්වය වෙනුවෙන් අපේ දරුවන්ගේ ළමා කාලය කෲර ලෙස මරා දැමීමට මේ රටේ මව්පියන්ට සිදුව ඇත්තේ ඇයි? ජනප්‍රිය යැයි කියන පාසලකට ළමයින් ඇතුල් කිරීමට මව්පියන් අනවරත දුෂ්කර තරගයක නිරත වන්නේ තමන්ගේ දරුවාට හොඳම දේ සහ හොඳම අධ්‍යාපනය ලබාදීමට නොවේද? මේ රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 ක් ඇති අතර අඩුම තරමේ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා එක් අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත පාසලක් හෝ ගොඩනැගීමට ජනාධිපතිතුමාට නොසිතෙන්නේ මන්ද? නිදහසින් පසුව ගෙවුණ 71 වසර තුළ මේ පිළිබඳව අපේ රට පාලනය කළ අය සිතුවාද? හෙට දිනයේදී සමරන 71 වන ජාතික දින සැමරුම සැබෑ සැමරුමක් වන්නේ කෙසේදැයි ජනාධිපතිතුමා මේ රටට පවසනවාද? පුරා වසර 71 ක් මේ රට විනාශ කරන ලද්දේ නිසි විද්‍යානුකූල ඉදිරි දැක්මක් නොමැති මෙවන් පාලකයන් නොවේද? තම දියණියට අවැසි නමුත් තමන්ට මිලදී ගෙන ලබාදිය නොහැකි වයලීනය හෝ සර්පිනාව රටේ පාලකයා හමු වූ අවස්ථාවක ඉල්ලා ගන්නා තරමට අපේ රටේ අනාගතය වන දරුවන් අසරණද? මව්පියන්ගේ, දරුවන්ගේ මානසිකත්වය බිඳ දමන, ඔවුන් අසරණ කරන මෙවැනි තත්ත්වයක් ශිෂ්ට රටකට, සමාජයකට සුදුසුද? ආත්මශක්තිය වෙනුවට දීනකම උගන්වන මෙම සමාජ ක්‍රමය වෙනස් කළ යුතු නොවේද? දරුවන් ගැන හිතන, ඔවුන්ගේ අධ්‍යාපනය ගැන හිතන, දරුවන්ට හොඳම දේ දෙන, අධ්‍යාපනය වාස්ථවික ලෙසත්, ඓන්ද්‍රීය ලෙසත් රටේ සංවර්ධනය සමඟ බද්ධ කරන විද්‍යාණුකූල වැඩපිළිවෙළක් රටටට අවශ්‍ය නැද්ද? මම හිතන්නේ මේ ඒ සඳහා සිතිය යුතු කාලයයි. ඒ වෙනුවෙන් වැඩ කළ යුතු කාලයයි. එවැනි පුළුල් දැක්මක් සහිත සංවිධිත ප්‍රවේශයකින් අපේ ප්‍රශ්න දෙස බැලිය යුතු කාලයයි. එසේ නොවන්නේ නම් මහමගදී තමන්ට නිසි ලෙස ඉගෙන ගැනීම සඳහා වයලීන් ඉල්ලන, සර්පිනා ඉල්ලන දරුවන් තව තවත් නිර්මාණය වනු ඇත. එලෙස අඩුපාඩුකම් ඉල්ලන විට ඒවා ලබාදෙන, එසේ ලබා දී මාධ්‍ය සංදර්ශන පවත්වන, ප්‍රශ්නය දෙස විද්‍යානුකූලව නොබලන, අඩුපාඩුකම් ඇති සියලුදෙනා ගැන සිහි නොවන පාලකයන් තවදුරටත් මේ රටේ බිහිවනු ඇත. එමෙන්ම එක තැන පල්වන මේ රට තවදුරටත් මෙලෙසම පවතිනු ඇත. මේ කඳු මුදුන් සොයා පියාසර කළ යුතු කාලයයි. තීරණය ඇත්තේ ඔබ අතේය.

අනුහස් බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

9 − seven =