ඔවුන් මගේ තාත්තාව ඝාතනය කළේ ඇයි?

ලසන්ත වික්‍රමතුංගගේ මරණය ගැන දස වසරකට පසු දියණිය අහිම්සා වික්‍රමතුංග කියන කතාව

මට මුලින්ම මිග් ගනුදෙනුව ගැන දැනගන්නට ලැබුණේ, 2007 අගෝස්තු මාසයේදී මා පවුලේ ඥාතීන් බැලීමට කැනඩාවට ගොස් සිටියදීය. තාත්තා කොළඹ සිට දුරකථනයෙන් අමතා විස්තර කීවේ ලොකු සතුටකිනි. ගුවන් හමුදාවත්, ගෝඨාභය රාජපක්ෂත් සම්බන්ධ රහස් හමුදා කොන්ත්‍රාත්තුවක් ගැන ‘සන්ඬේ ලීඩර්’ පුවත් පත හෙළිදරව්වක් කළ බව ඔහු කීවේය.ඒ මිග් ගනුදෙනුවට තමා සම්බන්ධ නැතැයි ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී නාළිකාවක සාකච්ඡාවකදී පවසනු මගේ පියා දැක තිබිණි. තාත්තා මිග් ගනුදෙනුවේ සුලමුල ටෙන්ඩර් පටිපාටිය, ණයවර ලිපි, අන්තර් රාජ්‍ය ගිවිසුම් ආදී බොහෝ දෑ දිගට හරහට කියාගෙන ගිය අතර, මගේ 16 වියැති අහිංසක මනස තුළ සියල්ල තැන්පත් වූයේ සාමාන්‍ය දුවක හා පියකු අතර සංවාදයක් බවට ඒ දුරකථන ඇමතුම පෙරළා ගන්නට මා ගත් අසාර්ථක උත්සාහය මධ්‍යයේය. ඔහුගේ අවධානය යොමු වුණේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කරන්නට යන හෙළිදරව්ව පිළිබඳ වූ අතර, විශේෂයෙන් ගනුදෙනුවේ මුදල කෙරෙහි ඔහුගේ සිත යොමු වී තිබිණි.දින කිහිපයකට පසු එනම්, 2007 සැප්තැම්බර් 2 වැනි ඉරිදා සුපුරුදු පරිදි මම ‘සන්ඬේ ලීඩර්’ වෙබ් අඩවියට පිවිසුණෙමි. මගේ පියා ලියූ, ‘මිග් ගනුදෙනුව ආරක්ෂක අමාත්‍යාංශය මත කඩා වැටෙයි’ යන දැවැන්ත සිරස්තලයෙන් යුතු ලිපිය එහි විය. ඒ වාර්තාවට අනුව ගෝඨාභය රාජපක්ෂ තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි රූපවාහිනී නාළිකාවකින් අවධාරණය කළ මිග් ගනුදෙනුව සිදු කරනු ලැබ තිබෙන්නේ ඔහුගේම ඥාති සොහොයුරකු වන උදයංග වීරතුංග විසිනි. එය ආරම්භ වී ඇතැයි කියන්නේ රාජපක්ෂ, වීරතුංග, ගුවන් හමුදාපති සහ ගනුදෙනුවේ යුක්රේන මොළකරුවකු අතර සාකච්ඡාවකිනි.‘සන්ඬේ ලීඩර්’ වාර්තාවට අනුව රාජපක්ෂ සමඟ එම සාකච්ඡාව වී තිබෙන්නේ පෙබරවාරි 6 වැනිදාය. ගුවන් හමුදාවට හදිසියේම මිග් යානා පිපාසයක් හටගෙන ඇති බව ඔවුන් කියා තිබෙන්නේ ඊට පසු දින හෙවත් පෙබරවාරි 7 වැනිදාය. එදිනම ගුවන් හමුදාපතිවරයා යුක්රේනයේ කුමන්ත්‍රණකරුට ලිපියක් යවමින් මිග් යානා අලෙවි කරන්නට යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි කියා ඇත.2006 පෙබරවාරි 07 දාතමින් ගුවන් හමුදාපති ඩොනල්ඞ් පෙරේරා යුක්රේන ජාතික දිමිත්‍රි පෙරෙගුඩෝයිට යැවූ මේ ලිපිය මම දුටුවෙමි. එය සාමාන්‍ය ලිපි ශීර්ෂයක ලියූ ලිපියක්ද නොවීය. පෙර පාසල් ගුරුවරුන් කුඩා දරුවන්ට පෝස්ටර් සාදන කොමික් සෑන්ස් අකුරුවලින් එය යතුරුලියනය කර තිබුණු අතර, ළමා ලිපියකට වැඩි යමක් එහි නොවූ තරම්ය. එමඟින් කලින් දා ආරක්ෂක ලේකම් කාර්යාලයේදී ස්වකීය ප්‍රධානියාගේ ඥාති සොයුරා ගුවන් හමුදාපතිවරයාට බලෙන්ම ගිල්ල වූ යෝජනාව පසුකාලීනව විධිමත් යෝජනාවක් බවට පත් කිරීම ලිපියෙහි අරමුණ විය.මා දන්නා තරමින් හදිසියේම මිග් යානා අවැසි බවට එබඳු යෝජනාවක් ගෙන ආවේ ඇයි දැයි මේ වන තුරු කිසිවකුත් ඩොනල්ඞ් පෙරේරාගෙන් විමසා නැත. ඊට සති දෙකකට ඉහතදී හෙතෙම ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් මිග් පමණක් නොව ගුවන් හමුදාවට විකල්ප වැඩි සංඛ්‍යාවක් සලකා බලන්නට අවශ්‍යව ඇති බව දන්වා තිබිණි.ප්‍රසම්පාදන පටිපාටියේ සම්මත පියවර කිහිපයක් මඟහැරීමේ සිට ලාභය විශුද්ධිකරණයට යොදා ගත් රහස්‍ය සමාගම හෙළිදරවු කිරීම දක්වා මිග් ගනුදෙනුවේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කැරෙන තවත් ස්ථාන කිහිපයකටම මගේ පියාගේ ලිපියෙන් ඇඟිලි ගසා තිබිණි. රාජපක්ෂ ඥාති සොයුරු වීරතුංග හවුල් වූ අදාළ ගනුදෙනුවේ සෑම තැනක්ම ඉස්මතු කර පෙන්වාදී තිබිණි.ඉන් මාසයකට පමණ පසු (2007 ඔක්තෝබර් 18 දා) ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයෙක් මගේ පියාට එන්තරවාසියක් එවමින් අපහාස කිරීමට එරෙහිව රුපියල් බිලියනයක් ඉල්ලා නඩු පවරන බව තර්ජනාත්මකව දන්වා සිටියේය. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ පය තබන්නට යන්නේ ‘සන්ඬේ ලීඩර්’ කතුවරයා විසින් ශූර ලෙස අටවන ලද උගුලකට බව ඔහු දැන සිටින්නට ඇතැයි මට සිතා ගන්නටවත් බැරිය. මගේ පියාගේ නිර්භීත වාර්තාකරණය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් කාර්යභාරයට අහිතකර බලපෑමක් ඇති වී තිබෙන බවත්, එයින් යුදබිමේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් අදාළ එන්තරවාසියෙහි දක්වා තිබිණි.ඊට ප්‍රතිචාර දක්වමින් මගේ පියා ලියුවේ එය එසේ නම්, රාජපක්ෂ ජාතික ආරක්ෂාවේ යහපත වෙනුවෙන් වහාම සිය තනතුරින් ඉල්ලා අස් විය යුතු බවය. ඉන් නොනැවතී හරස් ඉල්ලීමක්ද ඉදිරිපත් කළ මගේ පියා තමා අඛණ්ඩවම මේ රටේ රැඳී සිටිමින් රටේ යහපත වෙනුවෙන් වැඩ කළ නමුත්, රාජපක්ෂ අමෙරිකාවට පැනගොස් එහි පුරවැසිකම ගනිමින් එරටට පක්ෂපාතී බවට ප්‍රතිඥා දීම පදනම් කර ගනිමින් තමාට එරෙහිව නඩු පැවරුවහොත්, රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා සිටින බව කීවේය.සිය වෘත්තීය ජීවිතය පුරා නඩු කටයුතුවල දක්ෂයකු වූ මගේ පියා වචන හරඹයේ ප්‍රවීණයෙක්ද විය. ඒ වන විට ඔහු එළඹ සිටියේ වඩාත් අනර්ථකාරී වදන් හරඹයකය. මේ වචන හුවමාරුවෙන් සති කිහිපයකට පසු 2007 නොවැම්බර් 21 වැනිදා කළු ඇඳුමින් සැරසුණු කොමාන්ඩෝ භටයෝ ‘සන්ඬේ ලීඩර්’ කාර්යාලය වටලා එහි ආරක්ෂකයන්ට රයිෆල් අමෝරා මුද්‍රණාලයට ගිනි තැබූහ. මේ බියගුලු ක්‍රියාව සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට නොගැනීම හා පරීක්ෂණ සිදුනොවීම පුදුමයක් නොවේ.මාස තුනකට පසු මගේ පියා බලාපොරොත්තු වූ සටන ඇරඹිණි. 2008 පෙබරවාරි 22 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මගේ පියාට සහ ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේය. මගේ පියා රාජපක්ෂ සම්බන්ධයෙන් පළ කරන ලද කරුණු අසත්‍ය, ද්වේශසහගත, අපහාසාත්මක ඒවා බව පැමිණිල්ලේ සඳහන් විය. ඒ වන විට මම පියාත් සමඟ නුගේගොඩ, කන්දවත්ත ටෙරසයේ පිහිටි නිවසේ විසූයෙමි. නඩු පවරා ඇති පුවතට ප්‍රතිචාර වශයෙන් ඔහු සිනාමුසු මුහුණින් නිවසේ සැරිසරන විට මට පුදුමයක් දැනිණි.මා කුතුහලයෙන් ඔහු දෙස බැලූ අතර, ඔහු එතෙක් නිමග්නව සිටි දුරකථන ඇමතුම අවසන් කර “මේ බලන්න” යනුවෙන් ගැඹුරු සංවාදයකට පිවිසුණේය.දස වසක දුක්බර සමයකින් පසු ඒ පිළිබඳ මගේ මතකය අවුල්සහගත නමුත්, ඔහු කීවේ වෙනත් නඩුවලදී හරස් ප්‍රශ්න ඇසීම විසඳිය යුතු කාරණයට පමණක් අදාළව සිදුවන නමුත්, අපහාස නඩුවකදී එසේ නොවන බවයි. අපහාස නඩුවකදී අදාළ පුද්ගලයාගේ චරිතය සම්බන්ධයෙන් ඕනෑම පැතිකඩකින් ප්‍රශ්න ඇසිය හැකි බව ඔහු එදා කීවේය. ඔහුගේ කීර්තියට හානි වූ බව ඔහු කීවත්, මා කියන්නේ මා ලියූ දේ නිවැරැදි බව හා රටේ පොදු යහපත වෙනුවෙන් ඒවා අනාවරණය කළ බවයි. මගේ පියා නිතිඥයකු බව ද අමතක නොකළ යුතුය.ගෝඨාභය එතෙක් මෙතෙක් කළ කී සියලු දෑ ප්‍රශ්න කරමින්, හෙළිදරවු කරමින් අදාළ නඩුවේ පූර්ණ වාර්තාව ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ නොකඩවා පළ කිරීමට ඔහු සැලසුම් කර තිබිණි.සැලැස්ම හෙළි කිරීමෙන් පසු ඔහු මට අවවාදයක්ද දුන්නේය. “තමන් සම්බන්ධ එක රහසක් හරි තියෙනවා නම්, කවදාවත් කාටවත් විරුද්ධව අපහාස නඩු පවරන්න එපා” යනු ඔහුගේ උපදේශයයි. ඔහු දිගින් දිගටම රජයේ වංචා, දූෂණ එකින් එක හෙළිදරවු කළේය. ආණ්ඩුවට දුවන්න දෙන බව ඔහු කීවේය. ඔහුගේ පුරසාරම් අප සැලකුවේ තාර බර අඩු කිරීමෙන් පසුවය. ඔහු ඕනෑම ආණ්ඩුවකට දුවන්නට දෙන්නෙකි.ඔහුගේ ස්වරූපය අඳුරු වන්නට වූයේ රජයේ ආරක්ෂක අංශයට දැඩි විවේචන එල්ල කළ තවත් සහෘද මාධ්‍යවේදියකු වූ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියත් සමඟය. ඒ සිද්ධියේ කිසියම් අමුත්තක් විය. මුද්‍රණාලය ගිනි තැබීමේ සිද්ධියටත් වඩා කීත් නොයාර් සිද්ධියෙන් තාත්තා කනගාටුවට පත් විය. ඔහුගේ මුහුණේ නිරතුරුව රැඳී තිබූ දීප්තිය, සිනහව හා සුබවාදය ගොළු වූ සෙයකි. ඉන් පසු ගත වූ දිනවල ඔහු දුරකථනයෙන් ඇතැමුන්ට මුමුණා ජීවිතාරක්ෂාව පතා රටින් පිටවන ලෙස දන්වනු මට ඇසිණි. මහින්ද රාජපක්ෂ හා ඔහු අතර පැවති සබඳතා පිළිබඳ පිටස්තරයන් ඉදිරියේ ඔහු කතා කළේ ඉතා අඩුවෙනි. කෙසේ වෙතත් මේ සිදු වීමෙන් පසු ඔහු ජනාධිපතිවරයාට වඩා සමීප වන බවක් දක්නට ලැබිණි.ජනාධිපතිවරයා මුණගැසීමේදී හා ඔහුට කතා කිරීමේදී තාත්තා වඩාත් පරෙස්සම් විය. ආපසු හැරී බැලීමේදී මට පෙනී යන්නේ එය බුද්ධි අංශවල උකුසු ඇසින් ගැලවීම උදෙසා ජනාධිපතිවරයාත්, මගේ පියාත් යන දෙදෙනාම අනුගමනය කළ පියවරක් බවයි. ඔවුන් දෙදෙනා කතාබස් කළේ මොනවා ගැනද යන්න සම්බන්ධයෙන් ඉඟියක් මා සතුව නැතත්, මහින්ද කිසියම් අනාරක්ෂිත බවකින් පෙළුණු නිසා යම් සහනයක්, සැනසීමක් ලබා ගනු පිණිස දශක ගණනක් දිගු මිතුරුදමට වැඩියෙන් නැඹුරු වූ බවයි මගේ පියා මට කීවේ. 2008 දෙසැම්බර් මස ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලිපි ලිවීම වළක්වමින් දිසා අධිකරණය නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, තවමත් ගෝඨාභයගෙන් උසාවියේදී හරස් ප්‍රශ්න අසන්නට බලාපොරොත්තු වෙනවා දැයි දිනක් නිවසේ රූපවාහිනිය නරඹන අතරතුර මම තාත්තාගෙන් ඇසුවෙමි. ඔහු කෙළින් උත්තරයක් නුදුන්නත්, දිනක් පැවසුවේ තමාට එතරම් දුරක් යන්නට ඔවුන් ඉඩ නොතබනු ඇති බවයි. ඉන් අදහස් කළේ කුමක් දැයි මා විමසූ කල මා සිප වැළඳ ගත් ඔහු තමාට කුමක් හෝ සිදු වුවහොත්, අවශ්‍ය උපදෙස් හා මුදල් ප්‍රමාණයක් ඔහුගේ අල්මාරියේ කුඩා සාක්කුවක තබා ඇති බව මට කීවේය. මගේ හුස්ම හිරවුණාක් මෙන් දැනිණි. ඒ මා තැතිගත් නිසාද නැතහොත්, ඔහු මා තරයේම වැළඳගෙන සිටි නිසාද යන්න මට මතක නැත.එහෙත්, මගේ පියා ඉදිරියේ බියෙන් සලිතව සිටීම අපහසුය. ඔහු තුළ වූයේ අමරණීයව සියලු තැන සිටින ස්වභාවයකි. සෑම පක්ෂයකම දේශපාලනඥයෝ ඔහු සැම විට සැම තැනම සිටින්නකු යැයි විහිළු කළහ. ඔහු වෙඩි නොවදින ස්පර්ශ කළ නොහැකි අයකු යැයි මිතුරෝ පැවසූහ. එහෙත්, මගේ පියා කියූ දේ නිවැරැදි බව පසක් වුණේ ඊළඟ මාසයේ එනම් 2009 ජනවාරි 8 වැනිදාය. අන් සියල්ලන් වැරදිය. එදින හිරු උදාවෙන් මොහොතකට පසු ඔහු අවදි වුණේය.සුපුරුදු පරිදි එක් අතකින් දුරකථනය කනේ රුවා ගනිමින් අනෙක් අතින් උදේ ලෑස්ති වීමේ කටයුතුවල ඔහු නිරත විය. ඔහුගේ අතින් දුරකථනය ගිලිහෙන්නේ උදෑසන නෑමට පෙර ව්‍යායාම් කරන අවස්ථාවේදී පමණි. ව්‍යායාම කරන විටදී දුරකථනයේ ලවුඞ්ස්පීකරය ක්‍රියා කරවිය හැකි බව ඔහුට නිනව් නැතිවා විය හැකිය.

අමිහිරි දවස ගැන මතකය…

ඔහු ඇඳුම් හැඳගත් පසු අපි උදේ ආහාරය පිණිස බිම් මහලේ කෑම මේසයට වාඩිගතිමු. ඔහු කඩිමුඩියේම ආහාර ගත් අතර, මම ඔහුත් සමඟ කාරය දක්වා ගමන් කළෙමි. වෙනදා මෙන් මගේ නළලත සිපගත් ඔහු කිසිදු අමුත්තක් නැතිව උදේ 8.15ට පමණ ගෙදරින් පිටත් විය.මට කෑමට යමක් රැගෙන එන්නැයි නිවසේ රියදුරු ඩයස්ට මුදල් දුනිමි. තාත්තාට කතා කර තමාගේ දුරකථනය තාත්තාගේ කාරයේ තිබෙන බව දන්වන්නැයි ඩයස් මට කීවේ කෙළින්ම කතා කළොත් බැණුම් අසන්නට වේ යැයි බියෙනි. මම ඩයස් වෙනුවෙන් කතා කළෙමි. ඊට පැය කිහිපයකට පසු පහත මාලයට පැමිණ මම ඩයස් කෑම ගෙනාවේ නැති දැයි ගෙදර මෙහෙකාරිය වූ මැණිකාගෙන් විමසූ විට ඇය මදෙස නොබලා මගේ පැනයට පිළිතුරු දීමද මඟහැරියාය. ඉන් විමතියට පත් මම ඩයස්ගේ දුරකථනයට කතා කළෙමි. “මං හොස්පිටල් එකේ” ඔහු කලබලයෙන් කීවේය.මගෙ හදවත හැකිළී රුධිරය කැටි ගැසුණාක් මෙන් දැනුණු අතර, මැණිකා රූපවාහිනිය ක්‍රියාත්මක කළ විට ‘සිරස’ නාළිකාවේ තාත්තාට පහර දීම පෙන්වමින් තිබිණි. එය පහර දීමක්ද, වෙඩි තැබීමක් දැයි මට නිච්චියක් නැත. මගේ මතකයේ තිබෙන්නේ ඩයස් රෝහලේ බවත්, මැණිකා ගල්ගැසී සිටි ආකාරයත්, රූපවාහිනී නිවේදකයා තාත්තාගේ නම කියනවාත් පමණි.ආපසු උඩුමහලට දිව ගිය මම දුරකථනයෙන් පවුලේ සාමාජිකයන්ට ඇමතුම් දුනිමි. මගේ නැන්දනිය කීවේ එය බොරු ආරංචියක් විය හැකි බවයි. මෙල්බර්න්හි වාසය කරන අම්මාට කතා කර යම් දෙයක් සිදු වී ඇති බවත්, ඇය වහාම මගේ සොයුරන්ද රැගෙන කොළඹ පැමිණිය යුතු බවත් කීවෙමි. ඉන් පසු තාත්තා ගෙදර පැමිණෙන තුරු බලා සිටියෙමි. ඔහු පැමිණ ඇඳුම් මාරු කර ජනමාධ්‍යවලට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව රූපවාහිනියට ප්‍රකාශයක් කරනු ඇත . කළු ඇඳුමින් පැමිණි කොමාන්ඩෝ භටයන් ‘සිරස’ නාළිකාව වට කර බෝම්බ ගැසීමේ සිද්ධියේදී කළාක් මෙන් ඔහු එසේ කරනු ඇතැයි අපේක්ෂා කළෙමි. එහෙත්, ඔහු ආවේ නැත. ඉන්පසු මගේ ඥාති සොයුරිය රයිසා පැමිණියාය. ඇගේ දෑසින් කඳුළු වැගිරෙන්නට විය. ඉන්පසු බොහෝ දෙනා පැමිණ “අනේ අපොයි” කියනවාට වඩා යමක් ඒ ජනවාරි 8 වැනිදා සම්බන්ධයෙන් මගේ මතකයෙහි නැත.එතැන් පටන් ගත වූ අවුරුදු කිහිපය තුළ මා මෙල්බර්න් හි අම්මා සමඟ කාලය ගත කළත්, තාත්තා නැති අඩුව මට ගෙන දුන්නේ කියා ගත නොහැකි පාළුවකි; වේදනාවකි. පිය සෙනෙහස අවශ්‍යම වූ යොවුන් වියේදී මට පියා නැතිකම ගැන සිතමින් සිටින්නට විය. මගේ පියාගේ ඝාතනය ලෝකයෙන් සඟවා තබන්නට කුරිරු බලවේග මොනතරම් දේ කර තිබේද යන්න මට වැටහුණේ ඉන් අවුරුදු 8කට පසු රහස් පොලිසියේ නිශාන්ත සිල්වා සහ සිසිර තිසේරා 2016 දෙසැම්බර් මාසයේදී මුණගැසුණු පසුවය. ඔවුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය මට මගේ පියා වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සපයන බලවේගය බවට පත් විය. 2009 ජනවාරියෙන් පසු පළමු වතාවට යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් දිවි පරදුවට තබන මිනිසුන් දක්නට ලැබීම මට ධෛර්යයක් ගෙන දුන්නේය. මා ඔවුන් සමඟ සිටගත යුතු බව වැටහිණි.මගේ පියා අවසන් හුස්ම හෙළන මොහොත දක්වාම ජනමාධ්‍යවේදියෙකි. ඔහු සිය අවසාන සටහන සිය සටහන් පොතේ තබා ඇත්තේ හුස්ම හෙළන මොහොතේදීය. ඒ යතුරුපැදි දෙකක අංක තහඩු පිළිබඳ සටහනකි. ඒවා තමාට පහර දුන් අය පැමිණි යතුරුපැදිවල අංක විය යුතුය. ඒ සටහන් පොත අතුරුදන්වී ඇත. 2009 ජනවාරි මාසයේ මැද දිනක සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී නිර්මලා කන්නන්ගර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හමු වූ අවස්ථාවක ඒ සටහන් පොත ගැන විමසා ඇත. ඒ වන විට මගේ පියාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අධීක්ෂණය කළේ ඔහුය.පියාගේ මරණ මංචකයේදී නිර්මලා සියැසින්ම දුටු සටහන් පොත කොහිදැයි ඇසූ විට නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවුර දිවුරා කියා තිබෙන්නේ එවැනි පොතක් හමු නොවූ බවත්, එය නිර්මලාගේ මතකයේ සිදු වූ වැරදීමක් බවත්ය. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළුව පොලිසියේ කිහිප දෙනකුම කියා තිබුණේ තාත්තාගේ සටහන් පොත නානායක්කාර විසින් සාක්ෂි ලේඛනයෙන් ඉවත් කළ බවයි. එසේම එය විනාශ කරන්නටත් හෙතෙම අණ දී තිබිණි. රහස් පොලීසිය නානායක්කාරව අත්අඩංගුවට ගත් නමුත් සාක්ෂි විනාශ කරන්නට තමාට අණ දුන්නේ කවුරුන්ද කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් ඔහු මුනිවත රකී.මේ අතර 2009 ජනවාරි අගදී මගේ පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර කේ. සුනිල් කුමාර තාත්තා වෙඩි පහරකින් මිය ගිය බවට සාවද්‍ය වාර්තාවක් සකස් කරමින් සිටියේය. වෙඩි උණ්ඩ සිරුරට ඇතුළු වූ හෝ පිට වූ සිදුරු නැතිව එමෙන්ම සිරුරේ කිසිදු වෙඩි උණ්ඩයක් නැතිව සිද්ධිය වූ ස්ථානයේ වෙඩි බෙහෙත් හෝ හිස් පතරොම් කොපු නැතිව එම සාවද්‍ය වාර්තාව අපූරුවට සකස් වෙමින් තිබිණ. ඒ මරණ පරීක්ෂණ වාර්තාව වැරදි බව සනාථ කිරීමට රහස් පොලීසියට තාත්තාගේ සිරුර ගොඩගෙන වෛද්‍ය විශේෂඥයන් තිදෙනකු යටතේ නැවත පරීක්ෂණයක් කරන්නට සිදුවිය. ගිනි අවි භාවිතයක් වූ බවට සැක කරන්නට කිසිදු පසුබිමක් නැති බවත්, තියුණු ආයුධයකින් කළ කැපුම්වලින් මරණය සිදු වී ඇති බවත් ඔවුහු ඒකමතිකව නිගමනය කළහ.මරණ පරීක්ෂණ දහස් ගණනක අත්දැකීම් ඇති අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන සුනිල් කුමාර වෛද්‍යවරයා එවැනි සාවද්‍ය නිගමනයකට පැමිණියේ මන්දැයි අපි නොදන්නා නමුත්, ඔහු නියෝජ්‍ය පොලිස්පති නානායක්කාරගේ සමීප ඥාතියකු බව හොඳාකාරව දනිමු. එමෙන්ම ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාව සැකසෙද්දී දෙදෙනාම සමිපව කටයුතු කළ බවද දනිමු.තාත්තාගේ මරණයෙන් ප්‍රීතියට පත් ගෝඨාභය රාජපක්ෂ බී.බී.සී. ය සමඟ පිළිසඳරක යෙදෙමින් “ලසන්ත වික්‍රමතුංග කියන්නෙ කවුද? තවත් එක ඝාතනයක් පමණයි. මා ඒ ගැන දුක් වන්නේ නැහැ” යනුවෙන් සිනාසුණේ ද මේ සමයේදීමය. මගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඔහුම විය.

ඝාතනයෙන් පසු හෙළි වූ දේ

මා ශ්‍රී ලංකාව හැරදා පැමිණ මාස කිහිපයකට පසු දිනක් මෙල්බර්න්හි සිට අපේ රියදුරු ඩයස්ට කතා කළෙමි. මා සිතන අන්දමට පියාගේ මරණයට වගකිව යුතු කවුරුන් දැයි ඩයස් ඇසුවේය. තාත්තාගේ අනාවැකි පදනම් කරගෙන මෙය ගෝඨාභය විසින් කරන ලද්දක් විය යුතු යැයි ඩයස්ට කීවෙමි. ඉන්පසු වේදනාව මකා ගන්නට තැබෑරුමකට ගිය අසරණ ඩයස් ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ ගෝඨාභය රාජපක්ෂ යැයි ප්‍රසිද්ධියේ කියා ඇත. ඊට පසු දිනෙක සුදු වෑන් රථයකින් ඩයස්ව පැහැරගෙන ගොස් ඇති අතර, රහස් නිවෙසකදී මරණ තර්ජන එල්ල කරමින් යළි කිසි දිනක ගෝඨාභයගේ නම මේ සම්බන්ධයෙන් නොකියන ලෙස අවධාරණය කර ඇත. ඉන් තැති ගත් ඩයස් කොළඹ හැර පලා ගියේය. තමා එදා පැහැර ගත් තැනැත්තා හඳුනා ගන්නට අවස්ථාවක් රහස් පොලිසිය විසින් ඔහුට ලබා දුන්නේ 2016දීය. ඩයස්ව පැහැර ගත් තැනැත්තා හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන උදලාගම බවට හැඟී තිබිණ. ඔහු රාජපක්ෂගේ ජාතික බුද්ධි අංශයේ අධීක්ෂණ නිලධාරියෙකි. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී ඩයස් ඔහු හඳුනා ගන්නට සමත් විය. එතැන් පටන් ඩයස් අප්‍රසිද්ධියේ ජීවත් වන අතර, රජයෙන් මේ දක්වාම ඔහුට කිසිවක් ලැබී නැත.ඇත්ත වශයෙන්ම රහස් පොලීසිය තාත්තාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සියතට ගත්තේ 2009 දෙසැම්බර් මාසයේදීය. එතැනින් මාසයක් ගත වන්නටත් පෙර ඔවුහු වැදගත් තොරතුරක් අනාවරණය කර ගත්හ. තාත්තාගේ ඝාතකයන් භාවිත කළ ජංගම දුරකථන සොයා ගන්නටත්, ඒවා නුවරඑළියේ දුප්පත් වෙළෙන්දකු වන පිච්චෙයි ජේසුදාසන් නමැත්තාගේ ජාතික හැඳුනුම් පත හා සැසඳෙන බවත් අනාවරණය විය. ජේසුදාසන්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ තමාගේ හැඳුනුම් පත ඊට මාස 6කට ඉහතදී හමුදා බුද්ධි අංශ නිලධාරී කන්නෙගෙදර පියවංශ නමැත්තා සොරා ගත් බවකි. ඒ ප්‍රශ්න කිරීම සිදු වූයේ 2018 ජනවාරි 18 වැනිදාය. එයින් රහස් පොලීසියට වැදගත් යමක් අනාවරණය වූ බව පෙනෙන්නට තිබිණි. එහෙත්, ඉන් පසු වහාම අදාළ පරීක්ෂණ කටයුතු කිසියම් ගුප්ත හේතුවක් නිසා ත්‍රස්ත විමර්ශන ඒකකයට මාරු කරනු ලැබීය. එය කවුරුන් විසින් කරන ලද්දේද යන්න කිසිවෙක් නොදනිති.සිද්ධිය වසන් කිරීමේ සෙසු කටයුතු හමුදාවේ තීක්ෂණ නිවැරදිතාව යටතේ සිදුවිය. ජේසුදාසන් හා පියවංශ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදහ. ජේසුදාසන් අබිරහස් ලෙස අත්අඩංගුවේදී මිය ගිය අතර, පියවංශ හමුදා ඉතිහාසයේ පෙර නොවූ වාර්තාවක් තැබුවේය. සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසු වන හමුදා නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ නැති වුවත්, පියවංශට වැටුප් මතු නොව උසස් වීමක්ද, ඉන් නොනැවැතී රුපියල් දස ලක්ෂයකට අධික ණයක් ලබා ගන්නටද අත්අඩංගුවේ සිටියදී හැකි විය.ජනපතිවරණයෙන් පරාජිත සරත් ෆොන්සේකා මගේ පියාගේ ඝාතකයා බවට රජයෙන් ප්‍රචාරයක් දියත් කරන ලදී. එසේ නම් රජය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු යටපත් කරන්නට ඉතාම පරිත්‍යාගශීලීව කටයුතු කොට ඇත. එහෙත්, අවසානයේ සාපේක්ෂව සුළු චෝදනාවක් මත ෆොන්සේකා සිරගත කළේද ඒ රජයමය.කනගාටුදායක ඇත්ත නම්, 2016 දෙසැම්බර් මාසයේ මා රහස් පොලිස් නිලධාරින් හමුවන විටත් ඔවුන් බොහෝ කරුණු අනාවරණය කරගෙන තිබීමයි. එතැන් පටන් ගත වූ අවුරුදු දෙකක කාලය ඇතුළත ඔවුන් සත්‍යයට ආසන්න වන විට රජයේ කොළ සහ නිල් දෙපාර්ශ්වයෙන්ම එල්ල වන බාධා වැටකඩුලු සංඛ්‍යාව වැඩි වන්නට පටන් ගෙන ඇත. පරීක්ෂකයන්ට ලැබුණු පහසුකම්වලට වඩා වැඩි වරප්‍රසාද සැකකරුවන්ට ලැබී ඇත. ටි්‍රපොලි බුද්ධි ඒකකය මගේ පියාගේ ඝාතනයට මෙන්ම කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියටද නම ගෑවුණු ඒකකයකි. රහස්‍ය අයවැය, සුදු වෑන් හා ගිනි අවි කිසිදු වග වීමකින් තොරව ඔවුනට ලැබේ. ගත වූ සමය තුළ මාධ්‍යවේදීන්ට පහර දීම් හා ඝාතන සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20කට වැඩියෙන් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මේ කල්ලියේ වරප්‍රසාදවලට එරෙහිව රජයත්, හමුදාවත් මුනිවත රකී. ජාතික ආරක්ෂාව යටතේ රහස් පොලිසිය විසින් සාක්ෂි අත්හිටුවනු ලැබ ඇත. මේ අතර, හමුදා බුද්ධි අංශය රහස් පොලිසිය හා එහි සහායකයන් වෙත උකුසු ඇස යොමා සිටී.විවිධ දේශපාලනඥයන් මගේ පියාගේ ඝාතනය පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණය යට ගැසීමට හා ඊට බාධා කිරීමට පියවර ගන්නා අතරතුර එෆ්.සී.අයි.ඩී.ය මිග් යානා ගනුදෙනුව පිළිබඳ පරික්ෂණය මගේ පියා කිසියම් රහසක් අනාවරණය කරගන්නට වෙහෙස දරා ඇති බව සනාථ කොට ඇත. 2007 අගෝස්තුවේ මා කැනඩාවේ සිට පියාට කතා කළ විට ඔහු කී දෑ සැකයෙන් ඔබ්බට ඔප්පු කරගන්නට එෆ්.සී.අයි.ඩී.ය සමත් වී ඇත. එදා තාත්තා මට කියූ රූපවාහිනී සංවාදය සොයා ගන්නට මට හැකි විය.මිග් ගනුදෙනුව සාධාරණීයකරණය කරන විනාඩි 30ක පමණ දේශනාවක් මුලින්ම එහි විය. තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ කර නොගත් බවත්, තමා මේ ගනුදෙනුවට කිසිසේත්ම සම්බන්ධ නැති බවත්, ඒ පිළිබඳ ලිපිය හුදෙක් එල්ටීටීයට ආධාර කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දමන්නට පළ කළ එකක් බවත් කියූ ගෝඨාභය රාජපක්ෂ ඉන්පසු මාධ්‍ය නිදහස දෙසට හැරුණේය.“ඔවුන් මගේ ඡායාරූප දමමින් කුණුකතා ලියනවා” ඔහු කිවේය. “ඔවුනට ඒවා කරමින් මේ රටේ නිදැල්ලේ ඉන්නට පුළුවන් නම්, ඊට වඩා මාධ්‍ය නිදහසක් තියෙන්නෙ මොන රටේද?”“මේ වගේ දේවල් ලියලා, පළ කරලා ඒ ගොල්ලන්ට අපූරුවට නිදහසේ වාහනවලින් එහා මෙහා යන්න පුළුවන්. ඔවුන්ට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.” ඔහු පුරසාරම් දෙඩුවේ වාහනයක් ධාවනය වන අයුරු අභිනයෙන් දක්වමිනි. මගේ පියාත්, සහෝදරයනුත්, මගේ මුළු පවුලමත් පසුව ඉතා වේදනාකාරී ලෙස ඉගෙන ගත් පරිදි මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය මිග් ගනුදෙනුව සාධාරණීයකරණය කරමින් කළ ප්‍රකාශය තරමටම නිරවද්‍යතාවෙන් තොරය.2019 ජනවාරි 8 වැනිදා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ වූ, අහිම්සා වික්‍රමතුංග ලියු What they did to my father And why they did It නමැති ලිපිය අනුසාරයෙනි.

Leave A Reply

Your email address will not be published.

5 × four =