එල්ලෙන්න වැලක් නැති තැන කුඩු වැලේ එල්ලීම

රට පුරා කුඩු ව්‍යාප්ත වී අවසන් ය. එදා නගරයේ තැන් කිහිපයක පමණක් තිබුණු කුඩු අද ඈත පිටිසර ගම්මානවලත් දකින්නට ඇත. මුළුමහත් සමාජයම කුඩු ජාවාරමෙන් වෙළාගෙන ඇත. මේ වෙන කොටත් අහිංසක තරුණ ජීවිත ගණනාවක් එයට බිලි වී අවසන්ය. ඒ නිසා ම බිරින්දෑවරුන්, දෙමව්පියන්, දරුවන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අඳුරු අගාධයකට තල්ලු වී ඇත. කුඩු, මත්ද්‍රව්‍ය සමඟ පාතාලය කප්පම් කල්ලි බිහි වීමත්, ඒ හරහා තව තව අපරාධ රැල්ලක්ද නිර්මාණය වී ඇත. කෙතරම් පරිස්සමින් තම දරුවා හදා වඩා ගත්තත්, ඉස්කෝලෙට යවන්නේ බියෙන්ය. කොයි යම්ම හෝ මොහොතක තමන්ගේ දරුවා මෙහි ගොදුරක් වේ යැයි බිය සෑම දෙමව්පියන්ටම ඇති වී ඇත. එයට උස්, පහත් භේදයක් නැත. දුප්පත්, පොහොසත් භේදයක් නැත. සමාජයේ මහා ඉහළින් සිටින ප්‍රභූ යැයි සම්මත අයගේ දරුවන්ද මෙයට ගොදුරු වී ඇත. යුද්ධය පවතින මොහොතේ කොයි මොහොතේ තමන්ගේ දරුවා බෝම්බයකට හසුවේ දෝ යන බිය තිබුණා සේම අද කොයි මොහොතේ හෝ තමන්ගේ දරුවා මේ කුඩු ව්‍යසනයේ ගොදුරක් බවට පත් වේ දෝ යි යන භීතිය ඇත. එය සෑම සියලු දෙනා ම මුහුණදී සිටින ප්‍රධානතම භීතිය බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ කුඩු මත්ද්‍රව්‍ය වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ විවෘත ආර්ථික ක්‍රියාවලියෙන් පසුවය. ආර්ථිකය විවෘත කිරීමත් එක්ක සියලු දේ රට තුළට ගලාගෙන එන්න පටන් ගත්තේය. සියලු දේ පමණක් නොව එක එක වර්ගයේ අයද එන්න පටන් ගත්තේය. ආරම්භයේ සිටම කිසිදු සීමා කිරීමකින් තොරව පටන් ගත් මේ ක්‍රියාවලිය අවසානයේ මුළුමහත් සමාජයම භීතියට පත් කළ ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇත. ලෝකයේ සිදු කරනු ලබන මහා පරිමාණ ජාත්‍යන්තර මට්ටමේ කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට ලංකාව පත් වූයේ මේ අසීමාන්තික විවෘත කිරීමත් සමඟය. ලෝකයේ වෙනත් බොහෝ රටවල් විවෘත ආර්ථිකයට ගියත්, ඒ හැම රටක්ම ඒවායේ සීමාවල් සාදාගත්හ. විශේෂයෙන්ම රටෙන් එළියට යාමේදී හා රට තුළට ඒමේදී දැඩි නීතිරීති ක්‍රියාත්මක කළේය. එහෙත්, ලංකාව අදටත් විදේශිකයකු රට තුළට පැමිණෙන විට තමන් ගෙන එන්නේ මොන මොන දේවල්ද යන්න විස්තරාත්මකව සඳහන් කරන පෝරමයක්වත් නැත. අනතුරුදායක යැයි සම්මත රටවල් වන ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, බංගලිදේශය වැනි රටවල්වලින් එන අයට විවෘත වීසා ලබා දීම ඔහේ නිදැල්ලේ සිදු වේ. ආණ්ඩුව බලන්නේ ඒ අයගෙන් ලැබෙන ඩොලර් තිස්පහක මුදල පමණකි. මෑතක දී දෙහිවල ප්‍රදේශයෙන් අල්ලා ගත් බංගලිදේශ කාන්තාව මේ ආකාරයට දහසය වතාවක් ලංකාවට ආපු ගියපු කෙනෙකි. මහා පරිමාණයෙන් කේක් ව්‍යාපාරයක් ලෙස කුඩු ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේ, ඒ නිදහස යොදා ගනිමින්ය. ඒ කාන්තාව කියන්නේ, ජාත්‍යන්තර ව්‍යාපාරයේ අවසාන පුරුකක කෙනකු පමණි. එහි ප්‍රධාන මෙහෙයවන්නන් තවමත් ඉන්නේ නිදැල්ලේය.මෙතරම් පහසුවෙන් හා වේගයෙන් ලංකාව තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වූයේ දේශපාලන උදවු උපකාර සහිතවය. මෙය ඉතා ප්‍රසිද්ධ කාරණයකි. හිටපු අගමැති දි. මු. ජයරත්නගේ අත්සනින් යුතුව රේගුවට ආ ග්‍රීස් ටින් තොගය ඇතුළේ කුඩු කිලෝග්‍රෑම් 231ක් තිබූ බව පැහැදිලිව ඔප්පු විණි. එහෙත්, අද වනතෙක් ඒ අවසරය ලබා දුන් දි.මු.ට එරෙහිව කිසිදු දඬුවමක් ලබා දුන්නේ නැත. මීගමුව නිමල් ලන්සාගේ ගෙදර කුඩු ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක අංශය වහා ක්‍රියාත්මක වූයේය. ඒ ක්ෂණයෙන් මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් ඔහුගේ නිවසට ගොස් පරීක්ෂණ සම්පූර්ණයෙන් නතර කර දැම්මේය. කොටකෙතන ඝාතන සිදුවීම් මුළු රටම කම්පනයකට පත් කළ එකකි. එහි පතුලේම තිබුණේ කුඩු ජාවාරමකි. අම්මයි, දුවයි දෙන්නාවම කපලා, කොටලා මරලා දාලා තිබිණි. රත්නපුරයේ පාසලට හැමදාම යන දුවගේ කෑම පාර්සලය ඇතුළට කුඩු පාර්සලය දමා ඇති බව අම්මා හසු වුණේ අහම්බයෙනි. පාසල් ගොස් අසනීපව ආපසු කලින් ගෙදර ආ දුවගේ කෑම පාර්සලය ලිහා බලන කොට ඇතුළේ තිබූ කුඩු පාර්සලය අම්මාට හසු විණි. හැමදාම උදේට දුවව ත්‍රීවීල් එකෙන් ගෙන යන කෙනා මෙය සිදුකර ඇති බව අම්මා සොයා ගත්තාය. වහා ක්‍රියාත්මක වුණු අම්මා එය ප්‍රශ්න කළාය. එතෙක් කල් ගෙන ගිය කුඩු ජාවාරම හෙළිදරවු වූයේය. රහස හෙළි වීම වැළැක්වීමට අහිංසක දරුවාත්, අම්මාත් කපා කොට මරා දැම්මේය. ඒ ජාවාරම පිටුපස හිටියේ ජෝන් සෙනෙවිරත්න ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයාය. අමාත්‍යාංශ නාමපුවරුව යොදා ගත් වාහනයේ කුඩු කොළඹින් ගමට ගෙන ගිය බවට කරුණු හෙළිදරවු විය. ඔහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය. එහෙත්, අවසානයේ සියලුම පරීක්ෂණ යට ගොස් සම්බන්ධීකරණ ලේකම්වරයාත්, බන්ධනාගාර නියාමකයකු වශයෙන් ලෙස වැඩ කළ ඔහුගේ ඥාති පුත්‍රයාත් නිදහස් විය. සෘජුවම දේශපාලනඥයන් හවුල්ව පවත්වාගෙන ගිය කුඩු ජාවාරම එසේ යටපත් කළේය. තව බොහෝ අය මේ ජාවාරම පිටුපස ඉන්නා බව ප්‍රසිද්ධ රහසකි. එහෙත්, ප්‍රශ්නය වන්නේ, මේ චෝදනා ලැබූ සියල්ලන් අද මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේද හොඳම කිට්ටුතම මිත්‍රයන් වීමය. ඔහුගේ ආණ්ඩුවේ ඇමතිකම් කිහිපයක්ම ඔවුනට ලබා දීමය. එදා වූ සිදුවීම පිළිබඳ කිසිදු වගවිභාගයක් නොමැතිව ඔවුන්ව ආරක්ෂා කරන්නට මැදිහත් වීමය. එදත්, අදත්, හැමදාමත් කුඩු ජාවාරම ආරක්ෂා කොට පෝෂණය කරන්නේ දේශපාලනඥයන් බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ කාරණාය.රාජපක්ෂ පාලනය පෙරළා දැමූ පසු එකවරම වෙළෙඳපොළේ කුඩු හිඟයක් පැතිරිණි. රුපියල් 300.00ට 400.00ට තිබූ එක වරකට පාවිච්චි කරන ප්‍රමාණය රුපියල් 900.00ට 1,000.00ට ඉහළින් ගොස් තිබිණි. බිම් මට්ටමේ කුඩු ගහන්නන් පිස්සු වැටිලා වාගේ සිටියහ. එහෙත්, මාස හයක පමණ කාලයක් ගිය පසු යළි යථා තත්ත්වයට පත් විණි. පෙර තිබුණාටත් වඩා ලාභයට බඩු ගන්නට පුළුවන් තත්ත්වයක් ඇති විණි. රාජපක්ෂ පාලනය තුළ ලංකාව ‘කුඩු හබ්’ එකක්ව තිබූ තත්ත්වය ඊටත් වඩා හොඳ වෙළෙඳපොළක් හා ජාත්‍යන්තර ජාවාරම් ‘හබ්’ එකක් බවට පත් වීම යහපාලන ආණ්ඩු කාලය තුළදීද සිදු විණි. ඉතිහාසයේ හසු නොවූ ප්‍රමාණයේ විශාල කුඩු තොග හසු වන්නේ ඒ නිසාය. රිෂාද් ඇමතිගේ සතොසට ආපු සහල් තොගය ඇතුළේ තිබූ විශාල කුඩු තොගයෙන්ද මෙය කදිමට ඔප්පු විය. මේ සියලු තත්ත්වයන් යටතේ මෛත්‍රීපාල හිටපු ගමන් කුඩුවලට එරෙහිව සටනක් පටන්ගෙන ඇත. එය ඉතා හොඳ දෙයකි. ගිය අවුරුද්දේද කුඩුවලට අදාළව හිරේ ගොස් සිටිය දී නැවත කුඩුවලට සම්බන්ධ වූවන් එල්ලා මරන බව කිව්වේය. එහෙත්, එහෙම දෙයක් කරන බවක් පෙනෙන්නට නැත. එතුමාට මෙතෙක් ඒ සඳහා වාර්තා අතේ නැති බවක් ඊයේ පෙරේදා කිව්වේය. පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්න බලය තියෙන කෙනාට වාර්තාවක් ගෙන්නා ගන්න බැරි වීම පුදුමයකි. නැවත නැවතත් එල්ලා මරන බව කියයි. කයිවාරු ගහන එක හැර කුඩු ජාවාරම පිටුපස ඉන්න දේශපාලනඥයන්ට දඬුවම් දෙන බවක් නම් දැක්කේ නැත. මඩු වලිගය හෝ කඩුව වනනවා නම්, ඉස්ඉස්සෙල්ලාම තමන් වටේට ඉන්න ජාවාරමුන්ට වැනිය යුතු ය. පිලිපීනයේ ගිය පසු එහි ජනාධිපති කියපු කරපු දේවල් ඒ විදියටම කියනවා හැර ඉන් එහා යමක් දකින්නට නොවිණි.කොහොම වුණත්, මෛත්‍රීලාගේ හදිසි හැසිරීමෙන් එක දෙයක් තේරුම් ගත හැකිය. පසුගිය කාලය පුරාවටම මෛත්‍රී කරපු කියපු හැම දේකින්ම අන්තිම සවුත්තු වුණේය. මහින්දත් එක්ක ආණ්ඩු කරන්න ගිහින් හොඳටම නා ගත්තේය. මහින්දලාගේ පැත්තෙන් පවා ඔහුට එල්ල වූයේ තදබල විරෝධයකි. අන්තිමටම කුජීත බවට දැන් ගොඩ එන්නට තෝරාගෙන ඇත්තේ, කුඩු මර්දනයයි. එය හොඳ දෙයක් බව ඇත්තය. එහෙත්, මෛත්‍රීපාල මේ හදන්නේ කුඩුවලට එරෙහි සටනක් තමන් මෙහෙයවන්නේ යැයි පෙන්වන්නටය. ඒක පාවිච්චි කරලා නැති වෙච්ච තැන නැවත ඇති කරගන්නටය. කුඩු නවත්තපු මෛත්‍රීපාල ලෙස නමක් හදා ගන්නටය. එහෙම වුවමනාවකින් හෝ කුඩු ඇත්තටම නැති කර දමනවා නම්, හොඳය. ප්‍රශ්නය වී ඇත්තේ, තැනින් තැන කුඩු බොන අය හා පොඩි පොඩි කුඩු තොග අල්ලනවා හැර මහා පරිමාණයේ ගෙන්වන්නන් නො ඇල්ලීමය. එයට සම්බන්ධ දේශපාලනඥයන් ආරක්‍ෂා කිරීමය. අවංකව වැඬේ කරනවා නම්, ඒ සියල්ලම සිදු කළ යුතුය. හරිහමන් කෙළින් පාලකයකුට එහෙම කරන්න පුළුවන්ය. ඒත්, මේ කරන්නේ ඒක නොවන බව ඔහුගේ භාවිතාවෙන් පෙන්නුම් කරන්නේය. දූෂණයට එරෙහි සටනේ නිර්මාතෘ ලෙස වැඩ කරන්නටද පටන් ගත්තේ මේ විදියටමය. ඒත්, තමන්ම පත් කළ ජනාධිපති කොමිසමෙන් චූදිතයන් වුණු අයට අගමැතිකම් දීමෙන් එය පුස්සක් බව පෙන්නුවේය. අදටත් පෞද්ගලික ලේකම් ලෙස පත් කරගෙන සිටින කෝට්ටේ හිටපු නගරාධිපති, ජනක රණවක කියන්නේ ඇවන්ට්ගාඞ් චෝදනාවේ එකොළොස් වැනි චූදිතයාය. එය තමන්ම පත් කළ කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇත. දූෂණයට විරුද්ධ සටන හොඳ දෙයක්ය. එහෙත්, එය ඇත්තම එකක් විය යුතුය. තමන්ගේ කට්ටිය රකිමින්, අනෙක් අයට ඇඟිල්ල දික් කිරීමෙන් සැබෑ දූෂණ විරෝධියකු විය නොහැකිය. කුඩු විරෝධයත් එලෙසමය. එයද සැබෑ එකක් විය යුතුය. එසේ නොමැතිව ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අමුම අමු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කරන රඟපෑමෙන් ඇත්තටම කුඩු නැති කළ නොහැකිය.මෛත්‍රීපාලගේ වත්මන් භාවිතාවෙන් පෙන්නුම් කරන්නේ විනාශ වෙච්ච ප්‍රතිරූපය නැවත හදාගන්න දරන අසාර්ථක උත්සාහයක් පමණි. එය තවත් පැහැදිලි වන්නේ පළාත් සභා මැතිවරණය ගැන අනුගමනය කළ දෙබිඩි පිළිවෙතිනි. ඇත්තටම පළාත් සභා කල් දැම්මේ ශ්‍රීලනිපයේ හා යූ.එන්.පී.යේ තදබල වුවමනාවෙනි. ඡන්ද ක්‍රමය ගැන ප්‍රශ්නය යොදා ගත්තේම කල් දැමීමේ වුවමනාවටය. එදා ශ්‍රීලනිපය කෑලි දෙකකට කැඩී තිබිණි. ප්‍රාදේශීය සභා ඡන්දයෙන් එහි ආදීනව හොඳහැටි අත්වින්දේ මෛත්‍රීපාලය. ඒ සමඟම පළාත් සභා තිබ්බොත්. තත්ත්වය ඊටත් වඩා දරුණු වන බව දැක්කේය. දිගින්දිගටම අලුත් ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිමින්, එයටම ගත යුතුයි කීවේ මෛත්‍රීපාලය. ෆයිසර් මුස්තාපා ඉටු කළේ මේ වුවමනාවය. දැන් ශ්‍රීලනිපය හා රාජපක්ෂ කණ්ඩායම එකතු වී ඇත. දැන් මෛත්‍රීලාට ඕනෑ වී ඇත්තේ, ඉක්මනින් පළාත් සභා පවත්වා ගැනීමය. පහුගිය කැබිනට් රැස්වීමට ඒ යෝජනාව ගෙන ඇවිත් ඇත්තේ, මේ නිසාය. ඔහු බලන්නේ පළාත් සභා ඡන්දය දෙගොල්ලන් එකට ඉල්ලලා ජයග්‍රහණය පෙන්නලා, ඒත් එක්කම ජනාධිපතිවරණයට යන්නටය. ඒකාබද්ධයේ කෑ ගහන අය කෑගසන්නේ මේ වුවමනාවටය. බල්ලෝ බුරද්දී, බුරන බල්ලා දිහා නොව බල්ලන්ව උසිගන්වන ස්වාමියා දෙස විමසිල්ලෙන් බැලිය යුතුයි කියන්නේ, මේ වගේ තත්ත්වයන්ටය. අවංක වුවමනාව ඡන්දය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යැයි කිව හැකිය. එහෙත්, ඇත්ත වුවමනාව වන්නේ එය නොවන බව ළදරුවකුට වුවත් තේරුම් යන්නේය. ඉදිරි මාස කිහිපය තුළ රටේ කුඩු වසංගතයට එරෙහිව මහා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ඒ තුළින් නැවත ජනාධිපති වීමේ අසාර්ථක උත්සාහයක නිරත වන මෛත්‍රීපාලගේ භාවිතාව ගැන මේ රටේ ජනතාව දන්නේය. ඒ නිසා ඔය වාගේ උත්සාහයන්වලින් ගොඩ එන්නට දඟලන දැඟලිල්ල කිසිම තේරුමක් නැති දෙයකි.මේක හරියටම රනිල්ගේ ව්‍යවස්ථා හැදිල්ල වාගේය. ඇත්තටම රනිල්ට අලුත් ව්‍යවස්ථාවක් හදන්න වුවමනා වූයේ නැත. ජාත්‍යන්තරයට පෙන්වන්න යමක් කළ යුතුව තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට දිගටම පෙන්වමින් ආවේ තමන් එවැන්නකට උත්සාහ කරන බවය. අනෙකුත් බටහිර රටවලටද කීවේ ඒකමය. එහෙත්, ඒක කර ගන්න අනෙකුත් අය ඉඩ දෙන්නේ නැත්නම්, මම මොනවා කරන්න දැයි දැන් කිව හැකිය. ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වුවමනාවක් තිබුණේ නම්, ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තිබුණු වෙලාවේ එහෙම එකක් හදලා දාන්න තිබිණි. රනිල් එහෙ ම කළේ නැත. බොරුවට අනෙක් හැමෝගෙම සහභාගීත්වයක් ගැන කතා කළේය. දේශපාලන පක්ෂ එකිනෙකට වෙනස් මත දරයි. ඒ නිසාම හැමෝම එකඟතාවෙන් එහෙම අලුත් එකක් හදන්න බැරි බව රනිල් හොඳින්ම දන්නේය. දැන දැනත් ඒ දේම කළේ බටහිරට හා දෙමළ ජනතාවට බොරුවක් පෙන්වන්නටය. මේවා දේශපාලන ගේම්ය. මහින්දත් එදා සර්වපාක්ෂික සමුළුව කැඳවා කළේ මේ දේමය. මේ දෙකේ කිසිදු වෙනසක් නැත. දෙකම එකක්මය. අද ගත්තොත්, පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න ඕනෑ කියන මතයේ හැමෝම සිටිති. එයට විරුද්ධ කිසිවකුත් නැත. ඒත් තියන්නේද නැත. පරණ ක්‍රමයට තියනවා නම්, ආණ්ඩුව ඒ පිළිබඳ පනත කැබිනට් එකට ඉදිරිපත් කොට සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුය. අලුත් ක්‍රමයටම තියනවා නම්, මෛත්‍රීපාලට ඕනෑම වෙලාවක දැනට ඉදිරිපත්ව ඇති සීමා නිර්ණය කොමිෂන් වාර්තාව ගැසට් කළ හැකිය. ඒත්, මේ දෙකම වන්නේ නැත. ඒකෙන් තේරෙන්නේ දෙගොල්ලෝම හොර ගල් අහුලනවා මිසක් ඇත්තටම වැඬේ කරන්නේ නැති බවය.කුඩුවලට එරෙහි සටනද එලෙසමය. මතුපිටින් බැලූ විට මෙය ඉතාමත් හොඳ ප්‍රගතිශීලී පියවරකි. එහෙත්, හරයෙන් ගත් විට මෙහි ඇත්තේ, අමු ම අමු කැත පටු දේශපාලන වුවමනාවකි. එය ඇත්තටම සාර්ථක කර ගත නොහැක්කේ මේ නිසාවෙනි. මෛත්‍රීපාලගේ ආණ්ඩුවේ ඉන්න දක්ෂතම, අවංකව කැපවෙලා වැඩ කරන එකම ඇමතිවරයා සජිත් ප්‍රේමදාස යැයි කිව්වේද මෙවැනි වූ කපටි වුවමනාවකිනි. ඒ කපටි කතාවත්, කපටි වුවමනාවත් දන්නෝ දනිති. ඒ වාගේ හෑල්ලු කතාවලින්ම මෛත්‍රීපාල තමන්ගේ ප්‍රතිරූපය නැති කරගෙන අවසන්ය. ඒ නිසාම දැන් කුඩුවලට එරෙහිව කඩුව අතට ගන්නවා යැයි කීවාට වැඩක් වන්නේ නැත. ශ්‍රීලනිපයේ කෙනකුට ඊළඟ ජනාධිපති අපේක්ෂකකම දෙන්නට තමන් එකඟ නොවන බව පොදුජන පෙරමුණෙන් කියා අවසන්ය. ඒ වාගේ මෝඩ වැඩක් කරන්නට තරම් ඔවුන් දේශපාලනිකව අපරිණත යැයි සිතිය නොහැකිය. එය කෙසේ හෝ කරගත හැකි යැයි සිතන මෛත්‍රීපාලගේ දේශපාලන අපරිණතකම නම්, මෙයින් හොඳින් ගම්‍ය වේ. එය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ව එළියට දාලා ඇති කර ගත්තක් නොවේය. ඒ ජාතියේ මොන මොන සෙල්ලම් දැම්මත්, කුජීත වූ මෛත්‍රීපාලට දූෂණය නැති කරන්නත් බැරිය. කුඩු නැති කරන්නත් බැරිය. නැවත ජනාධිපති වෙන්නත් බැරිය. ඒ ටික නම්, හොඳටම පැහැදිලිය.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

2 × five =