ජයග්‍රහණය තෙක් අත් නොහරින වතු කම්කරු සටන

නිදහසින් පසුව ප්‍රථම වතාවට 1981 අවුරුද්දේ අගෝස්තු මාසයේ දී වතුකර ප්‍රදේශයේ ජීවත් වූ දෙමළ ජනතාව ද සිංහල දාමරික රංචුවල වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක බවට පත් වූහ. 1983දී ඇරඹි කළු ජූලියත් සමග ඓතිහාසිකවම නොසලකා හරින ලද පරිපාලන හා මානුෂික කාරණාවන්ගෙන් වතුකරයේ දෙමළ ජනතාව ද පීඩා විඳින ලදී.

බි්‍රතාන්‍යන් විසින් මෙරට ව්‍යාප්ත කරන ලද පළමු වාණිජ බෝගය ලෙස කෝපි වගාව ආරම්භ කළ බව තිත්ත කෝපි මෙන් කළුපාට මෙරට ඉතිහාසය දෙස් දෙයි. ඔවුන්ට කෝපි වගාව ව්‍යාප්ත කිරීම සඳහා විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වී ඇති නමුදු ඉතිහාසයේ සඳහන් වන පරිදි ඒ සඳහා මෙරට ස්වදේශික සිංහල ජනයා වැටුප් ලබා දී කම්කරුවන් ලෙස යෙදවීම බි්‍රතාන්‍යයන්ගේ අවශ්‍යතාව වුව ද එය සාර්ථක වී නැත. ඊට හේතුව වන්නේ එදා මෙරට සමාජයේ පැවතියේ වැඩ බෙදාගෙන කරන අත්තම් ක්‍රමයක් මිස කුලී වැඩ සම්ප්‍රදායයක් නොවීමය. විදේශිකයන් තමන්ගෙන් කොල්ලකා ගත් ඉඩම්වල වැටුපට වැඩ කිරීම කුලීකාර වහල් සේවයක් ලෙස ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට විකල්පය ලෙස බරපතළ ජල හා ආහාර ඇතුළු මූලිකම ජීවන අවශ්‍යතාවන් හිඟයකින් පෙළුණු, එමෙන්ම කුල ධූරාවලියෙන් පහළ වීම නිසා පීඩා විඳිමින් සිටි දකුණු ඉන්දියාවේ ටි්‍රචී ප්‍රදේශයේ දුගී දෙමළ ජනයා මෙරට කෝපි වගාව සඳහා මිනිස් ශ්‍රමය ලෙස විදේශිකයෝ ගෙන ආවෝය. පූර්ණ වශයෙන්ම වහල් සේවකයන් තත්ත්වයෙහිලා සැලකුණු බවට පිළිගත හැකි ලෙස ඔවුන්ට කෑම සහ ලෑම පමණක් වැටුප ලෙස උකසට තබා රැගෙන එන ලදී. 1823දී එලෙස ඉන්දියාවේ ටි්‍රචීවලට අමතරව කේරළය, කර්ණාටක සහ ආන්ද්‍රා ප්‍රදේශවල දුගී ජනයා ද දම්වැල් විලංගු ලා දකුණු ඉන්දියාවේ සිට නැව් මඟින් දහස් ගණනින් මෙරට වහල් වතු සේවය සඳහා ගෙන්වා තිබේ. ඔවුන්ව පළමුව මන්නාරමට ද එතැන් පටන් කටුක සීතලක් ඇති කඳුකරය දක්වා කිලෝමීටර 150කට වඩා දුර පයින්ම රැගෙන යනු ලැබ වතුකරයේ අදටත් දක්නට ලැබෙන ලැයින් කාමර තුළ පදිංචි කරවන ලදී. ඒ සා දීර්ඝ වූත් අති දුෂ්කර පා ගමනේ දී අසරණ දකුණු ඉන්දියානු මිනිසුන් ඉන්දියානු සහ මුහුදුබඩ ඌෂ්ණයෙන් මිඳී නුපුරුදු කඳුකර සීතලට ඔරොත්තු නොදීමේ තත්ත්වය තුළ සිය ගණනක් අතරමඟ දීම මිය ගොස් ඇත.කෝපි වගාව අනපේක්ෂිත ලෙස විනාශ වීමත් සමඟ බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය 1867 වර්ෂයේ දී තේ වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද අතර, තේ දලු නෙළීම, තේ කොළ නිෂ්පාදනය සහ විකිණීම පරම්පරා ගණනාවක සිට පැවත එන්නක් ලෙස අද මේ ගෙවෙන නූතන ශ්‍රම සූරාකෑමේ මොහොත දක්වා පැමිණ තිබේ. බි්‍රතාන්‍යයන් මෙරටින් පිටවීමෙන් පසුව එම විශාල තේ වගාවන් වතු හිමි රදල හාම්පුතුන්ගේ ද, කම්කරු කොන්ත්‍රාත්කරුවන් වූ ඔවුන්ගේම ජාතිකත්වයන්ගෙන් ද ශ්‍රම සූරාකෑමට නතු විය. මේ ක්‍රමය තුළ එකල සුදු යටත්විජිත පාලකයන් ද, මෙකල ඔවුන්ගෙන් පැවත එන කළු පාලකයන් ද තම පැවැත්මට ඒ මිනිසුන් මත ලංසු තබන ලදී. 1823දී ලංකාවට විත් අපේම වූ ඔවුන්ට එදා පටන් අද වනතුරු හිමිව ඇති තැන කුමක් ද? 1948දී බි්‍රතාන්‍යයෙන් නිදහස් වූ පසුව ඩී. එස්. සේනානායක ඇතුළු සිංහල රදලයෝ ද කීපදෙනෙක් වූ දෙමළ මන්ත්‍රීවරු ද එක්ව එවක දස ලක්ෂයක් වූ වතු දෙමළ හෙවත් ඉන්දියානු දෙමළ ජනතාවගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි කිරීමට සහ ජන්ද බලය අහෝසි කිරීමට දේශපාලනික පියවරක් ගත්තෝය. 1947 මහ ජන්දයේ දී ‘ලංකා ඉන්දියා කොන්ග්‍රසය’ යන නමින් සහ ‘ලංකා ඉන්දියා කොන්ග්‍රස් කම්කරු සංගමය’ යන පක්ෂ දෙකෙන් වතුකරයට මන්ත්‍රී ආසන 7ක් හිමි වීමත්, සමස්ත දිවයිනෙහිම දෙමළ මන්ත්‍රී ආසන 19ක් හිමි වීමත්, සිංහල මන්ත්‍රීවරුන්ට නොරිස්සීම ඔවුන්ගේ ඡන්ද බලය මෙලෙස අහෝසි කිරීමට මූලික විය. එම තීරණයත් සමඟ දෙමළ සමාජයේ බෙදීමත්, සිංහල දෙමළ බෙදීමේත් ආරම්භය විය.1948 රටවැසිභාවය සහ ජන්ද බලය පිළිබඳ පනත් මගින් වතුකර දෙමළ ජනතාවට සිදු වූ ප්‍රහීනත්වයට පත් කිරීම යම්තාක් හෝ නිවැරැදි තත්ත්වයකට පත් කිරීමට මෙරට ප්‍රධාන දේශපාලනයට තවත් බොහෝ කාලයක් ගත විය. 1964 සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම මෙම දෙමළ ජන කොටස ඉන්දියාව සහ ලංකාව අතර බෙදා ගැනීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කළ නමුදු එය ක්‍රියාවට නැංවීම මන්දගාමී වූ බැවින් ඉන්දියාවට නොගොස් මෙරට නතර වූ සහ ඉතිරි වූ මෙන්ම ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ වගකීම මෙරටට භාර ගැනීමට සිදු විය. 1977න් පසුව එම ජන කොටස ජන්ද බලය අතින් බලපෑම්සහගත වීම නිසාද, උතුරු – නැගෙනහිර ක්‍රමයෙන් වර්ධනය වූ යුද ගැටුම් නිසා ද දේශපාලන වශයෙන් බලපෑම්සහගත තත්ත්වයක් මෙම ජන කොටස හිමි කර නොගන්නට ඔවුන්ගේ අවම මූලික අයිතිවාසිකම් හෝ ලබා දීමට මෙරට දේශපාලනය ඉඩ ලබා දෙනු ඇතැයි සිතිය නොහැකිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට පවතින්නේ එක් පුරවැසිභාවයක් බව අවධාරණය කරමින් පරම්පරාවෙන් සහ ලියාපදිංචියෙන් යනුවෙන් පුරවැසිභාවයන් දෙකක් හඳුනා ගැනීම හරහා ඔවුන්ගේ පුරවැසිභාවය නෛතිකව පිළිගත් බව සරලව කිව හැකිය. ජේ.ආර් ජයවර්ධන සමයේ දී නැවත ඔවුන්ට ජන්ද බලය සහ පුරවැසි අයිතීන් හිමි වුව ද, එම ජන කොට්ඨාසයට අදටත් මෙරට උතුරු දෙමළ ජනතාවගේත්, බහුතරය වූ සිංහල ජනතාවගේත් සැබෑ ගෞරවාන්විත හිමිකම් හෝ අවම මානුෂවාදී පිළිගැනීම් හිමි වූ බවක් පෙනෙන්නට නැත.රටවැසිභාවය අහිමි කරනු ලැබීමෙන් පසුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී මෙම පිරිස නොසලකා හැරුණු බැවින්, 1948 සිටම පරිපාලන නොසලකා හැරීම් ගණනාවකට ලක් වූ බව කිව හැකිය. එම ජන කොට්ඨාසය පිළිබඳ පරිපාලන වගකීම් වතු අධිකාරීන් මගින් ඉටු කරවා ගැනීම ප්‍රධාන පරිපාලන ක්‍රමවේදය බවට පත් වූ අතර, වතුකරය සඳහා දෙමළ ග්‍රාම නිලධාරීන් පවා පත් කරනු ලැබුවේ 1998-99 පමණ ඉතා මෑත වකවානුව තුළ දී ය. එහි ප්‍රතිඵලය වශයෙන් උපත් ලියාපදිංචිය සඳහා නිකුත් කෙරෙන උප්පැන්න සහතිකය, පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය ජාතික හැඳුනුම් පත වැනි මූලික නීතිමය ප්‍රදානයන් පවා එම ජන කොට්ඨාසයට සියවස් එකහමාරක් ගත වන තුරු ලබා දීමට අසමත් විය. එම ජනතාවගේ මූලිකම අවශ්‍යතාවන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා සමෝධානය කර ගැනීමට අවශ්‍ය පියවරයන් ගැනීමට රාජ්‍ය අසමත් වෙද්දී, අද මේ ගෙවන මොහොත වන විටත් වතුකරයේ අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, නිසි වාසස්ථාන සපයා ගැනීම සහ දුප්පත්කම පිටුදැකීම වැනි අවම මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තුළට හෝ ඔවුන්ව ඇතුළත් කර ගැනීමට නොහැකිව තිබේ.නිදහසින් පසු ඉතිහාසය පුරාම ඍජුව හා වක්‍රව මෙම ජන කොට්ඨාසය මෙරට තුළ මේ මොහොත දක්වාම ජනවාර්ගික පදනම මත ප්‍රචණ්ඩත්වයට ලක් වූ බව කිව හැකිය. 1956දී ගල්ඔය නිම්නයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් 150කට ආසන්න දෙමළ ජනතාවක් ඝාතනයට ලක් විය. ඉන් වසර දෙකකට පසු ශ්‍රී ලංකාවේ හට ගත් ප්‍රථම වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාදාමය 1958දී දියත් විය. එහි දී දෙමළ ජනතාවට එරෙහිව සිංහල අන්තවාදී හා දේශපාලන මඟපෙන්වීම් මත මෙහෙයවුණු කල්ලි විසින් සංවිධානය කරන ලද වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හා සංහාර දින 6කට ආසන්න කාලයක දී සිය ගණනක් දෙමළ ජනතාව ඝාතනය කෙරිණි. එයින් සරණාගතයන් 25,000කටවඩා නිර්මාණය විණි. මෙම ගැටුම්වලින් පසුව නැවතත් 60 දශකයේ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සුළු සිද්ධීන් වශයෙන් පැනනැඟි අතර, 1970 කාලය තුළ දී ප්‍රමාණය ඉක්මවා පොලිස් බලය යෙදවීමේ ක්‍රියා ලෙසින් ද දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා දියත් වූ බව කිව හැකිය.නිදහසින් පසුව ප්‍රථම වතාවට 1981 අවුරුද්දේ අගෝස්තු මාසයේ දී වතුකර ප්‍රදේශයේ ජීවත් වූ දෙමළ ජනතාව ද සිංහල දාමරික රංචුවල වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක බවට පත් වූහ. 1983දී ඇරඹි කළු ජූලියත් සමග ඓතිහාසිකවම නොසලකා හරින ලද පරිපාලන හා මානුෂික කාරණාවන්ගෙන් වතුකරයේ දෙමළ ජනතාව ද පීඩා විඳින ලදී.වර්තමානයේ දේශපාලන පාලන බලය හොබවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වතුකර ජනතාවගේ දේශපාලන නායකයන් වූ තොණ්ඩමාන්ලාගේ පළමු පරම්පරාවන් වූ ඩී.එස්, බණ්ඩාරනායක, ජේ. ආර්. හා තොණ්ඩමාන් පරපුර විසින් අතීතයේ අවුළුවන ලද මෙන්ම නොවිසඳන ලද ප්‍රශ්න 2019 වසර තෙක් ද, ඉන් තව දුරට ද ගෙන යමින් ඉතිහාසය නැවත නැවත අලුත් කරමින් සිටින බව පෙනේ. නිදහසින් පසු මෙරට දේශපාලනයේ පළමු පරම්පරාව සහ එහි දෙවන පරම්පරාව එකම ක්‍රමයේ දිවෙන විට උතුරේ දෙමළ ජන ප්‍රජාව හා වතුකරයේ දෙමළ ජන ප්‍රජාවේ නව පරම්පරාව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉල්ලමින් අරගල භූමියට නවමු ලෙස පැමිණ තිබේ. එහි උච්චතම ආරම්භය ඉකුත් වසරේ දෙසැම්බර් මාසය මුල දී වතු කම්කරු තරුණ පිරිසක් කොළඹ කොටුවට විත් සිය දෛනික මූලික වැටුප රුපියල් 1000.00ක් කරන ලෙස ඉල්ලා බිම වාඩි ගන්නා ලදී. ඉන් නොනැවැතී රට පුරා සිය අරගලය ගෙන යමින් කටයුතු කිරීම අරගල භූමියේ ඓතිහාසික වූත් නවමු වූත් ආරම්භයක් සනිටුහන් කර තිබේ. ඓතිහාසික දේශපාලන චක්‍රය එකම දෙසට කැරකෙන අයුරින්ම රනිල් වික්‍රමසිංහ සහ තොණ්ඩමාන් විසින් සුපුරුදු ලෙස දේශපාලන ගැටයක් ගසමින් රුපියල් 1000.00ක් වෙනුවට වතු හාම්පුතුන් හා වතු සමිති සමග එක්ව කූට ගිවිසුමක් අත්සන් කරමින් පසුගිය සතියේ දී රුපියල් 700.00ක දෛනික සොච්චමකට එම අරගලය හිර කරන ලදී. එහෙත් ජීවමාන සටන් ඉතිහාසයක් ඇති වතුකම්කරුවෝ ජයග්‍රහණයෙන් මිස සටන අත නොහරිනු ඇත.

කසුන් පුස්සෙවෙල

Leave A Reply

Your email address will not be published.

8 − 8 =