අපේ ජනතාව සංවර්ධන අනාථයන් බවට පත්වෙනවා

පරිසරවේදී සජීව චාමිකර

පරිසරය සම්බන්ධයෙන් සාකච්ජා කරද්දි අපිට තියන ප්‍රධානතම ගැටලුව තමයි ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයා බවට පත්වීම. ජනාධිපතිවරයෙක් කියන්නේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු එක්ක අති බහුතරයක් ක්ෂේත්‍රයන් එක්ක කටයුතු කරන පුද්ගලයෙක්. ඒ පැවරී තියෙන කාර්යයන් අතරට ඔහු තව පරිසර විෂයත් අරගෙන තියෙනව. මේකම ලොකු ගැටලුවක්. හේතුව තමයි එහිදී ඔහුට අදාළ විෂයට මැදිහත්වීමට සිදුවීම අවමවීම. අවධානය යොමු වෙන්නේ නැහැ. අදාළ අමාත්‍යාංශ නිලධාරීන් එක්ක ප්‍රබල ලෙස ගනුදෙනු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. පරිසරය සම්බන්ධයෙන් මොනව හරි ගැටලුවක් මතු වුණොත් අදාළ නිලධාරීන්ට එය ඉදිරිපත් කිරීමට පවා හැකියාව අවම වෙලා තියෙනවා. එය ධනාත්මකව නෙමෙයි ඉතාම සෘණාත්මකව බලපා තිබෙනවා. ජනාධිපතිවරයා පරිසරය වගේ ඉතාම සංවේදී විෂයයක් අරගැනීමම ඉතාම ගැටලුකාරීයි. මෙය අද ඊයේ නෙමෙයි අමාත්‍යවරයා ලෙස පත්වෙන කාලයේම අපි පැහැදිලිව සඳහන් කළා පරිසරය වගේ විෂයක් ජනාධිපති යටතේ තබා ගැනීම විශාල ප්‍රශ්නයක් කියලා. මොකද ඒ හේතුවෙන්ම ඇතිවෙන ගැටලු ගණනාවක් තිබෙනවා. සම්බන්ධීකරණය සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. යම් යම් තීන්දු තීරණ ගත්තහම ඒවා ක්‍රියාත්මක කරගැනීමේදී ගැටලු මතුවීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.මේ වන විට ලංකාව පුරාම විවිධ පාරිසරික ගැටලු පැන නැගෙමින් පවතිනවා. මේ තත්ත්වය අද ඊයෙක ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. මේ පාරිසරික ගැටලු දරුණුම තත්ත්වයකට පත්වුණේ 1990 වගේ කාලෙක ඉඳලා. ඊට පෙර පාරිසරික ගැටලු නොතිබුණා නෙමෙයි. නමුත් මේ තරම් බරපතළ වුණේ 1990න් පසුවයි. මේ ධනවාදී ක්‍රියාවලිය ඇතුළේ මහා පරිමාණ ලෙස ලංකාව තුළ මේ ගැටලු මතුවුණේ ඉන් පසුවයි. සාමාන්‍යයෙන් ගත්තහම 1989 වොෂින්ටන් සම්මුතියත් එක්කම ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතනවල මැදිහත්වීම් සහ ඔවුන් අපේ ස්වභාවික සම්පත් මානව සම්පත් ඇතුළුව මේව ධනවාදී වෙළඳපොළ යාන්ත්‍රණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යුහයන්වලට විශේෂයෙන්ම රජයන්ට බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද වන විට මහාපරිමාණයෙන් හානිකර තත්ත්වයන් ඇතිවෙන්න බලපෑම් ඇතිවෙලා තියෙනවා. පසුගිය කාලය පුරා මහා පරිමාණයෙන් අපේ ඉඩම් ඇතුළුව ස්වභාවික සම්පත් වෙළඳපොළ යාන්ත්‍රයට නතු වුණා. මහා පරිමාණයෙන් ඒවා සමාගම් සතු කළා. මහා පරිමාණ ආයෝජන ගෙනැල්ල මහා පරිමාණ වාණිජ වගාවන් ස්ථාපිත කරන්න දිගින් දිගටම අපේ ඉඩම්, ස්වභාවික සම්පත් වෙළඳ භාණ්ඩයක් බවට පත්කළා. ඒවා රාජ්‍ය මැදිහත්වීමකින් තොරව වෙළඳපොළ අවශ්‍යතාවන්ට අනුව ක්‍රියාත්මක වෙන්න ගත්තා. මේ වෙනකොට මහා පරිමාණයෙන්ම වාණිජ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කරන්න තමයි වැඩිපුරම උත්සාහ දරන්නේ. විශේෂයෙන්ම ඒක භෝග වගාවන් ක්‍රියාත්මක කරන්න තමයි වැඩිපුරම අවධානය යොමුකොට තිබෙන්නේ. බඩ ඉරිඟු, උක් වගාව, කටුපොල්, තේ වගාව ඇතුළුව බොහෝ දේවල් ක්‍රියාත්මක කරන්නේ ඒ අරමුණින්. අනෙක් පැත්තෙන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දි දැන් බලන්න මෙගා පොලිස් වගේ මහා නගර ඉදිකරල ඒ තුළ ස්වභාවික සම්පත් තිබුණත් නැතත් වාණිජ සමාගම් ආයෝජනය කරන මහා පරිමාණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනව. එතනදි සුළු පරිමාණ ගොවීන්, සුළු පරිමාණ ධීවරයන්, සුළු පරිමාණ ව්‍යවසායකයන් මේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරල තියෙන්නේ. පාරිසරික ප්‍රශ්න දරුණු තත්ත්වයට පත්වෙන්න මේ තත්ත්වය බලපෑම් කර තිබෙනවා. ජල අර්බුද, දේශගුණික, කාලගුණික විපර්යාස ඇතිවෙන්න ඒ වගේම ස්වභාවික ආපදා දරුණු තත්ත්වයට පත්වෙන්න හේතුවීම, ඒ වගේම අලි මිනිස් ගැටුම් නිර්මාණය වීම සතුන් සහ මිනිසුන් අතර ගැටුම් සහගත තත්ත්වයක් ඇතිවීම, සමහර ජෛව ප්‍රජාවන් වඳවීම, කෘෂිකාර්මික ක්‍රියාවලිය බිඳවැටීම, සමාජ ආර්ථික ප්‍රශ්න නිර්මාණය වීම, සුළු පරිමාණ ව්‍යවසායකයන් සුළු පරිමාණ ධීවරයන් සම්පූර්ණයෙන්ම අවතැන්වීම මේව සියල්ලම එකිනෙකට බැඳිලා තියෙන්නේ. මේ කියන හැම එකක්ම 1990න් පස්සෙ මහා පරිමාණයෙන් වර්ධනය වුණා. මේ එක්ක පෞද්ගලීකරණය ආවා. සමාජ සුබසාදන ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම පාහේ රජය ඉවත් වුණා. වෙළඳපොළ මත තීන්දු තීරණ ගන්න ක්‍රියාවලියක් නිර්මාණය කළා. ජලය, බීජ, ස්වභාවික සම්පත් මේ සියල්ලම වෙළඳපොළ භාණ්ඩ බවට පත්කළා. ඒවට අවශ්‍ය අණපනත් ගේනව. ප්‍රතිපත්ති සම්පාදනය කරනව. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලීන් ගොඩනංවනව. ඒ සියලුම දේවල්වල ප්‍රතිඵල ලෙස තමයි අද මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ රටේ යුද්ධයෙන් පස්සෙ 2011 – 2030 ජාතික භෞතික සැලැස්ම කියල එකක් ගොඩනැගුවා. එය වර්තමාන රජය යටතේ 2018 – 2050 ජාතික භෞතික සැලැස්ම ලෙස දිගුකළා. ඒ හරහා ලංකාව වටාම වෙරළබඩ ප්‍රදේශයන්හි මහ නගර පහක් ඉදිවෙනවා. අධිවේගී මාර්ග ජාලයක් ඉදිකරනවා. මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා පමණක් එම සමාගම්වලට මහා පරිමාණයෙන් මුදල් ලබාදෙනවා. මහා පරිමාණ ආයෝජන සඳහා පමණයි දැන් ඉඩම් නිදහස් කරන්න සැලසුම් කරල තියෙන්නේ. ඉන්දියා, චීනය වගේ රටවල් තමයි මේ ආයෝජනයන් කරන්න මැදිහත් වෙන්නේ. ත්‍රිකුණාමලය මහ නගර සැලැස්මත් එක්ක ඒක සිංගප්පූරු ආයෝජනයක් හැටියට ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. දකුණු පළාතේ මහා පරිමාණ නගරය ලෙස හම්බන්තොට චීන ආයෝජනවලට යොමුකර තිබෙනවා. මේ වගේ රටපුරාම ජනතාව භාවිතා කළ ඉඩම් ස්වභාවික සම්පත් සියල්ලම මේ සංවර්ධන ක්‍රියාවලීන්වලට ලක් කරනවා. මේ ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ජලය ලබා දීමට යාන් ඔය වාරි ව්‍යාපෘතිය, ඊට අමතරව මොරගහකන්ද සහ කළු ගඟ වාරි ව්‍යාපෘති දෙක, ඊට අමතරව යෝජනා වී තිබෙනවා කුඹුක්කන් ඔය වාරි ව්‍යාපෘතිය, හැඩ ඔය වාරි ව්‍යාපෘතිය, පහළ මත්වතු ඔය වාරි ව්‍යාපෘතිය, ගිං නිල්වලා වාරි ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘති සියල්ල කරන්නේ සුළු පරිමාණ ගොවීන් හෝ සුළු පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවන්න නෙමෙයි. මේ සියල්ලම ලබාදෙන්නේ මහා පරිමාණ සමාගම්වලට. මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවකට පාරිසරික සැලැස්මක් තිබුණේ නැහැ. එහෙම එකක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. අපේ රටේ විශේෂඥයන්, ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් ආදී වෘත්තිකයන් එක්ව ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් නිර්මාණය කළ යුතුයි. ඒ ආර්ථික සංවර්ධන උපාය මාර්ගික සැලැස්ම එක ක්ෂේත්‍රයක් පමණක් මතුකොට සකස් නොකළ යුතුයි. සියලු ක්ෂේත්‍රයන් පිළිබඳව නිසි ඇගයීමකින් යුක්තවයි එහෙම සැලැස්මක් හදන්න ඕන. ඒ මත තමයි මානව සංවර්ධනය සහ භෞතික සංවර්ධනයන් දියත් කළ යුත්තේ. එහෙම නොවුණොත් අපේ රටේ ජනතාව සංවර්ධන අනාථයන් බවට පත්වෙනවා. අපි පරිසරය නිසි ලෙස රකින්න නම් සැලසුම් සහගත ක්‍රියාවලියකට යා යුතුමයි. එහෙම නොවුණහොත් අපේ රට බරපතළ පාරිසරික ඛේදවාචකයකට ලක්වෙනවා.

Leave A Reply

Your email address will not be published.

8 + eleven =