ඡන්ද විමසීමට පැය 5කට ‌පෙර නයිජීරියානු ජනාධිපතිවරණය කල් දමයි

නයිජීරියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ කිරීමට පැය කිහිපයක් තිබියදී මැතිවරණ කොමිසම විසින් එය කල් දමා තිබේ.

මැතිවරණය ආරම්භ කිරීමට පැය 5ක කාලයක් තිබියදී නයිජීරියානු මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ලබන 23 වැනිදා දක්වා ඡන්ද විමසීම කල් තබන බවයි.

නයිජීරියානු ජනාධිපතිවරණ සටන සඳහා වත්මන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන මුහම්මදු බුහාරි සහ හිටපු උප ජනාධිපති අකිතු අබුබකර් ප්‍රබල අපේක්ෂකයන් ලෙස පෙනී සිටියි.

හිටපු උප ජනාධිපති ලෙස කටයුතු කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද වන අකිතු අබුබකර්ගේ ජනප්‍රියත්වය මෑත කාලීනව විශාල ලෙස ඉහළ ගිය අතර ජනාධිපති බුහාරිගේ පළමු ධුර කාලය තුළම ජනප්‍රියත්වය පහත බැස්සේය.

ඒ අනුව දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම ජනාධිපතිවරණය බුහාරිගේ ජනප්‍රියත්වය උරඟාබලන ජනමත විචාරණයක් වනු ඇති බවයි.

බුහාරි ශාරීරිකව රෝගාතුරව සිටීම, දුර්වල ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම දූෂණය සහ අනාරක්ෂාව සම්බන්ධව තීරණ ගැනීමට බුහාරිගේ දේශපාලන අධිකාරිය අසමත්වීම මෙම ජනප්‍රියත්වය බිද වැටීමේ මූලික කරුණු අතර වේ.

මීට පෙර ද ජනාධිපතිවරණ කල් දැමීමේ අත්දැකීම් නයිජිරියාවෙන් හමුවන අතර 2011 සහ 2015 වසරවල පැවති ජනාධිපතිවරණ ද ආරක්ෂක ගැටළු ලෙස දක්වමින් කල් දමමින් තිබී පසුව පැවැත්විණි. එසේම නයිජිරියානු මැතිවරණ නිදහස් හා සාධාරණ නොවන ඒවා බවට විදෙස් රටවල චෝදනාවන්ට ද ලක්විය.

කෙසේ වෙතත් නයිජීරියාව අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය හිමි රාජ්‍ය වන අතර අප්‍රිකාවේ ඛණිජතෙල් නිෂ්පාදනයේ පුරෝගාමියා වන්නේ ද නයිජීරියාවයි. ජනගහනය අතින් වැඩිම පිරිසක් ජීවත්වන අප්‍රිකානු රට වනුයේ ද නයිජීරියාවයි. එබැවින් නයිජීරියාවේ දේශපාලන හැසිරීම කලාපයට විශාල ලෙස බලපාන්නකි.

මේ අතර නයිජීරියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බොකෝ හරාම් ත්‍රස්තවාදීන් පසුගිය දා රජයේ රථ පෙළකට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර ඉන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එහිදී නිල ඡන්ද පත්‍රිකා මළු 14ක් ද පැහැරගෙන ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

eleven + five =