පොදු යාන්ත‍්‍රණයකට බිය වන පාලකයෝ

 

රටම බරපතළ කොරෝනා වසංගත තත්ත්වයකට මුහුණ දී තිබේ. රෝග තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීම පළමු කාර්යයයි. නමුත්, පශ්චාත් ආපදා තත්ත්වය එයටද වඩා බරපතළ වනු ඇත. එය පසුවට තැබුවද, මෙම ආපදාව නිසා රෝගී නොවන ජනතාව මුහුණ දෙන බරපතළ ප‍්‍රශ්න තිබේ. මෙවන් තත්ත්වයකදී රජයකට තනිව කිසිවක් කළ නොහැකිය. මෙය වසංගත තත්ත්වයක් බැවින්, ජනතා සංචරණය සීමා කොට තබා ගත යුතු බැවින් ඔවුන්ද සෘජුව සහාය කොට ගත නොහැකිය. ඒ අනුව රජයට අමතර සහායන් සහිත විශේෂ කණ්ඩායම් සම්බන්ධ කර ගන්නා පොදු යාන්ත‍්‍රණයක් අවැසිය. විවිධ ජනතා සංවිධාන ඒ උදෙසා ඉල්ලීම් කළ ද, රජය නෑසූකන්ව සිටී. ඔවුන් අමාරුවෙන් අර්බුදයන් මැද තනි වැඩසටහනක ඇදෙමින් සිටී.

මෙවන් ආපදා හෝ වසංගත තත්ත්වයන් හිදී වාමාංශික දේශපාලන ව්‍යාපාර සක‍්‍රියව දායක වීම අනිවාර්ය සිද්ධියකි. එයට හේතු වන්නේ වමේ දැක්මයි. ඔවුනගේ දේශපාලනයම ජනතාවාදී ය. 1930 දශකයේ බියකරු ලෙස ලංකාව ගිල ගත් මැලේරියා වසංගතයට එවකට තරුණ වාමාංශික නායකයන් වූ ඇන්.ඇම්. පෙරේරා, දොස්තර වික‍්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන ප‍්‍රමුඛ සූරියමල් ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් දැඩි කැපවීමකින් මැදිහත් වුණේ මෙම වාමාංශික අධ්‍යාත්මය නිසාය. එදා ඔවුන් රෝගයට බිය නොවීය. දුෂ්කරතාවලට පසුබට නොවීය. වත්මනේ ජවිපෙ ‘රතු තරුව’ තම භාවිතාවෙන් පෙන්වන්නේ මෙම වාමාංශික අධ්‍යාත්මයයි. මේ වන විට ඔවුන්ට අමතරව විවිධ සිවිල් සංවිධාන ද කොරෝනා වසංගත ආපදාවන්ට සහන සැලැසීමට ඉදිරිපත් වේ.

ජනතාවාදී රජයක් නම්, එහි වගකීම වන්නේ මෙම සියලූ දෙනා සම්බන්ධ කොට රජය හා ඒකාබද්ධ පොදු යාන්ත‍්‍රණයක් ගොඩනැඟීමයි. ජවිපෙ දැනටමත් ස්වේච්ඡවෙන් බොහෝ සෞඛ්‍ය කාර්යංශයන්ට, ආයතනයන්ට, ජන කණ්ඩායම්වලට සහාය දක්වමින් සිටී. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රසිද්ධියේ දන්වා සිටියේ සහාය දීමට සූදානම් බවය. එහෙත්, මේ ආණ්ඩුවේ හැසිරීම අපුල දනවනසුලූය. මුල සිටම ඔවුන් ප‍්‍රමුඛතාව තැබූයේ පාර්ලිමේන්තු මැතිවරණයටය. එක් පසෙකින් තම එහෙයියන් යොදවමින් ‘රතු තරුවේ’ මෙහෙයුමට සමාජ ජාලා හරහා මඩ ව්‍යාපාර දියත් කරවයි. අනෙක් අතට රට ඉන්දියන් සාගරයේ ගිලූණත්, යළි පාර්ලිමේන්තුව නොකැඳවමියි පුන පුනා රාජපක්ෂ බැතිමතුන්ගේ මුවින් කියවයි. ඉන් නොනැවැතී ආණ්ඩුව ශී‍්‍ර ලංකා රජය මෙහෙයවන්නේ තම බූදලය සේ සලකාය. මහජන නියෝජිතයකු ද, රාජ්‍ය නිලධාරියකු ද නොවන බැසිල් රාජපක්ෂ කොරෝනා මර්දන යාන්ත‍්‍රණයේ ප‍්‍රධානියා වන්නේ ව්‍යවස්ථාමය හෝ සදාචාරමය සාධාරණයක් නොමැතිවය. දැන් දැන් සහන බෙදී යාමේ අක‍්‍රමිකතා හා වංචා ද සිදුවෙමින් පවතී. කොරෝනා ආධාරවලට ඉහළින්ම විය හැකි ආපදා හෙළි වන්නේ පසුවටය.

මේ තත්ත්වය තුළ පොදු යාන්ත‍්‍රණයකට පාලකයෝ අකැමැති වන්නේ ප‍්‍රධාන කරුණු දෙකක් නිසාය. එක මෙම වසංගතයට එරෙහි මෙහෙයුම රාජපක්ෂලාගේ ඡන්ද මෙහෙයුමක් කොට ගෙන ඇති නිසාය. දෙක ඒ තුළ වන බොහෝ වංචා, දූෂණ හා අක‍්‍රමිකතා සැඟවීම උදෙසා ය. මෙම කාරණා දෙකම ජනතා හිතසුව පිණිස නොවේ. සිදු විය යුත්තේ, එක්ව සියලූ දෙනාගේ ශක්තිය මෙම වෛරස් තර්ජනයට එරෙහිව යෙදවීමයි. රට ගැන, ජනතාව ගැන සැබෑ හැඟීමක් තිබේ නම්, වගකිව යුත්තන් විසින් ඒ සඳහා වහාම පියවර ගත යුතුව තිබේx

Leave A Reply

Your email address will not be published.

three × 2 =