තර්කොව්ස්කිගේ සිනමාකාර පුතුගේ Mirror

Mirror සිනමා නිර්මාණය

තර්කොව්ස්කි පිය -පුත් දෙපළ ගැන නොයෙක් ආකාරයේ සඳහන් පහුගිය දිනවල මුහුණු පොතේ මම දුටුවා.
මේ කෙටි සටහන හා කවිය ඔවුන් දෙපළ අතර වූ නිර්මාණාත්මක ගනුදෙනු ගැන උනන්දු වන අයට ;
පියාගේ කවි, සිනමාකාර පුතුගේ  යන කෘතීන් 3 නේ අපට ඇහෙනවා. එනමුත් Mirror සිනමා නිර්මාණය තුළට කවි වද්දාගෙන තියෙන ආකාරය සහ ඒවා එහි ඉටුකරන කාර්යභාරය, අනික් නිර්මාණ දෙකේ ඒවා ආයෝජනය කර ඇති පිළිවෙළින් මුළුමනින්ම වෙනස් කියා කියන්නට පුළුවන්.  කවියා , අන්ද්‍රේගේ පියා වීම හේතුවෙන් , Mirror කෘතියේ ඔහු කේන්ද්‍රීය චරිතයක් වනවා ; ඒ නිසා , ඔහුගේ කවි සිනමා කෘතියේ සංකල්පයට හා එහි වියමනට කා වැදී තියෙන්නෙ. අනික් චිත්‍රපට දෙකේ එන චරිත යම් යම් අවස්ථාවල කවි කියවනවා, නමුත් උද්ධරණයක් ( quotation ) වශයෙන්. ඒවා නැති වුනත් සිනමා වියමන ට බරපතල හානියක් වෙන්නේ නැහැ . නමුත් Mirror කෘතියේ කවි කියවන්නේ කවියාම විසින්.. කවියා ගේ තරුණ විය නළුවෙක් විසින් රඟපානවා තමයි . නමුත් , කවි අපට ඇහෙන්නේ කවියාගේම හඬින්, දෙන ලද ජවනිකාව තුළ , රූපය ට සමාන්තර තවත් මානයක් ඉන් මතු කෙරෙනවා . සිනමා කෘතිය අන්ද්‍රේයි ගේ ‘ මව ‘ කේන්ද්‍ර කරගත්තා වුනත් ඔහුගේ ජීවිතයේ අනභිමුඛ , නොපැමිණි ( absent ) පියා ලෙස කවියා එහි අන්තර්ගතයි. ඒ නිසා කවි ඉවත් කළොත් සිනමා කෘතිය බිඳවැටෙනවා.

මේ කවිය අර්සේනි ලිව්වේ 1962

Mirror හි අන්තර්ගත වන කවි 4 කින් මේ කවිය කියවෙන තැන ඉතා කෙටියෙන් මතක් කරන්නම් ; මාරියා කඩුල්ල මත වාඩිලා තණ පිටිය දෙස බලා සිටින හා අලෙක්සේයි (අන්ද්‍රේයි ) පියා ඒවි යැයි අපේක්ෂාවෙන් සිටින බව අපි දන්න ප්‍රකට දර්ශනය ; එතැන සිදුවන ටිකක් සංකීර්ණ සිද්ධි දාමයි අවසන් වුනායින් පස්සේ මාරියා ගස් ගොම්මන මැද්දෙන් ආපහු නිවස කරා එනවා. අන්න ඒ මොහොතේයි කවියේ ආරම්භක පද ඇහෙන්නේ .
මේ කවිය අර්සේනි ලිව්වේ 1962. එහි ලා මතක් කෙරෙන්නේ 1920 ගණන්වල සිදුවීම් පෙළක් …සිනමා පටයේ මේ කවිය යෙදෙන්නෙ 1930 කාලේ පසුබිමකට ; අන්ද්‍රේයි ගේ මුල් යොවුන් විය . කවියා මේක කියවන්නෙ නම් 1974, චිත්‍රපටය සඳහා … ( ආන්ද්‍රේයි සහ අර්සේනි තර්කොව්ස්කිලාගේ ජීවිතේ සංකීර්ණ සබඳතා ගැන හොයන කෙනෙකුට මෙතන ඉඟි හුඟක් තියෙනවා ..මීට වඩා මම මේ ගැන මෙතන කියන්නෙ නැහැ . මෙන්න කවියේ පරිවර්තනයක් .. මගේ ප්‍රකාශකයා කොයි වෙලාවෙ හරි අනතුරු ඇඟවීමක් කරන්න නම් කිට්ටුයි ..! )

පළමු හමුවීම්

දෙව් මඟුලක් මෙන් වින්දා අපි
හැම ඇසිල්ලක් අප හමුවු කළ
සැහැල්ලු වුනා , නිබය වුනා
කුරුලු පිහාටුවක් මෙන් නුඹ,,
සුළියක් වාගෙ දිව’වුත් තරප්පුව පහළට
ගෙනගියා මා තෙත ලිලැක් පඳුරු අතරින්
කැටපත් තලයෙන් අනෙක් පැත්තේ
නුඹේ රජදහනට

රාත්‍රිය පැමිණි කළ
පඬුරක් තිළින වුනා මට ;
දෙව් පුදසුන ඇර දැමුණා මුළුමනින්
සහන් එළියක් මෙන් අඳුර මැද
විකසිත වුනා නිරුවත හෙමින්
‘ දේවාසිරි වේවා ‘
කොඳුරද්දි මම ඇහැරෙමින්
නොහොබිනා බව එය දැනසිටියා මං ; .
නිදා සිටින නුඹ ඇසිපිය
පසසන්නට අහස් නිලෙන්
මේසය මත ලිලැක් පොකුරු
ඇදුනා නුඹ දෙසට
ශාන්ත විය නිල තැවරුනු ඇසිපිය
දෙඅත් නුඹේ උණුසුම් විය

පලිඟුව තුළ නාඩි වැටුනා ගංගාවන්ගේ
හුස්ම ගත්තා කඳු වැටි , විකසිත වුනා මුහුදු
පලිඟු ගෝලය අත්ලේ තබාගෙන
නිදා ගත්තා නුඹ සිහසුන මත්තේ ,
ඉතින් – දෙව් පියාණනි – නුඹ එතකොට මගේ !

ඇහැරිලා නුඹ ලිව්වා අමුතුවෙන්
එදිනෙදා මිනිස් ශබ්ද කෝශය
නින්නාද දුන්නා සවිමත් වදන්
‘’නුඹ ‘ යන්නට එක්වුනා නවාරුතක් – ‘ රජු ‘
සියළු ලොව එකලස් වුනා අලුතින්
එදිනෙදා සිල්ලර දේවල් – බේසම , ජොග්ගුව – පවා ,
රැලි සහිත බර ජලය
අප මැද සිට ගත් යාමේ මුර කරන්නට මෙන්

නොහැඟි ඉමකට ඇදී යන සඳ
ප්‍රාදූර්භූත වුනා මායාවන් මෙන්
අසිරිමත් මහ නගර අප ඉදිරියේ
සුවඳ තෘණ තමන්ම නැගුනා අපේ පිය යටින්
අප එක්ක ගමනක් තිබුණා. විහඟුන්ටත් වනේ
ගං දහර දිගේ උඩ පැන්නා රිදී මසුන්
නිල් අහස දිගෑරුනා අප ඇස් මානයේ ..

පිය මෑනුවා ඔය අතර ඉරණම අපේ පස්සෙන්
කිණිස්සක් අතින් ගත් පිස්සෙක් මෙන්

සුනිල්  විජේසිරිවර්ධන (fb)

Leave A Reply

Your email address will not be published.

17 − 4 =