එංගලන්ත ක්‍රිකට් පඩි කපයි

ලොව පුරා වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් රටවල් රැසක් ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන අතර එංගලන්ත ක්‍රිකට් ආයතනය ද දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර තරගාවලි රැසක් අත්හිටුවීමත්, රට තුළ ක්‍රියාත්මක සියලුම දේශීය තරග කල් දැමීමත් ය.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතර මගදී අවලංගුවීම, එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තාන සහ ඔස්ට්‍රේලියානු තරගාවලි පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවයට පත්වීම ප්‍රධාන තැනක් ගනියි. ඉදිරියේදී ඉක්මනින්ම කොරෝනා තත්ත්වය පාලනය නොවුනොත් මේ තරගාවලිද අවලංගු කිරීමට සිදුවනු ඇත.

මේ තත්ත්වය මත එංගලන්ත ක්‍රිකට් ආයතනය ලක්වන මුල්‍ය අර්බුදයට පිළියමක් ලෙස ගිවිසුම් ගත ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඊට එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව ඔවුන්ගේ ගිවිසුම්ගත වැටුපෙන් සියයට 20ක ප්‍රමාණයක් අහිමි වේ. එම මුදල ඉදිරි මාස 3 සඳහා වන වැටුපෙන් කපා හැරීමටයි නියමිතව ඇත්තේ. ඉන් ඉතිරි වන ස්ටර්ලින් පවුම් 500,000ක මුදල එංගලන්ත ක්‍රිකට් ආයතනයට සහ වෙනත් සුදුසු ක්‍රියාවන් සඳහා යෙදවීමට නියමිතයි.

ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි 20 සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, ජොස් බට්ලර් වැනි ප්‍රමුඛ ක්‍රීඩකයන්ට පවුම් මිලියන 0.2 ක පමණ මුදලක් අහිමි වෙයි. එංගලන්ත ප්‍රාන්ත තරගාවලි මැයි මස දක්වා කල් දැමීමත් සමග එරට ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් ද දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =