ආයිබොවන්ඩ පවිත‍්‍රා,

මහී පාලක දෙවිගොල්ලො සාගත-වසන්ගත වගේ ආපදා රටකට කඩාපාත් කරවන්නෙ රට කොරන කෙරුමන්ගේ වගේම රටවැසි නරපනුවන්ගේත් හිත-ගත දෙකේ හයිය-හත්තිය පරික්සා කොරල බලන්ඩ ය කියල කියනවා නේ ද? දේව කෝපෙකින් නැත්තං මනුස්ස- අමනුස්ස දෝසෙකින් හරි මේ දවස්වල ලෝකෙ කලම්බමින් ඉන්න කොරෝනා රාස්සයා අපේ පැත්තටත් බැලූං හෙළපු එක නං හි`ගන්නගෙ පාත්තරේට හෙනහුරා පතබෑවුණාටත් වඩා අලකලංචියක් තමයි. ඔය මාරපුත්තරයා සිරිලංකාවට ගොඩබහින්ඩ ඇත්තෙ නං රටේ ආර්තික තත්තෙ වගේම ඔහෙලා- අපි හැමෝගෙම සවුක්කිය තත්තෙ ගැනත් හරිහමං වගවිබාගයක් කොරන්ඩ වෙන්ඩැති එකත්තෙකටම.

මේ වගේ බරපතළ පුරස්නයක් මතුවෙලා තියෙන වෙලාවක උඹලා ඉතිං බාරගත්ත නං කොරල පෙන්නහල්ලකො කියන්ඩ තරං පවිත්තරාලගෙ දේසපාලනේට කැමති නැති ඇත්තො වුණත්, කුහක වෙයි කියලා හිතන්ඩෙපා. සුනාමි රකුසා රටට කඩාපැන්න වෙලාවෙ වගේම තිස් අවුරුදු යුද සන්දියෙදිත් ජාති, ආගම්, කුලමල හා පක්ස බේද පැත්තකට දාලා ලක්වැස්සෝ එකසේසත් වුණ හැටි මතක ඇති නෙ. හැබැයි ඉතිං කිව්වට කෝප ගන්ඩ එපා මැඩම් කොරෝනා නපුරා පන්නා දාන හටනෙදි රටම එක පොකුරකට ඒකරාසි කොර ගැනීමේ පවිත්තර චේතනාවක් පවිත්තරා නෝනලාට තියෙන බවක් නං තාම පෙන්නුං කොරලා නැහැ ?

පහුණු දවස් ටිකේ ඔහෙලගෙම කටවල්වලින් පිට වුණ නානාප‍්‍රකාර පොරකාස දිහා බලපුවහම කනගාටුවෙන් වුණත් කියන්ඩ තියෙන්නෙ කොරෝනාව දඩමීමා කොරගෙන ඉලැක්සොන් කැම්පේනෙත් ගොඩ දාගන්ඩ කුරුමානං අල්ලන විත්තියක් තමා. සාක් ලොක්කොත් එක්ක වගේම ඊයෙ පෙරේදා ජාතිය අමතලා දාපු ටෝක් එකේදිත් ලොකු තැන කොරෝනාවට වැඩියෙන් දෙඩුවේ ආණ්ඩුවක් හදන එක ගැන ය කියලා හුදී ජනයගෙ හිත් තැළිලයි තියෙන්නේ. දකුණුකොරෙන් බිහි වුණ තවත් පුත්තරයෙක් වෙන ලක්සමන් යාපා ගොයියත් මේක තුනෙන් දෙකක් නෙළාගන්ඩ මාර චාන්ස් එකක් ය කියලා දොඩන්ඩ ඇත්තෙත් කොරෝනාවෙ එල්ලිලා හරි දියවන්නාව තරණය කොරලා රටත්, ජනතාවත් ගොඩදාන්න උන්නැහැට තියෙන අප්පරමාන කැක්කුම හන්දම වෙන්ඩැති මයෙ හිතේ.

තක්කෙටම දිනන්ඩ තියෙන චන්දයක් කොරෝනාවට බයේ අතඅරින්නෙ මොන මෝඩයා ද නේද පවිත්තරා නෝනා ? එදා දෙරණ දෙදරුම් කවමින් ගරු මැතිනිය උදන් අනපු හැටි දැක්කහම පවිත්තරා වගේ සවුක්කිය ඇමතිනියක් ඉන්න රටක ඉපදෙන්න ලැබීම ගැන පුදුමාකාර ආඩම්බරයකින් අපේ පපු කූඩු පුපුරන්න ගිය වගත් මේ අවස්තාවේ විසේසෙන්ම මතක් කරන්න ඕනා. ඒ වගේම මැඩම් යහපාලනේ අහෝසි කොරලා ජනමූල පාලනයක් ගොඩනගන්න දිවා ? නොබලා ඇප-කැප වුණ ජීඇම් ඕ එකේ කස්ටියයි, සාපි දොස්තරගේ මහා වඳ සැත්කන් කුමන්තරණේ හෙළිදරව් කොරලා විසාල විපතකින් රට මුදාගත්තු රතන උන්නාන්සෙලයි එහෙම මේ තීරණාත්මක මෙහොතේ හැසිරෙන ආකාරය නං අන්තිම බාලයි නේ ද? ඒ මදිවට කවදාවත් කට වරද්දා නොගත්තු සිරිපාදෙ හාමුදුරුවොත් හිත රිදෙන කතාවක් කියල තියෙනව දැක්කා.

ජනතාවගේ හිත් දුසනය කරන කතා පතුරුවන්න එපා ය කියන අවවාදෙ නොතකා කවුදෝ හාදයෙක් බුකියෙ ලියා තිබුණ ”ලෝක නායකයො කොරෝනා ගැන කරදර වෙද්දී -අපේ නායකයෝ ඉලැක්සන් ගැන කරදර වෙති” කියන මේ කොමෙන්ටුව සවුක්කිය ඇමතිනියගේ දැනගැනීම පිණිස මෙසේ උපුටා දක්කන්නේ මේ වගෙ දේවල් ලියන තක්කඩියන් අල්ලලා පුනරුත්තාපනය කිරීමත් ඔබතුමියලාගේ අනාගත දේසපාලන සවුක්කියට හිතකොර වෙයි කියන යෝජනාවත් එක්කයිx

විශ්වමිත

Leave A Reply

Your email address will not be published.

one + 6 =