පිදුරුතලාගලින් අහසට නගින ගුවන් ‍සේවයේ තවත් වංචාවක්

ටෙන්ඩරය දුන්නේ වැඩිම ඉල්ලුම්කරුට රේඩාර් පද්ධතිය දැනටම දෙපාරක් කැඩිලා ටෙන්ඩර් මගඩියේ පාඩුව මිලියන 86ක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුවක් හරහා සිදු කරනු ලැබූ මහා පරිමාණ වංචාවක තොරතුරු අනාවරණය වූයේ මීට සති කිහිපයකට ප්‍රථමයෙනි. එහි උණුසුම පහව යන්නටත් පෙර එහිම සිදු කරනු ලැබූ තවත් වංචාවක තොරතුරු හෙළිදරවු වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට දෙවෙනි නොවන්නට ඊනියා යහපාලන ආණ්ඩුවත් ලංකාවේ ගුවන් සේවය බිමට ඇද දැමීමට අඩුපාඩු නැතිව මැදිහත් වී ඇති බවට හොඳම සාක්ෂියක් සපයමිනි. තවමත් අවසන් කර නොමැති, දැනටත් ඉදිරියට ඇදෙමින් තිබෙන මේ වංචාව මොවුන් සැලසුම් කරන්නේ ගුවන් සේවයට අදාළ රේඩාර් පද්ධතියක් ඉදි කිරීමේ ටෙන්ඩරයක් හරහාය.

ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් පිදුරුතලාගල කඳුමුදුනෙහි රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අංක 027/T/2018 යටතේ ටෙන්ඩර් කැඳ වූ අතර, 2018 නොවැම්බර් මස 15 වැනි දිනෙන් ටෙන්ඩර් කැඳවා අවසන් කරන ලදී. ප්‍රංශයේ තලේස්, ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සහ ඉතාලියේ ලෙනාඩෝ (සෙලෙක්ස්) යන සමාගම් තුනක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරන ලදී.
එම සමාගම් තුන අතුරින් අඩුම ලංසුව ලබා දෙන ලද්දේ ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සමාගම වන අතර එම සමාගමෙන් පසු අඩු ලංසුව ඉතාලියේ ලෙනාඩෝ (සෙලෙක්ස්) සමාගම විසින් ඉදිරිපත් කර තිබිණි. වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබූ ප්‍රංශ සමාගමේ ලංසුව අනෙක් සමාගම් දෙක විසින් ඉදිරිපත් කරන ලද ලංසුවට වඩා දළ වශයෙන් රුපියල් 4,20,00,000.00ක් සහ රුපියල් 8,60,00,000.00ක් පමණ වැඩි ලංසුවකි.
එවැනි තත්ත්වයක් තුළ ගුවන්සේවා සමාගම් ඉලෙක්ට්‍රොනික හා ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතක දී විශ්‍රාමලත් එම අංශයේම නියෝජ්‍ය ප්‍රධානියා විසින් එම ටෙන්ඩරය සඳහා ඉහළම ලංසුව ඉදිරිපත් කර තිබූ ප්‍රංශයේ තලේස් සමාගම වෙත ලබා දීම සඳහා ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ තාක්ෂණික කමිටුව වෙත බලපෑම් සිදු කර තිබේ.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත සිදු කරන ලද බලපෑම් හේතුවෙන් ප්‍රංශයේ තලේස් සමාගමට අයුතු වාසියක් අත්වන පරිදි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද අනෙකුත් සමාගම් දෙක වන ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සහ ඉතාලියේ ලෙනාඩෝ (සෙලෙක්ස්) යන සමාගම්වලින් එම ටෙන්ඩරය සම්බන්ධයෙන් අනවශ්‍ය වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා සිටීමෙන් මුළුමනින්ම ප්‍රංශයේ තලේස් සමාගමට පක්ෂපාතීව කටයුතු කර ඇත. ඒ ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සහ ඉතාලියේ ලෙනාඩෝ (සෙලෙක්ස්) යන සමාගම් විසින් එම ටෙන්ඩර් සම්බන්ධයෙන් වන සියලුම පිරිවිතරයන්ට සහ සාමාන්‍ය කොන්දේසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල වන පරිදි එම ලංසු ඉදිරිපත් කර තිබිය දී සහ එම රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන සියලුම කරුණු සම්බන්ධයෙන් එම ලංසු මඟින් සෑහීමට පත්කර තිබියදීය.

අසාර්ථක සැපයුම්කරුවකු වන ප්‍රංශයේ තලේස් සමාගම විසින් මේ වන විටත් පිදුරුතලාගල කඳුමුදුනේ ස්ථාපිත කර ඇති ද්විතීයික රේඩාර් පද්ධතිය එම සමාගමේ සැලසුම්වල සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් දෙවරක් අක්‍රිය තත්ත්වයට පත්ව ඇත. එහෙත් ඉතාලියේ ලෙනාඩෝ (සෙලෙක්ස්) සමාගම ඉතාමත් මෑතකදී සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළට සහ මැලේසියාවේ ගුවන්තොටුපළ වෙත මේ හා සමාන රේඩාර් පද්ධති සපයා ඇත. එමෙන්ම ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සමාගම ද ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ ටෙන්ඩරයට අනුකූලව සියලුම අවශ්‍යතා සපුරා ඇත.

එහෙත් ඉහත කී පිරිස මැදිහත්වී මීට සමාන ටෙන්ඩරයක් වන ගුවන් යානා තොරතුරු සැපයීම් පද්ධතිය ස්ථාපනය කිරීම සහ පැවරීම සම්බන්ධයෙන් වන ටෙන්ඩරය ඉතා සූක්ෂ්මව සහ පක්ෂග්‍රාහීව ප්‍රංශයේ තලේස් සමාගම වෙත ප්‍රදානය කර තිබේ. එහෙත් අවම වශයෙන් මේ වන තෙක් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හෝ එම සමාගම අපොහොසත් වී ඇත.

ජාතික ප්‍රසම්පාදන කමිටුවේ මාර්ගෝපදේශන අනුව ටෙන්ඩර් කමිටුවේ නිලධාරීන්, තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් සහ ප්‍රසම්පාදනයට අදාළ අංශයේ ඉහළ නිලධාරීන් විසින් අදාළ ටෙන්ඩරය විවෘත කරන දින සිට එම ටෙන්ඩරය ප්‍රදානය කරන දින (ඇගයීම් කාලසීමාව) දක්වා වන කාලසීමාවේ දී ලංසුකරුවන්, ලංසුකරුවන්ගේ පහසුකම් සපයන්නන්, ලංසුකරුවන්ගේ සම්බන්ධතා නිලධාරීන්, ලංසුකරුවන්ගේ සේවකයන් සහ නියෝජිතයන් සමඟ කිසිදු ආකාරයක සම්බන්ධතා, සන්නිවේදන, ලිපි හුවමාරු කිරීම්, ගනුදෙනු කිරීම්, සම්මන්ත්‍රණ, සුහද හමු වීම්, පුහුණු වීම්, කර්මාන්ත ශාලා නිරීක්ෂණ සහ රැස්වීම් නොපවැත්විය යුතු බවට සඳහන් කර ඇත.

එසේ වුව ද, එකී කරුණු මුළුමනින්ම නොසලකා හැර ගුවන්සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික හා ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතක දී විශ්‍රාමලත් එම අංශයේම නියෝජ්‍ය ප්‍රධානියා, මෙම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වන ඉංජිනේරුවරුන් දෙදෙනකු, පුහුණු වැඩමුළු, කර්මාන්ත ශාලා නිරීක්ෂණ, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ රැස්වීම් යනාදිය සඳහා සහභාගීවීම සඳහා සහ සමහර නිලධාරීන් පෞද්ගලික සංචාර සඳහා ප්‍රංශයේ පිහිටි තේල්ස් සමාගමේ කාර්යාල සහ කර්මාන්ත ශාලා වෙත ගොස් ඇති අතර, එම විදෙස්ගතවීම් සිදු කර ඇත්තේ ද ‘ SCAPC ’ උපදෙස් මත නොවේ. ඒ අනුව එම විදෙස් සංචාරයන් සිදු කිරීම ද ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි.

රේඩාර් පද්ධතිය සම්බන්ධ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් දෙදෙනා ප්‍රංශයේ තලේස් කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය සඳහා සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා කර්මාන්ත ශාලා පුහුණුවකට විදෙස් සංචාරයකට සහභාගී වී නැවත පැමිණීමෙන් පසු ඉන් එක් නිලධාරියකු විසින් සුඛෝපභෝගී මෝටර් රථයක් මිල දී ගෙන ඇති අතර, අනෙක් නිලධාරියා විසින් මල්වානේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිල දී ගෙන ඇත.

ඉහත සඳහන් කරන ලද වැරදි, ද්වේෂසහගත, පෙර සැලසුම් කරන ලද මූල්‍ය අපරාධ සහ ශ්‍රී ලංකාවේ පොදු දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ පොදු දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වැරදි වන බැවින්, පොදු සමාජයේ යහපත උදෙසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ කෝප් කමිටුව මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දැඩි දඬුවම් ලබා දීමට පියවර ගත යුතුව ඇත.

චතුර දිසානායක
Leave A Reply

Your email address will not be published.

2 × five =