පාසල් රග්බි අනුග්‍රාහකත්වය ඩයලොග් වෙතින්

16

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ ඩයලොග් ආසියාටා සමාගම අතර ඇතිකරගත් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමුව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. එහිදී ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලී නානායක්කාර ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති බී.ඒ.අබේරත්න වෙත පාසල් රග්බි අනුග්‍රාහකත්වය පිරිනැමිය. පාසල් රග්බි සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත මෙන්ඩිස්, රග්බි තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ටෝනි අමිත්, ආසියානු රග්බි සංගමයේ තරගාවලි සහ ඉහළ කාර්ය සාධන කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න, පාසල් සංගමයේ ලේකම් නිරෝධ විජේරාම සහ ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක යන අයද මෙම අවස්ථාවට සම්බන්ධ වුහ.
ඩයලොග් ආසියාටා සමාගම ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සමග වසර තුනකට ගිවිසුම් ගත විය. රුපියල් මිලියන 65ක අනුග්‍රාහකත්ව මුදලක් සමග ඩයලොග් සමාගම මෙරට පාසල් රග්බි ක්‍රීඩාව හා එක්ව ඉදිරියේදී රග්බි ක්‍රීඩාව ග්‍රාමීය තලයේ පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට පාසල් රග්බි සංගමය සැලසුම් කර තිබේ.
ඒ අනුව අන්තර් පාසල් පළමුපෙළ ලීග් තරගාවලියේ මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පූර්ණ අනුග්‍රාහකයා ලෙසත් ඩයලොග් ආසියාටා සමාගම කටයුතු කරනු ඇත. දෙපාර්ශ්වය අතර වසර තුනක ගිවිසුමට අනුව ලීග් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ පාසල් කණ්ඩායම් 12කට රුපියල් මිලියනය බැගින් වෙන් කර ඇති අතර එය පසුගිය වසරේ ප්‍රබලතම පාසල් සඳහා වෙන් කළ මුදලට වැඩි ප්‍රමාණයකි.
පාසල් කණ්ඩායම් සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 25කි. එම මුදල පළමු, දෙවැනි හා තුන්වැනි කොටසේ ක්‍රීඩා කරන පාසල් සඳහා බෙදා දීමට නියමිතය. පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ පාසල් සඳහා රුපියල් ලක්ෂ 4ක් ද, ‘සී’ කාණ්ඩයේ පාසල් සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් ද බෙදා දීමට නියමිත අතර දෙවැනි කොටසේ පාසල් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහ තුන්වැනි කොටසේ පාසල් සඳහා රුපියල් පනස්දහස බැගින් මුදල් වෙන් කර තිබේ. මීට අමතරව සියළුම පාසල් කණ්ඩායම්වලට උපදේශක සේවා, වැඩමුළු පැවැත්වීම, රග්බි පන්දු බෙදා දීම, ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා දීම ගිවිසුමට අනුව සිදු කෙරේ. බාලක පාසල්වලට සමගාමීව බාලිකා පාසල්වල රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට ද පාසල් රග්බි සංගමය තීරණය කර ඇත. මෙරට තරගාවලිය පැවැත්වීමට අනුග්‍රාහකත්වය ලබාදුන් ඩයලොග් සමාගම ඉදිරියේදී යොවුන් ක්‍රීඩකයන්ගේ විදෙස් සංචාර සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ද එකඟ වී සිටියි.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ද පූර්ණ සහයෝගය මැද පාසල් රග්බි ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් තවත් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීම මේ ගිවිසුමට අනුව සිදුකෙරෙනු ඇත. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු අවුරුදු 19න් පහළ 15 සාමාජික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය හිමිවනු ඇත.
මෙවර ලීග් තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා අවසන් වේ. ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ලබන ජූනි මස මුල ආරම්භ වීමට නියමිතය.
මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මඟ හරින කණ්ඩායම්වලට දඩුවම් පැනවීමට හැකිවන පරිදි නීති සම්පාදනය කර ඇති බවට පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න පැවසීය.

Previous articleග්‍රාම්ස්චි ගෙන් පසු ලෝකය
Next articleඉතාලිය පාසල් වසා දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here