“මගේ ආලයෙ ග්‍රැමෆෝන්” හඬින් නොම පැරණිය

14

නූතනය කවිය ප්‍රමාණාත්මක වර්ධනය වන යුගයකි. නව්‍ය තාක්ෂණය භාවිතයෙන් උපන් ඉඩ අවකාශයත්, කවියෙහි ඇති වේගවත් ප්‍රකාශන මාදිලියත්, කාව්‍ය සංග්‍රහයක් මුද්‍රණය කර එළිදැක්විම පෙර සේ වෙහෙසකර කාර්යයක් නොවන නිසාත් මේ ආකාරයේ ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති වී ඇතැයි නිගමනය කළහැකිය. නමුත් ගැටළුව හමු වන්නේ එම ප්‍රමාණාත්මක වර්ධනය ගුණාත්මක වර්ධනයක් බවට පෙරැලී ඇත්දැයි සොයා බලන විටය. නූතන තාක්ෂණික ඉඩ අවකාශය කවිය වැනි චූල ගණයේ සාහිත්‍යයික ප්‍රකාශන විධියක අභ්‍යාසකරන සමය අහෝසි කර දමා ඇත. ඒ නිසාම නූතන කාව්‍ය රචක රචිකාවියන් ඉතා කෙටිකලක් තුල කාව්‍යනිර්මාණ සංග්‍රහ පලකිරීමට පෙළෙඹී තිබේ. එය ගැටලුවක් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් කවියේ වර්ධනීය ගාමක බලයට එය සුළු හෝ දායකත්වයක් සපයන්නේ නැති තරම්ය. නමුත් නූතන තරුණයා හෝ තරුණිය කවිය වැනි සුළු පන්නයේ, ආර්ථික ප්‍රථිලාභයක් පවා අත්පත් කරගත නොහැකි සාහිත්‍ය කර්මාන්තයක නියැලීම විවාදයකින් තොරව අගය කළයුතුය. කාව්‍ය ක්ෂේත්‍රයේ මේ ප්‍රමාණාත්මක වර්ධනය කවීන්ට තවත් අභියෝගයක් සකසා දී තිබේ. ඒ තමන්ගේ අනන්‍යතාව ගොඩ නගා ගැනීමයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නූතනයේ පල වෙන බොහෝ කාව්‍ය ග්‍රන්ථ වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ඒවා මත පෙර කවීන් ගේ සෙවනැල්ල වැටී තිබීමයි. නැතිනම් පොදු සමාන කමයි. මේ තත්වය අතික්‍රමණය කර තමන්ගේ ම කවි මගක් කවියෙකුට හෝ කිවිඳියකට ගොඩ නගා ගත හැකි නම් හේ සුවිශේෂව මතුවී පෙනේ.

අනන්‍යතා ලකුණ

නූතන පරම්පරාවේ කවීන් අතර සිය අන්‍යතාව කවි පොතෙන් පොතට සොයා ගිය කිවයෙකු අපට හමු වේ. හේ නඳුන් යසිත දසනායක නමි. සිය පස්වන කාව්‍ය සංග්‍රහනට පැමිණෙන විය නඳුන් ඉතාමක් ක්‍රමානුකූලව, සෙමෙන් තමන් ගේ අනන්‍යතාව ගොඩනගා ගෙන ඇති ආකාරය දැකිය හැකිය. සිය පස්වන කාව්‍ය එකතුව වන “මගේ ආලයෙ ග්‍රැමෆෝන්” කෘතිය නඳුන් ට සිය අනන්‍යතා ලකුණ පිළිබඳ අපූරු සාක්ෂිකරුවෙකු බවට පත්වී තිබේ.
ඔහුගේ කාව්‍ය නිර්මාණයන් ගේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ කිහිපයකි. එක්ක වන්නේ කෙනෙකුගේ ජීවන අත්දැකීම් හි ක්ෂුද්‍රමය අංශූන් කාව්‍යානුභූතීන් ලෙස නඳුන් භාවිතයට ගැනීමයි. එසේ ගැනීමේ දී සරල භාවිත බස් වහර ඔහු සෑම විටම උපයෝගී කොට ගනී. ඔහුගේ කවි බස ඔහුටම අනන්‍ය වූවකි. සෑම විටම ඔහු උත්සාහ ගන්නේ අත්දැකීමට සමපාතව සරළ භාවිත බස් වහර උපයෝගී කර ගැනීමටයි.
පැනලා යන්නට තරම් තදබල ප්‍රේමයක් තිබුණා ද නොදැනුණ කාලෙක
අපි පැනලා යං කියල ඔබ එවූ ලියමන කියවලා
මංකඩේ ඇළට ජබු ගා පැනල
නෑවේ මං එදා මුළු හවස් යම
යෞවන ප්‍රේම ප්‍රකාශනාස්මෘතියේ ආහ්ලාදය ඔහු පවසන අපූරුව. සිය පෙම්වතා පැන ගොස් විවාහ වෙමුයි පැවසූවද ඇයට එය කළ නොහැක්කේ සිය නිවසේ ඇති නොයෙක් දුෂ්කරතාවන් සිහිපත් වීමෙනි. අවසන පෙම්වතා සිය යෙහළියක සමග පැනයයි.
ඉම්පස්සෙ ඒ ලියුම විසිකලා මම ලිපට
ඔබ පැනලා ගොස් තිබුණි මගේ යෙහෙළිත් එක්ක
අදත් මය ඈ සමග ඔබව හමුවෙයි පොළේ
ඈ දන්නැතිව ඇති ඔබ මට දුන් ලියුම
එක්කෝ දන්නවැති මං අහන්නෑ ඇගෙන්
(පැනල යෑමෙන් පැනල ගිය මගේ ආලේ – පිටුව 16)

මානව චිත්තයෙහි සියුම් තැන්

මිනිස් ජීවිතයේ සියුම් ස්මරණ සංවේදනාවන් අතිසියුම් සැතකින් පලුදු කර බැලූ විට ඒ තුළ මෙතෙක් මුණ නොගැසුණු අපූරු චමත්කාරයන් මුණ ගැසේ.

පිපිරුණු කණ්ණඩිය මත තවම ඇති
ඒ පුයර පැල්ලම සුවඳ පිරි
ඔබෙ කම්මුලක් වැදී එක දිනක්
කණ්ණාඩියක ගෑවුණු රසක්

අතීත පෙම්වතිය පසුකලෙස පෙර පෙම්වතා හමුවට පැමිණේ. මෙසේ කිහිප වතාවක් පැමිණ එක් දිනෙක ඇය යළි නොඑන බව පවසන්නීය. ඔවුන් අතර ඇතිවූ කායික සම්බන්ධතාව නඳුන් පවසන්නේ අපූරු සංයමයකිනි. තෝරාගත් වදන් භාවිතයකිනි.

අතේ තිබු පනාවෙහි ඇලුණු කෙස් ඔබෙ
දාඩියෙහි තෙත අතර ගුළි ගැහී
ඇය පෙම්වතාගේ කාමරයෙන් පිටව යන්නේ ඇගේ ජීවිතය හැඩි නොකර ගෙනය. පෙම්වතාගේ හැඩි වූ කාමරයේ අතුගා ඉවත් කළ නොහැකි බොහෝ දෑ ශේෂ කරමිනි. අවසාන මතකය ලෙස කැඩපතෙහි තැවරී ඇති පුයර පැල්ලම පවා පිය දමන්නට පෙම්වතාට සිත් නොදේ. නඳුන් මානව චිත්තයෙහි සියුම් තැන් ස්පර්ශ කරණ අපූරුව කාව්‍යාත්මකය.

ඒ මැදින් දැන් මට පෙනේ
මගේ හිස නැගුණු නර කෙස් රැසක්
ඒ පුයර පැල්ලමත් – හැඩිවුණු කාමරෙත්
ඔබ දමා ගිය ඒ පැටලෙන කෙස් රොදත්
මේ සියල්ලම එක ම මතකයක්
ඔබ නොදන්නා බිඳුණු කැඩපතක්
කැබලි විසිරී වැටුණු කැඩපතක්.
(බිඳුණු කැඩපතක් ගැන නොබිඳුණු ඔබ වෙතට – පිටුව 24)

“ස්නායුවක් වගේ”, “පත්තර පිටුවක කවුළුව”, “ගන්ඩ එපා රෝද පුටුව”, “බයිසිකලයක හැඬලයට”, “ඒ අපිළිවෙල සන්ධ්‍යාවෙ”, “ඒ පාරෙ පල්ලම”, “අපි ඈත් වුණාට පස්සෙ” වැනි නිර්මාණ තුල මිනිස් සිතෙහි ඉපැදී මියයන සියුම් හැඟීම් ධාරාවන්ගෙන් පෙරා ගත් අනුභූතීන් පෙර දැක නැත් අයුරින් කවි කරන්නට නඳුන් සමත් වී තිබීම අගය කළයුත්තකි. ඔහුගේ බොහෝ කවි කියවන විට චිලියානු කිවි පැබ්ලෝ නෙරූඩා ගේ කාව්‍ය නිර්මාණ මතකයට ඒම නිරායාසයෙන්ම සිදුවන්නකි. ආදරය, වියෝව, ලාලසාව ගැන නඳුන් පබඳින කවි ඒ තරමට ප්‍රේමාන්විතය.

කුටුම්භගත ප්‍රේමය ගැන

ආසියානු කුටුම්භගත ප්‍රේමය ගැන අපූරු කවියක් නඳුන් ගේ “මගේ ආලයෙ ග්‍රැමෆෝන්” කවි එකතුවේ එයි. කුටුම්භගත ප්‍රේමය ආරක්ෂා කිරීමට බොහෝ පිරිමින් වෙහෙසෙයි. නඳුන් මෙහිදී පිරිමියා වැවටත්, ගැහැනිය වැව් දියටත් සංකේතරූපීව සමපාත කරයි.
වැවකට තියෙන්නේ පිරි දිය රකින එක
පෙම්වති විලස රැළි ඉවුරත දරන එක
ඉවුරක් කියන්නෙත් සීමාවකි පෙමක
දියවර කැමති ඇති පිටලොව විඳින එක

රැක්කත් කෙහොම ඉවුරත් ඉතින් දියවරක්
රළ රහසින්ම හැදුවද ඉවුරක සිදුරක්
මහ පපුවක් වගේ උන්නත් විසල් වැවක්
සිදුරක් කියන්නෙම වැවකට ලොකුම බයක්
(සිදුරක් කියන්නෙම වැවකට ලොකුම බයක් – පිටුව 42)

පැරණි සංදේශ බසෙහි ආදේශ

නඳුන් ගේ කවි බසෙහි අතිශය නැවුම් රූපක රැසක් ද හමු වේ. ඒවා නූතන ජීවිතය ඇසුරෙන් මෙන්ම අතීතය ඇසුරෙන් ගොඩනගාගත් ඒවාය. “නෙස්කැෆේ පාට හැන්දෑ වරුවක”, “රැළි තියලා ඉස්තිරික්ක කරපු කොළ වියන”, “සිත් ගිරා හද කැන්දන”, “මතකයේ පස් රැහැන් කඩනවා” වැනි යෙදුම් තුලින් වහනය වන්නේ නැවුම් සුවඳකි. පැරණි සංදේශ කවි බසෙහි ද ආභාසය ලැබූ කියක් ද මෙහි ඒ. එය සිංහල කවි කෙත පිළිබඳ නඳුන් ගේ හැදෑරීම හඟවන්නකි.
පවනෙව් මුදාහළ මහ ඉසි ලෙස දවස
සලකුණු තබා ඇති හද බර අඩි සහස
කවි වීණාව වයමින් වෙරළත සවස
රළ සළ දහර ඇසුරෙහි සයුරකි දෙ – ඇස
(රළ සළ දහර ඇසුරෙහි සයුරකි දෙ – ඇස – පිටුව 54)

“ජිම් එකේ බොන්සායි” කව ද කවියෙකු සතුවිය යුතු සියුම් නිරීක්ෂණාක්ෂියටත්, සූක්ෂමතා අවබෝධයටත් අපූරු නිදසුනකි. කායවර්ධන ස්ථානයක යකඩ යන්ත්‍ර මැද කුඩා බොන්සායි ගසක් වේ. කවියා බොන්සායි ගසේ ආත්මය කෙබඳු වේ දැයි පරිකල්පනය කරයි.
සුළඟකුදු කිසි නොහමන
වීදුරු කවුළුවක් අස
විසල් මව් ගසේ
මුල් අග්ගිස්සකින් ගැලවී
කුරු කළ අනත් තැවුලක්
විඳිනු වැනි ය මේ ගසත්
(ජිම් එකේ බොන්සායි – පිටුව 55)

කුටුම්භය තුල ගැහැනිය

විවාහ ජීවිතය තුල ගැහැනිය මුහුණ පාන ඛේදවාචකය බොහෝ ගැහැනුන් එළිපිට කතා නොකරන්නකි. ආගම් වලින් ශික්ෂණය කර ඇත්තේ ද, අර්ථ නිරූපණය කර ඇත්තේ ද ගැහැනිය පිරිමියා ගේ අණසක තටතේ කීකරුව එකත්පස්ව සිටිය යුතු බවයි. පිරිමියා සමස්ථ කුටුම්භය තුල ස්වකීය ආධිපත්‍යය පතුරවයි. නඳුන් මෙය සංකේතවත් කරන්නේ පිරිමියා අත සංකේතීයව තුවක්කුවක් ඇති ලෙසිනි.
තුවක්කුවක් රැගෙන
ඔහු එයි රැයේ ගෙදරට
තබා එය මේසය මත
බීගෙන බීගෙන යයි
වතුර වීදුරුවක්
පුරුදු ලෙස
ගෘහ ජීවිතය තුල ඇති කර්කෂ බව මෙන්ම ගැහැනිය බියෙන් තැති ගෙන හිඳීම වැනි කාරණා කවියාගේ සියුම් නිරීක්ෂණයන් ට හසුවේ.
ඉන්පසු ගණියි ඔහු
ඉතිරි පතුරොම් ගණන
උදේ වියදම් වුණේ කීය ද
මොකට ද?
ලියයි ආදායම් වියදම් ගිණුමක
නිදන විට මා පසෙක ඔහු
තබා ගනී කොට්ටය යට තුවක්කුව
දැනේ බියක් කුමන මොහොතක
පත්තු වේදැයි එය කාට කාට
ගැහැනිය ගේ මානසික පීඩනය කවියා පරිකල්පනය කරන ආකාරය අපූරුය.
නැගිට ඔහු පාන්දර යළී
ගණියි පතුරොම් ගණන
ලියයි ගිණුමක යළි
වැඩට යන්නට පෙරාතුව
(මගේ නිරායුධ ආලය – පිටුව 59)

කෙසේ වෙතත් “මගේ ආලයෙ ග්‍රැමෆෝන්” කාව්‍ය නිර්මාණ එකතුව නඳුන් යසිත දසනායක කවියෙකු ලෙස කාව්‍ය ලෝකය තුල සිය අනන්‍යතාව සෙමෙන් ගොඩනගා ගන්නා ආකාරයෙහි පරිණත ස්වාභාවය චිත්‍රණය කරන කාව්‍ය එකතුවකි. ඔහු තමන් අනෙකා ගෙන් යැපෙන්නේ නැති බව උස් හඬින් කියා සිටී. තමන් අනෙකෙකු නොව තමන් ම පමණක් බව තද කළු අකුරින් ලියා පෙන්වයි. එය බොහෝ පූර්වජ කවීන් සරණ යන නූතන කවීන් තනිව හදාරා තේරුම් ගතයුතු සියුම් පාඩමක් සෞන්දර්යාත්මකව කියා දීමකි.

කපිල එම්. ගමගේ

Previous articleරවී, මහේන්ද්‍රන්, පලිසේන, ඇලොසියස් අත්අඩංගුවට ගන්න උපදෙස්
Next articleහිස් විදි මධ්‍යයේ පැවති ටෝකියෝ මැරතන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here