ආයිබොවන්ඩ දිනේෂ්,

25

මේ ලියමන ලියන වෙලාව වෙනකොට අපේ බොරළුගොඩ සිංහ පෝතකයාගේ ගර්ජනාවෙන් ජිනීවාව දෙදුරම් කනවා ඒකාන්තයි. සිරිලංකාවෙ වමේ වියාපාරයේ බලකණු වන පිලිප්කුසුමා යුවළගේ වීරෝදාර පුත්තරරත්නය හැටියට වගේම වමට සිග්නල් දාලා දකුණට කැරකීමේ කලාවේ චක්කරවර්තියෙකු හැටියටත් රටේලෝකෙ ඕනෑම වේදිකාවක කස්තිරම් අල්ලන්න තමුන්නැහැට පරම පවිත්තර අයිතියක් වගේම පුළුවන්කාරකොමකුත් තියෙන බව අමුතුවෙන් කියන්න අවස්සිය නැහැ.

කඩු කස්තානත් දරාගෙන ජිනීවා සංගරාමෙට පිටත් වෙන්න කලින් ඇල්ලේ උන්නාන්සෙ වගේ රණකාමි සඟරජෙකුගෙන් ආසිරිවාද ලබාගන්ඩ අමතක නොකරපු එකත් හරීම වටිනවා ආයිබොවන්ඩ. ජිනීවා හටන් බිමේදී එල්ලවෙන ඕනම අබියෝගෙකට මවුබිම වෙනුවෙන් ෆේස්ටු ෆේස් ගේමක් දෙන්න සූජානංය කියල ඒ වෙලාවෙ තමුන්නැහැ කොරපු අබීත පොරකාසෙත් මාරයි දිනේස්. ඊළඟ ඉලැක්සොන් කැම්පේන් එකේදි මහින්ද මහා රජ්ජුරුවන්ට ඒක නියමෙට මාකට් කොරන්න ඇහැකි වෙනවා සත්තයි.

රවිනාත සෙන්පතියව කල් ඇතිවම පිටත් කොළේ කොටි හිතවාදි ඇන්ජියෝස්ලා ජිනීවා යුද බිමේ බිම් බෝම්බ කාරිය සැට් කොරලා තියේද කියලා පරික්සා කොරන්ඩ වෙන්ඩැති මයෙ හිතේ. සමරසිංහ ගොයියා වගේ ෆුල් ඔප්සන් පොරවලූත් පෙරටු කොරගෙන රණ ගෝසා නගමින් තමුන්නැහැ ආකාස යාත්තරාවට ගොඩ වෙනකොට අපේ ඇස් ගෙඩි ඉදිරියෙ මැවිල පෙනුණෙ එදා දසමහා යෝදයන් ඇතුළු ඇත්-අස් සේනා පිරිවරාගෙන විජිතපුර හටනට පිටත් වෙච්ච දුටුගැමුණු රණකාමියාගෙ තේජවන්ත රූපකායමයි කිව්වට තමුන්නැහැට කිසිම ඇස්වහක්-කටවහක් නැහැ විරුවාණෙනි.

දිනේසයන්ගෙ තේජවන්තකොම දැකල වසී වෙච්චි ගමන තව ඩිංගෙන් අහන්න උන්නු වැදගත්ම පුරස්නෙත් අමතක වෙනවා. බාගෙ වෙලාවට ඔහේට හිතෙන්න බැරි නැහැ මේක කවුරු හරි පොරොතිගාමි හතුරෙකුගෙ ඉගැන්නුනං බහකට අහන හරුපයක්ය කියල. අනේ එහෙම නරක චේතනාවක් අපේ තුන් හිතකවත් නැහැ ආයිබොවන්ඩ. බැරි වෙලාවත් මිචෙලි කොමසාරිස් නෝනා තමුන්නැහැලගෙ මහින්ද මහානායකතුමා අර බැන්කින් මූන් සෑරුත් එක්ක ඒ කාලෙ ගහපු ගිවිසුම ගැන පුරස්න කොළොත් හෙම දෙන උත්තරේ අහවල් එකක්ද කියලා අපිට ඩිංගිත්තක් තේරුං-බේරුං කොරලා දෙන්ඩ ඇහැකිද ආයිබොවන්ඩ?

ආප්ප-කෝපි සාජ්ජෙන් පස්සෙ එළියට බැහැලා ආපු මයිත්තිරි ලොක්ක කියන විදිහටනං මහානායකතුමාව විදුලි පුටුවෙන් බේරාගන්ඩ ඇහැක් උණේ දැන් මුන්නැහැලට වහකදුරු වෙලා තියෙන ඔය සහයෝගිතා ගිවිසුමෙන්ලූ. සහයෝගය අයින් කොරගත්තට යෝජනාව එහෙම්ම තියෙන හන්දා තමුන්නැහැලා මේ කොරන්නේ බොරු දේසපෙරේමයක් පෙන්නන සෙප්පඩ විජ්ජාවක්ය කියන කතාවත් දවසින් දවස ඔහෙලගෙ ආණ්ඩුව ජනප‍්‍රිය වෙනවා දකින්න බැරුව ඊරිසියාවේ පුපුරණ දේසපාලන හතුරො වපුරණ මුසාවක් වෙන්ඩැති නේද දිනේස්?

මක්කා වුණත් අපේ එකම පැතුමනං මේ දර්මදීපෙට හැමදාම හතුරුකං කොරන ඔය විදේස කුමන්තරණකාරයන්ගෙ කන්වල ඇඟිලි ගහගන්ඩ හොඳවෑයින් දෙකක් කතා කොරලා දෙදාස් පන්සීයක කීර්තිනාමෙ රැකගෙන ආවොත් බඩගින්නට පිදුරු මිටක් වුණත් කාලා රටජාතිය හා ආගම ගැන ලොකු අබිමානෙකින් හුස්මක්-කටක් ගන්ඩ අපිට ඇහැක් වෙයි දිනේස් මැතිතුමෝ.

විශ්වමිත‍්‍ර

Previous articleකොවිඩ් 19 නිසා ආගමනයට වාරණ
Next articleකටුනායකින් එන ප්‍රභූන් පවා පරික්ෂාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here