ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්නවලු

31

“මේ සමාලෝචන කණ්ඩායම් මේ ප්‍රශ්නය විවිධ කෝණ වලින් බලලා ධනාත්මක විවේචන රාශියක් ඉදිරිපත් කරලා තිබුණා. අපි ඒ එකක්වත් සෘනාත්මකව දකින්නේ නැහැ. ඒ සියල්ල ගෞරවයෙන් භාර ගන්නවා. මේ පිළිබඳ එල්ල වූ චෝදනා සියල්ල පදනම් කරගෙන අමාත්‍යාංශය විදියට අපි තීරණය කළා සමස්ත ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න. ඒක අමාත්‍යාංශයේ වගකීමක් ලෙස සැලකූවා”

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

ක්‍රීඩා විෂය බාර අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම් මේ බව කියා සිටියේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සමාලෝචන වාර්තාව වාර්තාව පිළිගනිමින්. පසුගිය දා නේපාලයේ කත්මන්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පාපැදි, කාන්තා බාස්කට්බෝල් හා වොලිබෝල් තරග පාවාදී ඇතැයි තොරතුරු හෙළිවී ඇති හෙයින් ඒ පිළිබඳ වෙනම විශේෂ පරීක්ෂණ පවත්වන ලෙස දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සමාලෝචන කමිටුවේ මෙම වාර්තාව මගින් ක්‍රීඩා ඇමැතිවරයා වෙත යෝජනා කර තිබුණි. අමාත්‍යවරයා පත්කළ මෙම විශේෂ කමිටුවේ සභාපති ලෙස ග්‍රෙගරි ගැමුණු ද සිල්වා කටයුතු කළ අතර කමිටු සාමාජිකයන් ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) එල්මෝ පෙරේරා, සමන් කුමාර ගුණවර්ධන හා දමින්ද විජේසූරිය යන අය ඇතුලත් වූහ.

ජාතික ඔලිම්පික් කමිටුව කොළඹ – දිල්ලි – කත්මණ්ඩු, කත්මණ්ඩු – දිල්ලි – කොළඹ ගුවන් ප්‍රවේශපතක් සඳහා රුපියල් 97000ක මිලගණන් ලබාදී තිබියදී එම ගුවන් ප්‍රවේශපතක් සඳහා රුපියල් 138000ක් ගෙවා මිලදී ගැනීම සම්බන්ධයෙන් ද පරික්ෂා කරන්නයි කමිටුව ඉල්ලා ඇත.

අවම තරමින් ලෝකඩ පදක්කමක් හෝ දිනා ගැනීමේ හැකියාවක් නොමැති ක්‍රීඩා 3ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 109ක් හා නිලධාරීන් 18ක් කත්මණ්ඩු යැවීමෙන් කෝටි ගණනක මුදල් අපතේ යවා ඇතැයි කමිටු වාර්තාව පෙන්වා දෙයි. ඒ සඳහා පරීක්ෂණයක් පවත්වා අදාළ වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස යෝජනා කර ඇත.

රන් පදක්කම් 3ක් පහසුවෙන්ම දිනාගත හැකිව තිබූ පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම්13වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී නොකර හිතාමතා ඉවත් කළේද යන්න සොයා බලන්නයි මේ කමිටුව සිය වාර්තාවෙන් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

කාන්තා බාස්කට්බෝල් සහ වොලිබෝල් කණ්ඩායම් පිළිබඳවද මේ වාර්තාව සිය අවධානය යොමු කර ඇත.

කෝ කෝ පිරිමි කාන්තා කණ්ඩායම් දෙකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක්, හැන්ඩ්බෝල් පිරිමි කාන්තා කණ්ඩායම් දෙකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39ක් පාපන්දු පිරිමි කාන්තා කණ්ඩායම් දෙකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් සහභාගීවීමෙන් විශාල වශයෙන් මුදල් නාස්තියක් සිදුව ඇතත් එම පිරිසෙන් රට වෙත ලැබී ඇත්තේ එක් ලෝකඩ පදක්කමක් පමණකි.

අමාත්‍යවරයා  වෙත පසුගිය 27 වෙනිදා ලද “දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සමාලෝචන වාර්තාව” ඇමැතිවරයා විසින් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බව අප කළ විමසීමකදී පැවසූ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ “ඇමතිතුමා ඉතා ඉක්මණින් මේ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත්කරයි” යනුවෙනි.

Previous articleමහින්දගේ “බඹසර යහන” අදයි
Next articleකොවිඩ් 19 නිසා ආගමනයට වාරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here