කොවිඩ් 19 අලුත්ම වාර්තා

26

මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,967 ක්. ලොව පුරා අසූ හය දහසකට වැඩි පිරිසක් අද වන විට නව කොරෝනා වෛරසයට ගොඳුරු වී තිබේ.

කොරෝනා වයිරසය පැතිරීමට එරෙහිව චීනයේ කාර්යබහුල නගර ගණනාවක් නිරෝධායනය කිරීම හේතුවෙන් එරට වායු දූෂණය පහත වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

චීනයට පසු වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ගතවූ පැය 24 තුලදී එරට අලුතින් හමු වී ඇති ආසාදිතයන් ගණන 813 ක්. දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තාවූ ඉහළම වෛරස් ආසාධිතයින් ගණන මෙයයි. මේ හේතුවෙන් සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින්නැයි දකුණු කොරියානු රජය දැනුම් දී සිටියි.

කෙසේ වෙතත් දකුණු කොරියාවත් – චීනයත් අතර චීනයට මායිම්ව පිහිටා ඇති උතුරු කොරියාව කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කළ අයුරු එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ (නිල වශයෙන්) චීනයට ආසන්න රටක් ලෙස තවදුරටත් සිය වාර්තාව රැකගැනීමට උතුරු කොරියාව සමත් වී සිටියි. එහෙත් එම රටවලට ආසන්නයෙන් පිහිටි ජපානයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව  940කට ආසන්නයි.

ඒ අතුරින් 705 දෙනකු හමු වී ඇත්තේ යොකෝහමා වරායේ නිරෝධායනය කර ඇති  ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙනි.

ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් සේවය කරන ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින් 1000 ඉක්මවන අතර  එරටින් මරණ 29 ක් වාර්තා වෙයි.

ප්‍රංශයෙන්ද වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ. 

අමෙරිකාවෙන්ද මේ වනවිට කොරෝනා අසාදිතයින් 68 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එරට පළමු මරණය වොෂින්ටන් ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා විය. ඇමෙරිකාවේ සිදුවූ දෙවැනි මරණයත් වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. එසේම නිව්යෝක් නුවරින්ද කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවෙක් වාර්තා වී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුළ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 ඉක්මවා තිබේ.

ඇමෙරිකාවට අමතරව තායිලන්තයෙන් සහ ඔස්ට්‍රේලියාවේන්ද පළමුවරට කොරෝනා මරණ වාර්තා විය.මේ අතර තවත් රටවල් හයකින් නව කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

ඒ කටාර් රාජ්‍ය, අයර්ලන්තය , ආර්මේනියාව, ලක්සර්ම්බර්ග්, ඉක්වදෝරය සහ  අසර්බයිජානය යන රටවලින්.

චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට ඉරානයෙන් වාර්තා වී තිබේ. ඉරානයේ පුද්ගලයින් 210 ක් කොරෝනා හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි.

මේ අතර ඉරානයේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට සායනයක් පවත්වාගෙන ස්ථානයකට කිසියම් පිරිසක් ගිනිතබා ඇති බවට ආන්දෝලනාත්මක පුවතක් තහවුරු නොකළ විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනත් නගරයක ආසාදිතයින් එහි නිරෝධායනය කර ඇති බවට පැවති  විශ්වාසයක් මත එම ගිනි තැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පැතිරීමේ ගෝලීය අවදානම මේ වන විට උපරිම මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

Previous articleමැතිවරණයට පෙර ත්‍රස්ත ප්‍රහාරය වරනැඟෙන හැටි !
Next articleපෑවිල්ල මාර්තු අග වෙනකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here