දිල්ලිය ගිනි තිබ්බේ පුරවැසි පනත ද?

11

  නව නීතිය මුස්ලිම් ජනතාව කොන් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බව විවේචකයෝ පවසති. එබැවින්, එමඟින් ඉන්දියානු ව්‍යවස්ථාවේ අනාගමික තත්ත්වය උල්ලංඝනය වන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

අරවින්ද් කෙජ්රිවාල් දිල්ලියේ මහ ඇමති වී සති කිහිපයක් ගතවන්නටත් මත්තෙන් දිල්ලියේ ම මුස්ලිම් බහුතරයක් ජීවත්වන ඊසානදිග දිල්ලි ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ගැටුම් ආරම්භ වී තිබේ. ප්‍රචණ්ඩකාරී කල්ලියක් විසින් දියත් කරනු ලැබූ ප්‍රහාර හේතුවෙන් දිල්ලියේ නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර, මුස්ලිම් නිවාස සහ කඩසාප්පු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර ආරම්භ විය. පසුව එය වඩාත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට වර්ධනය වී මේ වනවිට විසි දෙනකු මරණයට පත් වී ඇති අතර, දශක කිහිපයකට පසු දිල්ලි නුවරින් වාර්තා වූ දරුණුතම කලහකාරී තත්ත්වය මෙය බවට පත් වී ඇත.

ගැටුමේ ආරම්භය වූයේ මතභේදයට ලක් වූ නව පුරවැසි පනතට විරෝධය දක්වන පිරිස් ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රහාර සමඟ ය. මෙම ප්‍රහාරවලට පුරවැසි පනතට සහාය දක්වන පිරිස් එක්ව සිටි අතර, පළමු ප්‍රහාරය සිදුවූයේ පසුගිය 23 වන දා ය. ක්‍රමයෙන් ගැටුම් වර්ධනය වූ අතර පොලු සහ යකඩ කූරු අතැති කල්ලි විසින් නිරායුධ පුද්ගලයන්ට පහරදෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ පළ වී තිබිණි. වාර්තාකරුවන් ද පහරකෑමට ලක් වන ආකාරය කැමරාගත වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම ප්‍රශ්නගත පුරවැසි සංශෝධන පනත නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ආණ්ඩුව විසින් හඳුන්වා දුන් අතර, 2024දී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයට පෙර එම පනත ක්‍රියාත්මක කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ. එම පනතට අනුව ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන කලාපයේ ප්‍රධානම මුස්ලිම් රටවල් තුනේ සිට අනවසරයෙන් ඉන්දියාවට පැමිණි මුස්ලිම් නොවන ජනයාට පමණක් ඉන්දීය පුරවැසියන් බවට පත් වීමට අවස්ථාව සැලසෙන අතර, එසේ පැමිණි මුස්ලිම් ජනතාවට ඒ අනුව තවදුරටත් ඉන්දියාව තුළ රැඳී සිටීමට පවා අවස්ථාව අහිමි වී යයි.

මෝදිගේ නායකත්වයෙන් යුතු ඉන්දියානු ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ, ආගමික හේතූන් මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම නව නීතියේ අරමුණ බව ය. එහෙත්, නව නීතිය මුස්ලිම් ජනතාව කොන් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බව විවේචකයෝ පවසති. එබැවින්, එමඟින් ඉන්දියානු ව්‍යවස්ථාවේ අනාගමික තත්ත්වය උල්ලංඝනය වන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

මෙම පුරවැසි පනතට විරෝධය දැක් වූ ප්‍රධාන කණ්ඩායම් දෙකක් වන අතර, මේ වන විට දිල්ලියේ මහ ඇමති වශයෙන් පත් වී සිටින අරවින්ද් කෙජ්රිවාල් ප්‍රමුඛ ‘ආම් ආද්මි’ පක්ෂය එහි ප්‍රබල කණ්ඩායමක් විය. එහෙත්, පසුගිය ප්‍රාන්ත මැතිවරණයේ දී මෝදිගේ කණ්ඩායම පරාජයට පත් කරමින් කෙජ්රිවාල් බලයට ගෙන ඒමට ප්‍රධාන හේතුව වී තිබුණේ, ඔහුගේ පුරවැසි පනතට තිබූ විරෝධය නොව ඔහු සහ ඔහුගේ පක්ෂය විසින් දියත් කරනු ලැබූ සුබසාධන කටයුතු බව මැතිවරණයෙන් පසු දිල්ලියේ ජනතාව තුළ පොදුවේ තිබූ අදහසකි.

එවැනි තත්ත්වයක් තුළ දිල්ලියේ වර්ගවාදී ගැටුම් ආරම්භ වීම හුදු අහම්බයක් විය නොහැකි ය. එක් පසෙකින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉන්දියා සංචාරය සිදු වූයේ පසුගිය 24 සහ 25 යන දෙදින තුළ ය. ගැටුම් ආරම්භ වන්නේ 23 වන දින ය. ඉන්දියා ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, පුරවැසි පනතට සහයෝගය දක්වන්නන් ඉන්දීය ආණ්ඩුව අපහසුතාවට ලක් කිරීමේ අරමුණින් මෙම ගැටුම් ආරම්භ කළ බවයි. එහෙත්, ප්‍රහාර දියත් කරනු ලැබූයේ පුරවැසි පනතට සහයෝගය දක්වන්නන් විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, අගමැති මෝදි විසින් මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරනු ලබන්නේ, ප්‍රහාර ආරම්භ වී දින තුනක් ගත වීමෙන් පසුව පසුගිය 26 වන දින ය. ‘ට්විටර්’ පණිවිඩයක් ඔස්සේ ඔහු ප්‍රකාශ කරන්නේ, සාමකාමීව හැසිරෙන ලෙස සහ ගැටුම් ඇති වී තිබෙන ප්‍රදේශවල තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් කරන බව ය.

මෙම ප්‍රහාරවලින් හින්දු සහ මුස්ලිම් දෙපිරිසේම පුද්ගලයන් මරණයට පත්ව සහ තුවාළ ලබා ඇත. රෝහල්ගතව සිටින පිරිස පමණක් 189කි.

කෙසේ වෙතත්, තුවාළ ලැබූවන් සහ මිය ගිය පුද්ගලයන් අතර වෙඩි ප්‍රහාරයන්ට ලක් වූවන් ද සිටීම විසින් මේ ගැටුම් යම් සැලැසුමක කොටසක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසතිග

 චතුර දිසානායක

Previous articleශ්‍රී ලංකා කාන්තාවොත් දිනුම්
Next articleමැතිවරණයට පෙර ත්‍රස්ත ප්‍රහාරය වරනැඟෙන හැටි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here