PickMe Food දේශීය ආපනශාලාවලට අත්වැලක්

13

PickMe Food ආහාරපාන ගෙනැවිත් භාරදීමේ සේවාව (Food delivery service) මේ වන විට අතිශයින් ජනප්‍රිය වී ඇත. දේශීය සේවාවක් වන PickMe Food මගින් ආපන ශාලාවලින් ආහාරපාන ඇණවුම් කිරීම ඉතාමත් පහසුවීම සහ ඒවා ඉක්මනින් තමන් වෙතටම ගෙනැවිත් භාරදෙනු ලැබීම නිසා කොළඹ මෙන්ම මහරගම, කොට්ටාව, හෝමාගම, මීගමුව සහ මහනුවර යන නගරවල පාරිභෝගිකයන් අතර එය ප්‍රමුඛතම තේරීමක් බවට පත්වී තිබේ.

මහනුවර සුප්‍රකට Burgers Vs Shawarma ආපන ශාලාවේ හිමිකරු වන මොහොමඞ් ෂහීඞ් මොහොමඞ් අසාද් මහතා එසේ PickMe Food සේවාව සමගම එක්වී ජීවිතය ජයගත් ව්‍යවසායකයෙකි.

මොහොමඩ් අසාද්

යොවුන් වියේදීම ආහාරපාන කර්මාන්තයට සම්බන්ධ වූ අසාද් මහතා නුවරඑළිය Milano Restaurant සහ මහනුවර Foodland’s යන ආපනශාලාවල දීර්ඝ කාලයක් සේවය කළේය. වසර ගණනක අත්දැකීම් සමගින් ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයෙන් යුත් ප්‍රණීත ආහාර ලබාදීමට දැක්වූ උනන්දුව හා කැපවීම නිසා ඔහුට විදේශ රටවල සේවය කිරීමටද අවස්ථාව උදා විය. ඒ අනුව ඔහු සෞදි අරාබිය (Chillies), එක්සත් රාජධානිය (Amal Shawarma) සහ සිංගප්පූරුව යන රටවල සේවය කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඔහු මහනුවර ප්‍රදේශයේම ආපන ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කළේය. නිවස ආසන්නයේ කුඩා ස්ථානයක් කුලියට ගෙන ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය බොහෝ දුරට විවෘතව තිබුණේ රාත්‍රී කාලවලදී ය. අවුරුදු 3ක් තිස්සේ ඔහු බලාපොරොත්තු වූ  තරම් දියුණුවක් නොලැබුණු අතර, පසුකාලීනව ඔහු දැනට ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයද කුලියට ගෙන ව්‍යාපාරය දියුණු කරගැනීමට උත්සාහ කළේය. ඔහුගේ ව්‍යාපාරික ගමන්මඟ වෙනස් වූයේ PickMe Food සේවාව පිළිබඳව දැනගැනීමෙනි.

PickMe Food සමග සම්බන්ධ වීමත් සමග අසාද් මහතාට කෙටි කාලයක් තුළ තම ව්‍යාපාරය වර්ධනය කරගැනීමටත්, ඉක්මනින් ලාභ ලැබීමටත් හැකියාව ලැබිණි. මේ දියුණුව නිසා ඔහු අලුතින් සේවකයන්ද බඳවාගෙන, සපයන ආහාර වර්ග ප්‍රමාණය වැඩි කළ අතර, ආපන ශාලාව වැඩි වේලාවක් විවෘතව තැබීමටද පියවර ගත්තේය. PickMe Food සේවාව නිසා පාරිභෝගිකයන්ට එම ආපන ශාලාවේ ආහාර ඉක්මනින්, නැවුම්ව තමන් වෙතටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබිණි.

“PickMe Food සමග සම්බන්ධ වීමත් සමග මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මාස 3ක් ඇතුළත මට එතෙක් පැවති ණය බරින් නිදහස් වීමටත්, වඩාත් පහසුවෙන් කඩ කුලිය ගෙවීමටත් හැකි වූවා. මේ ආදායමෙන්  මට පවුලේ සියලු දෙනා වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමටත්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටත් පුළුවන්. PickMe Food සේවාව මඟින් ඉතාම කාර්යක්ෂම ආකාරයට ආහාරපාන බෙදාහැරීම සිදු වන නිසා තරමක් දුර සිටින පාරිභෝගිකයන්ට වුවත්, කෙටි කාලයක් තුළ ආහාරපාන ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.” අසාද් මහතා පැවසීය.

මේ වන විට PickMe Food මඟින් ඔහුගේ ආපන ශාලාවේ ආහාරපාන කටුගස්තොට, කුණ්ඩසාලේ සහ පිළිමතලාව (මෙම ප්‍රදේශ පිහිටා ඇත්තේ ඔහුගේ ආපනශාලාවේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරකිනි) යන ප්‍රදේශවලට පවා ගෙනගොස් භාර දීම සිදු කරයි. ළඟදීම නව බර්ගර්, පලතුරු බීම සහ අතුරුපස වර්ගද හඳුන්වා දීම අසාද් මහතාගේ සැලසුම වී තිබේ. ‘Burgers Vs Shawarma’ ආපන ශාලාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන් වෙතින්ද පළවන්නේ දැඩි ප්‍රසාදයකි. ලැබෙන ආහාර ප්‍රමාණය සැබැවින්ම ප්‍රමාණවත් බවත්, මිල ගණන් සාධාරණ බවත් ඔවුන්ගේ අදහසයි.

“PickMe Food සේවාව ඔස්සේ පසුගිය කාලයේ මා ලැබූ සාර්ථකත්වය නිසා මට දැන් ඉක්මනින්ම තවත් ආපන ශාලාවක් විවෘත කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මටත්, මගේ පවුලේ අයටත්, ව්‍යාපාරයටත් මේ ආකාරයට ඉමහත් යහපතක් සිදු කිරීම සම්බන්ධයෙන් මා PickMe Food සේවාවට බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි.” අසාද් මහතා වැඩිදුරටත් පැවසීය.

කවර මට්ටමේ පවතින ආපන ශාලාවක් වුවද PickMe Food සේවාව සම්බන්ධ වීමෙන් පැහැදිලි දියුණුවක් අත්පත් කරගත හැකි බව අසාද් මහතාගේ අදහස වේ. ඒ නිසා  ඔහු තම මිතුරන්ටත් එම සේවාව හා සම්බන්ධ වන ලෙස නිර්දේශ කරයි.

PickMe Food සේවාව මහනුවර ප්‍රදේශයේ දියත් කරනු ලැබූ විට එම සේවාව හා සම්බන්ධ වූ මුල්ම ආපන ශාලා අතර ‘Burgers Vs Shawarma’ ආපන ශාලාවද අයත් විය. එහි ක්‍රිස්පි චිකන් සබ්මැරීන්, කෙබාබ්, ෂවර්මා, බිරියානි සහ කොත්තු වැනි ආහාර පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රියය.

උසස් තත්ත්වයෙන් යුත් ප්‍රණීත ආහාර පිළියෙළ කරන නමුත් ඒවා සඳහා පාරිභෝගිකයන් සොයාගැනීමට දුෂ්කර වන ආපනශාලා ඇතුළුව ආහාරපාන ක්ෂේත්‍රයේ නියුතු කාටත් PickMe Food සේවාව කදිම විසඳුමකි. PickMe Food යනු ආහාරපාන ගෙනැවිත් භාරදීමේ සේවාවක් පමණක් නොව පුළුල් හා ශක්තිමත් තාක්ෂණික පදනමක් වන නිසාත්, එමඟින් වෙළෙඳුන්ට ප්‍රචාරණ හා ප්‍රවර්ධන සහාය, තීරණ ගැනීමේදී වැදගත් වන දත්ත, කාලීන උපදෙස් සහ සෘජු පාරිභෝගික සේවා සහාය ආදිය සපයන නිසාත්, ආහාරපාන ක්ෂේත්‍රය තුළ ස්ථාවර හා සුරක්ෂිත ආදායම් ලැබීමේ ක්‍රමයක් ලෙසත් PickMe Food  සේවාව ඉදිරියෙන්ම සිටී.

සුධීර ඉද්දමල්ගොඩ

Previous articleවිනී හෙට්ටිගොඩ ගේ ‘හෝල්ට්’ ‘ලංකා’ 2020-03-01
Next articleශ්‍රී ලංකා කාන්තාවොත් දිනුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here