ආදරේ උණුසුම් සොරොව් දොර හැරී මා ඔබේ කෙඳිරියේ දියවෙනු දැනේ

39

කඳු එක්ක පෙමින් බැඳෙන මිනිස්සු දුර ඈත මීදුමත් එක්ක වෙලෙන , විටෙක නො පෙනී යන, විටෙක මීදුම ලිහලා නග්න වෙන කඳු මුදුන් කෙරේ අනුරාගික ප්‍රේමයක් දක්වනව. රැයේ දි දහවලේ දි පෙනුනත් නො පෙනුනත් ඒ තුංග ගිරි ශිඛර සියොළඟත් මනසත් කළම්බනව. ඒ ස්පර්ශ කළ නො හෙන චිත්ත සංතාපය සහ සංත්‍රාසය වගේ ම නිවීමත්, නිම්නයක් මැදින් ගලන නදියක් වගේ ජීවිතය තෙමා ගෙන, පාරගෙන නැවතුමක් මුණ ගැහුණත් නැතත් ගලා ගෙන යනව.

තමන්ට කොහොමටවත් ළං වෙන්න බැරි වැඩුණු ගැහැනියක් කෙරෙහි අනුරාගයෙන් බැඳෙන නව යෞවනයෙක් මුහුණ දෙන්නෙත් එහෙම දේකට. Giuseppe Tornatore ගෙ ප්‍රසිද්ධ මලීනා චිත්‍රපටය (2000) ගෙතෙන්නෙ එහෙම චරිත දෙකක් වටා.

ඊයෙ අහම්බෙන් මලීනා ගැන කියවෙන ගීතයක් අහන්න ලැබෙනවා. ඒ මලීනා සිසිලි දූපත්වලින් ඔබ්බට උල් සපත්තු සහිත සිහින් පාද තියල හිත ඇතුළෙ ඇවිදින්න ගන්නව. ඒ පා හඬ කොයි තරම් ප්‍රබලද කියනව නම් ගීතය නැවත නැවත අහන්න ඕනෙ වෙනව.

චිත්‍රපටි කතාව අමතක කරත් ඕනෑ ම මනුෂ්‍ය ප්‍රාණියෙකු තුළ ඇති විය හැකි ප්‍රචණ්ඩ රළ පහරක් වැනි අසීමිත අනුරාගය , අහසට නැගෙන්න නො දී මුහුදට උරා ගන්න තැත් කරන විට ඇති වෙන නොහිම් පීඩනය, තමන්ට අනෙකා මෙන් ම තමන් ද අහිමි වීමේ විරහව, ප්‍රේමයේ අපරිමිත සෞන්දර්යය යන සියල්ල මේ වචන ඇතුළෙ විවිධ ළයවලින් කැරළි ගහනව. නිවෙනව. ඇවිළෙනව.
සර පුවරුවේ නො වැයූ ස්වරය කෙරෙහි ම ඇති වෙන ගැඹුරුතර ආශාව නො වින්දා වූ මී මකරන්දය වෙලා ඇද හැලෙනව.

වචනවලට රූප මවන්න, ශබ්ද නඟන්න, ස්පර්ශය දනවන්න පුලුවන් කියල පේළි හත අටක භාෂාමය පෙළහරකින් රවී සිරිවර්ධන සහතික කරනව.

අහිමි සරාගයේ පතුළ විනි විදගෙන විරහවේ කළු කුහරයක් බඳු අගක් මුලක් නැති අවකාශයට ඇද වැටෙන කොට ඇතිවෙන හැඟීම, හුදු අනුරාගය ඉක්මවා ගිය දැඩිතර ළසෝඝයක් බඳු ව කුළු ගන්වන්න අමරසිරි පීරිස් ගේ හඬ සහ මහේෂ් විතානගෙ සංගීතය උපකාරී වෙනව. ඒත් ‘මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා’ කියල ප්‍රේමකීර්ති ලියපු වියෝගයේ ඉන්ද්‍රජාලික වචනවල, අඩ ස්වරයන් පවා වෙව්ලුවා හරිමින් අපේ ස්නායු විනිවිද්ද තරුණ විකටර් රත්නායකගෙ හඬ එතනට තියල බලන්න මට තණ්හාධික ආශාවක් පහළ වෙනව. කසුන් කල්හාර තමන්ට අනන්‍ය වූ මන්ද්‍ර හද ස්වරයෙන් මෙය ගැයුවොත් කොහොමද කියල හිතේ තැනකින් අහනව. ඒත් ඒ කිසිවකින් මේ වේදනාත්මක වින්දනයට බාධා වෙන්නෙ නෑ.

භාෂාව ඉක්මවා යන්න පුලුවන් නැවත භාෂාවට ම විතරයිද කියල හිතෙන තරමට මේ රිදුම් දෙන කවියෙ රහස් අපි ඇතුළෙ පිපිරුමක් වෙලා දිග හැරෙනව. ආයෙත්, ආයෙ ආයෙත් රවී සිරිවර්ධනගෙ පරිස්සම් සහගත වචනවල ග්ලැසියරමය ගින්න මාව කම්පනය කරනව. සරාගය සහ වියෝගය මේ සා එකවර දනවපු අතළොස්සක් ගීත අතරෙ මලීනා නුරාවත් ස්නේහයත් වෑහෙන නො නවතින රස ඌලක් වෙලා, ගලනව.
ගැයෙනව.වැයෙනව.

මලීනා …. මලීනා …
නුඹ මහද මහ පිපිරුමක්
හැඟුම් දඩයම් කරන නෙත් හී සරේ
රිදුම් දෙන කවියක රහස් දිග හැරේ
නුඹයි සර පුවරුවේ නොදුටුව ස්වරේ

කවි ගලා එන නුඹේ නෙත් නිම්නයේ
දිය වෙලා යන්නට හිතයි ප්‍රේමියේ
නුඹෙන් උණුසුම් වන හැඟුම් තුසිතයේ
නොවිඳි මී මකරන්ද වැහි ඇද හැලේ

දෑස පැටලෙයි නුඹේ වීණා බඳේ
දෑත නළියයි රාග නූ සර දිගේ
ආදරේ උණුසුම් සොරොව් දොර හැරී
මා ඔබේ කෙඳිරියේ දියවෙනු දැනේ

ගී පද – රවී සිරිවර්ධන
ගැයුම – අමරසිරි පීරිස්
සංගීතය – මහේෂ් විතාන

කල්පනා ඇම්බ්‍රෝස් (fb)

Previous articleආණ්ඩුව විශ්‍රාම වැටුප මංකොල්ල කන්න හදනවා
Next articleඅංජන ඉන්ද්‍රජිත් කාටුන් ‘ලංකා’ 2020-03-02

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here