ආණ්ඩුව විශ්‍රාම වැටුප මංකොල්ල කන්න හදනවා

14

විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

මහින්ද ජයසිංහ

ආණ්ඩුවක් ඔහොම රාජ්‍යතාන්ත්‍රික බොරු කියනවද? කාවද මෙහෙම රවට්ටන්නේ. කොහොමද මෙහෙම වගකීමක් නැතුව ආණ්ඩුවක් චක්‍රලේඛ නිකුත් කරලා ඒවා බොරුයි කියන්නේ. ආණ්ඩුව මේ හදන්නේ චක්‍රලේඛ හරහා විශ්‍රාම වැටුප මංකොල්ල කන්න.

 ■ ආණ්ඩුවට දින සියයක් පිරෙන මොහොතක ඔබ අලුතින් අරගලයක් පටන් ගත්තා?

නැහැ, එහෙම නෙමෙයි. මේ ආණ්ඩුව බලයට එද්දී මේ රටේ 120,000 ක් පමණ වන විශ්‍රාමිකයන්ට පොරොන්දුවක් දුන්නා. ඒ තමයි 2020.01.20 දිනැතිව නිකුත් කළ චක්‍රලේඛය. ඔබ ඔය කියන අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 35/2019 (1) දරන චක්‍රලේඛයෙන් ජනවාරි 20 එකඟ වුණා විශ්‍රාමික රජයේ සේවකයන්ට වැටුප් සහ දීමනා ගැන. එහෙම කිව්ව ආණ්ඩුව දැන් ඒ චක්‍රලේඛය ඉවතදාලා. මුලින් කිව්ව චක්‍රලේඛයේ බොහෝම නිරවුල්ව සඳහන් කරලා තිබුණා විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉහළ දානවා කියන කාරණය. ඒක බොහෝම පැහැදිලි නිත්‍යානුකූල සඳහනක්.

ඔබ කියන්නේ 3/2016 කියන චක්‍රලේඛය ගැන නෙමෙයි නේද?

නැහැ, ඔබ කියන චක්‍ර ලේඛයෙන් තමයි මේ කාරණය පැහැදිලි කරන්නේ. ඒ චක්‍ර ලේඛයෙන් තමයි රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහන් වෙන්නේ. ඊට පස්සේ විශ්‍රාමිකයන්ගේ වැටුපට එල්ලා තිබූ රු.10000/=ක දීමනාවත්, වැටුපෙන් 20%ක් ලෙස වන දීමනාවත් යන දීමනා දෙක මූලික වැටුපට එකතු කරන්න තමයි 3/2016 දරන චක්‍රලේඛය නිකුත් කළේ. ඒක අදියර පහකින් වසර පහක් තුළ කරන්න තමයි ඒ චක්‍ර ලේඛය නිකුත් කළේ.

ඔබ ඔය ප්‍රශ්න කරන 3/2016 කියන චක්‍රලේඛයේ පස්වන වගන්තියේ ඒ බව සඳහන් වෙනවා. මේ චක්‍ර ලේඛය 2016 ජනවාරි පළවෙනිදායින් පස්සේ විශ්‍රාම යන සියල්ලන්ටම අදාළයි. ඒ අනුව ඔවුන්ගේ වැටුප් වැඩිවිය යුතුයි.

ඔය චක්‍ර ලේඛයේ මේ වැටුප් වැඩිවීම් 2020/01/01 දින සිට ක්‍රියාත්මක වියයුතු බවට පැහැදිලිව සඳහන් වෙනවා. ඉන් පස්සේ 2019.12.10 දින 35/2019 කියන චක්‍රලේඛය නිකුත් කරනවා. එකේදී සඳහන් වෙනවා ඔය කියන වැටුප් වැඩිවීම් 2020/01/01 දින සිට ගෙවන බව. මේ චක්‍ර ලේඛයේ තුන්වන ඡේදයේ සඳහන් වෙනවා මේ චක්‍රලේඛය නිකුත් වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ එකඟතාව මත බව කියලා.

ඔය කියන කාරණය පිළිබඳවම නේද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්නේ?

හරියට හරි, අනුර සහෝදරයා පසුගිය ජනවාරි 23 තමයි ඔබ ඔය කියන ප්‍රශ්න කිරීම කරන්නේ. මොකක්ද එදා ආණ්ඩුව දුන්න උත්තරය. ආණ්ඩුව වෙනුවෙන් මහින්ද සමරසිංහ මහත්තයා කියනවා මේ වෙනුවෙන් ආණ්ඩුව මුදල් වෙන් කරලා නැහැ කියලා.

ඔහු කියනවා මේ සියල්ල දෙන්න පරිපූරක ඇස්තමේන්තුවකින් මුදල් වෙන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ඇත්තනේ?

නැහැ; එක අමූලික බොරුවක්. ඔහු පාර්ලිමේන්තුවත්, මේ රටේ විශ්‍රාමිකයනුත්, සමස්ත රාජ්‍ය සේවකයාත් රවටන විදිහ තමයි ඔය. මම ඔබට මීට කලින් සඳහන් කළේ 2019.12.10 දින 35/2019 කියන චක්‍රලේඛයේ තුන්වන ඡේදයේ සඳහනක් ගැන. මුදල් අමාත්‍යාංශයේ එකඟතාවයක් තිබුණා කියන කතාව බොරුවක්ද? ආණ්ඩුවක් ඔහොම රාජතාන්ත්‍රික බොරු කියනවද? කාවද මෙහෙම රවට්ටන්නේ. කොහොමද මෙහෙම වගකීමක් නැතුව ආණ්ඩුවක් චක්‍රලේඛ නිකුත් කරලා ඒවා බොරුයි කියන්නේ. ආණ්ඩුව මේ හදන්නේ චක්‍රලේඛ හරහා විශ්‍රාමික වැටුප මංකොල්ල කන්න.

35/2019/1 කියන අලුත් චක්‍රලේඛයක් ඔය කාරණය වෙනුවෙන්ම ආණ්ඩුව නිකුත් කරනවා නේද?

ඔව්; එකක් ගිය අවුරුද්දේ දෙසැම්බර් 10 නිකුත් කරනවා. ඒක තමයි 35/2019. දෙවැනි එක ඔබ දැන් අහන 35/2019/1 කියන ඊළඟ චක්‍ර ලේඛය. එක නිකුත් කරන්නේ මේ ජනවාරි 20 වෙනිදා. මාසයක් ඇතුළත දෙකයි. මොකක්ද එකේ සඳහන් වෙන්නේ.

“නව රජයේ ප්‍රතිපත්තීන්ට අනුව සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ඉදිරි අයවැයවලදී විසඳෙන තෙක් 35/2019 චක්‍රලේඛය අත්හිටුවීමට 2020.01.02 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත”.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඔහුගේ අලුත් කියන ආණ්ඩුවේ කැබිනට් එක එහෙම ගන්නේ මේ රටේ 120,000 ක් පමණ වන විශ්‍රාමිකයන්ගේ අයිතිය. ඉතින් ඔබ කියන්නේ තමන්ගේ අයිතිය අහිමි කරන කොට, තමන්ගේ අයිතිය එක එක පාරට නිකුත් කරන චක්‍ර ලේඛ වලින් පටලවන කොට ජීවිත කාලය පුරා වැඩ කරපු මිනිස්සුන්ට අත කට බැඳගෙන නිශ්ශබ්දව ඉන්න කියලද? මේක වරප්‍රසාදයක් හෝ ආණ්ඩුවේ උදවිය තමන්ගේ ගෙවල් වලින් ගෙනත් දෙන තෑග්ගක් නෙමෙයිනේ. මේක මේ මිනිස්සුන්ගේ ශ්‍රමයේ අයිතිය.

ඔබ මේ කියන විශ්‍රාමික අයිතිය වෙනුවෙන් තවදුරටත් ‘විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය’ ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද?

අපි ආණ්ඩුවේ මේ ලැජ්ජා නැති ක්‍රියා මාර්ග යට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග රටපුරා දියත් කිරීමට කටයුතු කරනවා. පෙබ. 20 ගම්පහ දුම්රියපොළ ඉදිරිපිටත්, පෙබ. 24 තංගල්ලේදීත් වශයෙන් ඉදිරි සති 2 තුළ රටපුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. ආණ්ඩුව අහෝසි කරන්න හදන මෙම අහිමි කිරීමට එරෙහිව අපි කළ කිසිවකට මේ සඳහා ආණ්ඩුවෙන් කිසිදු ලිඛිත ප්‍රතිචාරයක් නැහැ. විවිධ කමිටු පත්කරමින් මේක මගහැරල යන්න ආණ්ඩුව කටයුතු කරන්න හදනවා. එක ආණ්ඩුවේ හැටි. ආණ්ඩුවේ ඇමතිවරු බොරු පොරොන්දු දෙමින් හැම දෙයකටම කරන රැවටිල්ලට අපි විශ්‍රමිකයන්ව හසු කරගන්න දෙන්නේ නැහැ. විශ්‍රාමිකයන්ට හිමි මේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් අපි අනවරත අරගලයක් දියත් කරනවා. ඒක අවසන් වෙන්නේ ජයග්‍රහණයෙන් විතරයි.

 සංවාදය: සිසිර යාපා

Previous articleමැටිල්ඩාගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයි
Next articleආදරේ උණුසුම් සොරොව් දොර හැරී මා ඔබේ කෙඳිරියේ දියවෙනු දැනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here