මැටිල්ඩාගේ ඔලිම්පික් සිහිනය බොඳවෙයි

16

ජර්මනිය කේන්ද්‍ර කර ගනිමින් තරගවලට සහභාගි වන මැටිල්ඩා කාර්ල්සන් ‘Longines Global Champions Tour’ හි නිත්‍ය තරගකාරියක වන අතර, ‘Global Champions League (GCL)’ හි සාමාජිකාවක ද වේ.

 මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා මුල් ම ශ්‍රී ලාංකික නියෝජනය ලෙස ඔලිම්පික් වරම දිනා ගැනීමට මැටිල්ඩා කාර්ල්සන් පසුගිය ජනවාරි මාසයේ දී සමත් වූවා ය. අශ්වාරෝහක ඉසවු සඳහා සහභාගි වීමට නියමිත ඈ ශ්‍රී ලාංකික බලාපොරොත්තු අතර ඉහළින්ම සිටින ක්‍රීඩිකාවයි.

International Federation for Equestrian Sports (FEI) විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයත් සමඟ ඇයගේ මෙම ඔලිම්පික් සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමකට පත් විය. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කර සිටියේ, පසුගිය වසරේ දෙසැම්බර් මස ප්‍රංශයේ තරග ක්‍රීඩක වර්ගීකරණයෙන් මැටිල්ඩා ඉවත් කර ඇති බවයි. ඔවුන් පෙර මෙම තරග අනුමත කර තිබුණත්, පසුව එය වැරදීමකින් සිදු වූවක් ලෙස සඳහන් කර තිබේ.

ප්‍රංශයේ ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් මෙම තරග ඉසවු සඳහා අනුමැතිය ලබා ගැනීමට එෆ්.ඊ.අයි. (FEI) වෙත යොමු කර තිබූ අතර, එය වැරදීමකින් අනුමත වී ඇතැයි පසුගිය දා අන්තර් ජාතික අශ්වාරෝහක සම්මේලනය විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම ඉසවු සඳහා ඔලිම්පික් සුදුස්සන් තෝරා ගැනීමේ දී එක් එක් කලාපයේ ක්‍රීඩක වර්ගීකරණය අනුව තෝරා ගැනීම් සිදු කරනු ලබයි. එහි දී ශ්‍රී ලංකාව අයිති කලාපයෙන් මුල් ස්ථාන දෙකෙහි සිටින ක්‍රීඩකයන් ඔලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබා ගනී. දෙසැම්බර් මස ප්‍රංශයේ පැවැති තරගවල දී දැක් වූ දක්ෂතා අනුව මුළුප්‍රසාද ලකුණු 350ක් දක්වා වැඩි කරගනිමින් මැටිල්ඩා මෙම කලාපයේ දෙවන තැන දිනා ගන්නට සමත් වූවා ය.

සම්මේලනයේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟම ඇයට එම තරගාවලියෙන් හිමි වූ ප්‍රසාද ලකුණු අහිමි වී යන අතර, ඒ හේතුවෙන් මේ වන විට ඇයගේ ඔලිම්පික් වරම් ද අහිමි වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මැටිල්ඩා කාර්ල්සන් ප්‍රකාශ කර සිටියේ, මෙය තමාගේ වරදක් නොවන බවත්, මෙයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් ය.

“මම මෙම තීරණය සම්බන්ධයෙන් Court of Arbitration for Sports (CAS) හි සටන් කරන්න සූදානම්. මම දන්නවා මගේ අතින් කිසිම වරදක් සිදු වෙලා නෑ. සම්මේලනයේ මෙම මාධ්‍ය නිවේදනය මඟින් පෙන්නුම් කෙරෙන්නේ, මෙය ඔවුන් අතින් සිදු වූ වරදක් මිස ධාවකයෙක් වශයෙන් මාගෙන් සිදු වූ වරදක් නොවන බව යැ”යි ඇය විසින් අදහස් දක්වා තිබිණි.

මැටිල්ඩා පෙර පැවසූ ආකාරයට ඇය පෙර වසරේ අගෝස්තු මස දක්වා කලාපයේ දෙවැනි තැන සිට ඇති අතර, තම අශ්වයාට ඇති වූ ආබාධයක් නිසාවෙන් ඇයට මාස තුනක් පිටියෙන් ඉවත් වීමට සිදු වී ඇත.

ජර්මනිය කේන්ද්‍ර කර ගනිමින් තරගවලට සහභාගි වන මැටිල්ඩා කාර්ල්සන් ‘Longines Global Champions Tour’ හි නිත්‍ය තරගකාරියක වන අතර, ‘zGlobal Champions League (GCL)’ හි සාමාජිකාවක ද වේ. ලොව පුරා සංචාරය කරමින් තරග වදින ඇය 2018 වර්ෂයේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමේ ප්‍රබල බලාපොරොත්තුවෙනි.

නිර්වාණ අනුත්තර

Previous articleවිස්සයි විස්ස සංචිතය නම් කරයි
Next articleආණ්ඩුව විශ්‍රාම වැටුප මංකොල්ල කන්න හදනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here