භාව ප්‍රකාශනයේ රන්සළුව අනුලා

17

අනුලාට ඇත්තේ අතිශය හැඟීම්බර මුහුණකි. අතිශය සොම්නස්සහගත අවස්ථාවල දී ඇගේ දෙතොල මත නැඟෙන සිනහව සමඟ ඇගේ දෑස සොම්නසින් දිදුලයි. දෙකොපොල ලෙයින් පිරී ඒ ඔස්සේ ද සොම්නස උතුරා ගලනු පෙනේ. කරුණාබර අවස්ථාවල දී ඇගේ මුහුණේ ඇඳෙන දයාර්ද්‍ර බව තවුස්දම් වඩන්නියක සිහිපත් කරවයි.

 ගාමිණී ෆොන්සේකා, පුණ්‍යා හීන්දෙනිය, ටෝනි රණසිංහ වැනි ලාංකේය සිනමාවේ විශිෂ්ටතම රංගවේදීන් සහ රංගවේදිනියන්ට අතුපතර විහිදුවමින් ස්වකීය රංග කුසලතා අවදි කරගන්නට මඟපෑදු මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුලා කරුණාතිලක බිහිකිරීමෙහි ලා ද සුවිශේෂ මෙහෙවරක් ඉටු කළේ ය.

ලෙස්ටර් ඒ සඳහා දායක වන්නේ ලාංකේය සිනමාව තුළ ප්‍රබල චින්තනයක් සහ යථාර්ථවාදී රීතියක් ස්ථාපිත කළ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ ලැයිසාගේ සුළු චරිත නිරූපණයක් සඳහා ඇය යොදා ගනිමිනි.

ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය රූපගත වන අවස්ථාවේ දී රංගනයෙන් මෙන් ම අනෙක් විවිධ අයුරින් ඊට සම්මාදම් වූ පිරිස සිනමාවට අමතරව සාහිත්‍යය, නාට්‍යය ආදී කලාංග වෙත ද සිය අවධානය, දායකත්වය යොමු කළහ. ඔවුන් අතර ටෝනි රණසිංහ කැපී පෙනෙයි. ඒ වන විටත් කරළියේ පෙරළිකාර නළුවකු ලෙස ප්‍රකටව සිටි ටෝනි, අනුලාගේ කුසලතාවන් ඉවෙන් මෙන් වටහාගෙන ඇය සිනමාවෙන් වේදිකාවට ගෙන එයි. ඒ අනුව අනුලා සිය ප්‍රථම සිනමා රංගනයෙන් පසු ධර්මසිරි වික්‍රමරත්නගේ ‘රන් තෝඩු’ නාට්‍යයෙන් වේදිකා නිළියක බවට පත්වෙයි.

‘රන් තෝඩු’ නාට්‍යය බිහි වූයේ සුගතපාල ද සිල්වා ‘බෝඩිංකාරයෝ’ නාට්‍යය ඔස්සේ සිංහල වේදිකාව තුළ තාත්වික සම්ප්‍රදායයක් ගොඩනඟමින් කිසියම් පෙරළිකාරී යුගයකට මුලපිරූ කාල පරිච්ඡේදයක ය. ඒ වන විට සිනමාවේ, නාට්‍යයේ පමණක් නොව පේරාදෙණිය සාහිත්‍ය ගුරුකුලය ඔස්සේ ද, මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ වැනි විශිෂ්ට සාහිත්‍ය කෘති ඔස්සේ ද සිංහල සාහිත්‍යය තුළ ඉමහත් ප්‍රබෝධයක් ඇති වී තිබිණි. එබැවින්, ඒ යුගයේ සිනමාව, නාට්‍ය ආදී කලාවන් තුළ නිරත වූ තරුණ පරපුර සාහිත්‍ය ඇසුර ද ලබමින් සිටි පිරිසක් වූහ. අනුලාගේ රංග භාවිතය සකස් වන්නේ මේ උගත් පිරිසගේ ඇසුරේ ය. එබැවින්, ඇයට චරිතාංග නිළියක සතු රුව, ගුණ නිසි ලෙස හඳුනා ගැනීමේ භාග්‍යය ලැබෙයි. ලෙස්ටර්, ජී.ඩී.එල්. පෙරේරා, සිරි ගුනසිංහ, සුගතපාල සෙනරත් යාපා ඇතුළු සිනමාකරුවන් අතළොස්සක් හරවත් සිනමා චින්තනයක් ගොඩනැඟීම සඳහා දායක වෙමින් සිටිය දී, ඊට සාපේක්ෂව ජනප්‍රිය සිනමාව තුළ ද නැඟ එන්නට වූ අතිශය වාණිජවාදී රැල්ලට හසු නොවී සිටීමේ භාග්‍යය ද අනුලාට උදා වන්නේ ඒ ඇසුරින් ලැබු ඥානයෙනි. ඒ අනුව තමන්ට ගැළපේ යැයි සිතෙන චරිත පමණක් තෝරා බේරාගෙන සිය අනන්‍යතාව සමබරව තබා ගන්නට අනුලා සමත් වන්නී ය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රන්සළු’, දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ දීගේ’, පියසිරි ගුණරත්නගේ ‘මොකද වුණේ ?’, සුදාස් මාස්කෝරලගේ ‘පාරාවළලු’, ගාමිණි ෆොන්සේකාගේ ‘පරසතු මල්’ ඇතුළු චිත්‍රපට කිහිපයක අනුලා ඉදිරිපත් කරන රංගනයන් තුළින් විවිධ කුසලතා ප්‍රකට කරවමින් ස්වකීය අනන්‍යතාව තව දුරටත් ශක්තිමත් කර ගන්නී ය.

අනුලාට ඇත්තේ අතිශය හැඟීම්බර මුහුණකි. අතිශය සොම්නස්සහගත අවස්ථාවල දී ඇගේ දෙතොල මත නැඟෙන සිනහව සමඟ ඇගේ දෑස සොම්නසින් දිදුලයි. දෙකොපොල ලෙයින් පිරී ඒ ඔස්සේ ද සොම්නස උතුරා ගලනු පෙනේ. කරුණාබර අවස්ථාවල දී ඇගේ මුහුණේ ඇඳෙන දයාර්ද්‍ර බව තවුස්දම් වඩන්නියක සිහිපත් කරවයි. දොම්නස්සහගත අවස්ථාවක දී අතිශය හැඬුම්බර ස්වාභවයක් ගන්නා ඇයගේ මුහුණ වේදනාවේ ප්‍රතිමූර්තියක් වැන්න. ඒ මොහොතේ ඇගේ දෑස නිඳිබර වෙයි. දෙතොල ද, දෙකොපොල ද මිලාන වෙයි. අනුලාගේ මුහුණෙහි සැඟ වී ඇති එම භාව ප්‍රකාශනයන් විශිෂ්ට රංගවේදීනියක වීමේ ඇයගේ රුව, ගුණ වඩවයි.

අනුලාගේ මුහුණෙහි දැනවෙන මේ භාව ප්‍රකාශන ශක්තිය සියුම් ලෙස අවබෝධ කර ගන්නා ලෙස්ටර් ‘ගම්පෙරළිය’ට අනතුරුව ‘රන්සළු’ චිත්‍රපටය සඳහා ද ඇගේ දායකත්වය උපරිම අයුරින් ලබා ගැනීමට සමත් වෙයි. එහි සරෝජිනී නමැති නාගරික ගති පැවතුම් ඇති තරුණියක ලෙස අනුලා ඉදිරිපත් කළ රංගනය ඇගේ භාව ප්‍රකාශනයෙහි විවිධ ඉරියවු විදාරණය කරයි.

අනුලාගේ භාව ප්‍රකාශන ශක්තිය උපරිම ලෙසට යොදා ගැනීමේ කාර්යයට අතගසන්නේ ද ලෙස්ටර් ය. ‘ගොළු හදවත’ චිත්‍රපටයේ දමයන්තිගේ චරිතය සඳහා අනුලා යොදා ගනිමින් ලෙස්ටර් ඒ කාර්යයට අත තබයි.

 ■ ගුණසිරි සිල්වා

Previous articleආණ්ඩුව අධිකරණය වනසයි !
Next article‘මනෝරත්න නම් සංස්කෘතික මිනිසා’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here