හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මාර්තු මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. ඔහුට එරෙහිව විභාග වන නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනි.
පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටියදී රුපියල් කෝටි 30 කට අධික මුදලක් අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාව මත සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විභාගයට ගත්තේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ උදාර කරුණාතිලක අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර සජින් වාස් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.
රජයේ අධි නීතිඥවරයාගේ කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර නඩුව එදිනට කල් තැබිණි.
ඡායාරුප.අන්තර්ජාලයෙන්