අබාධිතබව පිළිබඳවත් මානව හිමිකම් දෘෂ්ටියක්

31

උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ මානව හිමිකම් සහ ඇතුළත් කරගන්නා දෘෂ්ටියකින් බවයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂඥ සමඟ කළ සාකච්ඡා සභාවක දී ප්‍රකාශ වූයේ.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සම්බන්ධ නවවන ජාත්‍යන්තර සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පසුගිය දා  කොළඹ දී පවත්වන ලදී.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් සැලකූ කළ ආබාධ සහිත ජනයා වඩාත් ම කොන් කරන ලද කණ්ඩායම් අතර වන බව මෙහිදී අනාවරණය කෙරුණි. සෞඛ්‍ය සේවා වෙත ශාරීරිකව පිවිසීමට හැකියාව ඇති විටදී පවා, ප්‍රමාණවත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා වෙත පිවිසීමේදී ආබාධ සහිත කාන්තාවන් සහ තරුණ ජනයා මුල්‍ය, සමාජ සහ මනෝ විද්‍යාත්මක බාධාවලට මුහුණ දෙන බව සහභාගී වූවෝ මෙහිදී පැවසුහ. කෙසේ වෙතත්, ආබාධ සහිත ජනයාගේ ඉහළ අවදානම් සහගත තත්වය හේතුවෙන් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සහ සත්කාර වෙනුවෙන් ආබාධ රහිත ජනතාවට වඩා අවශ්‍යතා තිබෙන බවයි පවසන්නේ.  

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් වෛද්‍ය සහ සමාජ විද්‍යාත්මක අංශවල විශේෂඥයන් එදින එම සාකච්ඡා මණ්ඩපයකට කැඳවන ලදී. එය උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සම්බන්ධ නවවන ජාත්‍යන්තර සම්මේලනයේම කොටසකි. “මානව හිමිකම් සහ ඇතුළත් කරගන්නා දෘෂ්ටියකින් උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම” යන තේමාවෙන් පැවැත්වූ මෙම සාකච්ඡා සභාවේදී මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවේ කෝණයකින් අබාධිතභාවය හා උපත් දෝෂ වෙත අවධානය යොමු කරන ලදී. 

ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් එහිදී මෙසේ පැවසුවා ය: “ලෝක ජනගහනයෙන් 15%ක් හෙවත් බිලියනයක් ජනයා කිසියම් ආකාරයක අබාධිතභාවයක අත්දැකීම් සහිත ය. තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ආබාධ සහිත පුද්ගලයන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ඇතුළු සේවාවන් වෙත සමාන ප්‍රවේශය තහවුරු කිරීම අවශ්‍ය ය. එසේම, ඔවුන්ට තම හිමිකම් පූර්ණව භුක්ති විඳීමට හැකි විය යුතු ය. ඔවුන් වෙනසෙහි සක්‍රිය මෙහෙයුම්කරුවන් විය යුතු අතර සියල්ලන් ඇතුළත් කරගන්නා, සාධාරණ සහ තිරසාර සමාජයක් උදෙසා සාමූහික චාරිකාවේ කොටසක් විය යුතු ය.”

ඇය පැවසූ ආකාරයට 2008 මැයි මාසයේදී, ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් පිළිබඳ සම්මුතිය බලාත්මක කර ඇත. ශ්‍රී ලංකාව 2016 වසරේදී එම සම්මුතිය අපරානුමත කරන ලදී. ආබාධිතභාවය සම්බන්ධයෙන් නීතිමය බැඳීම් ඇති කරන පළමු ජාත්‍යන්තර සම්මුතිය එයයි. ආබාධ සහිත ජනයාට ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය ලබා ගැනීමේ හිමිකම පිළිබඳ එහි සුවිශේෂයෙන් සඳහන් වේ. කෙසේ වෙතත්, බොහෝ විට, ආබාධ සහිතව ජීවත් වන පුද්ගලයන්ට මෙම සේවා වෙත ප්‍රවේශ වීමට හැකියාව නැත. එයට හේතු රැසක් තිබෙන අතර ශාරීරික බාධක, ඔවුන් අපකීර්තියක් ලෙස සැලකීම සහ වෙනස්කම් කිරීම ඒ අතර වේ. සමාජ, නීති, සෞඛ්‍ය සහ සුබසාධන සේවා විසින් ප්‍රතිපත්ති, සැලසුම් සහ සේවා සම්පාදනයේදී, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා බොහෝ විට නොතකා හරිනු ලැබේ.

මහාචාර්ය සුභංගි හේරත්

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සමාජ විද්‍යා මහාචාර්ය සුභංගි හේරත් අදහස් දක්වමින් අවධාරණය කළේ: “මෙම බොහෝ බාධක ඇති කරනු ලබන්නේ, හුදෙක් ආබාධ සහිතබව විසින් ම නොව, සමාජයේ සහ පුද්ගලයන්ගේ නොදැනුවත්කම හා ආකල්ප විසිනුයි. ආබාධ සහිත ජනයා එක් කණ්ඩායමක් තුළට සාමාන්‍යකරණය කළ නොහැකියි. එක් විසඳුමක් සියලු දෙනාට ගැලපෙන්නේ නැත. ඔවුන්ගේ අවශ්‍යතා විවිධ ය. උදාහරණයක් ලෙස, බොහෝ සේවාවන් විසින් අවධානය යොමු කරනු ලබන්නේ ශාරීරික හා පැහැදිලිව පෙනෙන ආබාධිතභාවයන් සහිත පුද්ගලයන්ට පමණක් වන හෙයින් බුද්ධිමය ආබාධිතභාවයන් ඇති පුද්ගලයන් වැඩිදුරටත් කොන් කිරීමට ලක් වේ.” යනුවෙනුයි.

මහාචාර්ය අතුල කළුආරච්චි

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ප්‍රසව හා නාරිවේදය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අතුල කළුආරච්චි උපත් දෝෂ සහ ආබාධිතභාවයන් සහිත ජනතාවට සමාන ප්‍රජනන සෞඛ්‍ය සේවා සැපයීමේ වැදගත්කම සාකච්ඡා කළේ ය: ඔහු පැවසූ ආකාරයට “අනෙක් හැම කෙනෙකුට මෙන් ම, ආබාධ සහිත ජනයාට ද ලිංගික ජීවිතයක් භුක්ති විඳීමට මෙන් ම ඔවුන් කැමති නම් දරුවන් ලැබීමට ද අවස්ථාව තිබිය යුතු ය. ඔවුන්ට ද පවුල් සැලසුම සහ පූර්ව ප්‍රසව සත්කාර සහ වෙනත් සේවා වෙත සමාන ප්‍රවේශය ලැබිය යුතු ය. ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී උපත් දෝෂ සහ ආබාධිතභාවයන් ඇති පුද්ගලයන් කෙරෙහි තිබෙන වගකීම් සම්බන්ධයෙන් සේවා සපයන්නන් සැලකිලිමත් විය යුතු ය.”

ආචාර්ය ශ්‍යාමනී හෙට්ටිආරච්චි

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආබාධිතභාවය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශ්‍යාමනී හෙට්ටිආරච්චි  ද එම සාකච්ඡාවට සහභාගි වූවා ය. සාකච්ඡා සභාව මෙහෙයවනු ලැබුවේ එනේබල් ලංකා පදනමේ සම නිර්මාතෘ සහ ආබාධිතභාවය සම්බන්ධ හිමිකම් ක්‍රියාකාරික ජනිත රුක්මාල් විසිනි. 

සාකච්ඡා සභාව විසින් ප්‍රතිපත්ති සම්පාදකයන්, සෞඛ්‍ය වෘත්තිකයන්, විද්‍යාර්ථීන්, සිවිල් සමාජය, මාධ්‍ය සහ වෙනත් පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාව සඳහා වේදිකාවක් සපයන ලදී. සියල්ලන් ඇතුළත් කරගැනීම හා තිරසර සංවර්ධනය පිළිබඳ වසර 2030 න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ඉදිරි ගමන එමගින් අධ්‍යයනය කරන ලදී.

Previous articleළමුන් සමඟ සෙක්ස්!
Next articleපාන් පහකින් බහියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here