මොනාලිසා තේරෙනව ද?

109

මොනාලිසා යනු හුදෙක් ආලේඛ්‍යයක් පමණක් නොවේ. එය කලාව සම්බන්ධ පුනරුදයේ දෘෂ්ටිවාදයකි. සමාජයක්; වියමනක්; සහ ව්‍යුහයකි.

පුනරුද කලාවේ ශ්‍රේෂ්ඨතම කලා කෘතියක් වන මොනාලිසා, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. සිතුවම් කලාවේ හොඳම උදාහරණය වන්නට මෙම සිතුවමට හැකි වන්නේ ඇයි? ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සිතුවමක් ලෙස මොනාලිසා සඳහා, ලියනාඩෝගේ වෙනත් කෘති වලට වඩා වැඩි වටිනාකමක් හිමි වන්නේ කුමක් නිසා ද?

වාඩි වී සිටින මොනාලිසා ගේ පසුබිම් භූ දර්ශනය නිර්මාණය කර ඇත්තේ ගුවන් දෘෂ්ටි කෝණයෙනි. එයින් සංරචනය සඳහා සැලකිය යුතු ගැඹුරක් ලබා දෙයි. එහි විස්තර ඉතා සියුම් ලෙස සිතුවමට ග්‍රහණය කර ඇත.

මෙම සිතුවමේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඇහි බැම නොමැතිකමයි. එය පසුකාලීනව සිදු වූවක් බව ද පෙර එහි ඇහි බැම තිබී ඇතැයි ද ස්කෑන් මගින් සනාථ වී ඇත. ඩාවින්චිගේ පින්තාරු කිරීමේ ආශාව, මෙම කෘතිය තුළින් නිරූපණය කෙරේ. ඉතා සියුම් ලෙස තාන ශ්‍රේණිගත කිරීමක් මෙහි වර්ණයකින් වර්ණයකට මාරු වීම නොපෙන්වන තරමට වර්ණාලේප කර ඇත. ඩාවින්චිගේ මෘදු පින්තාරු තාක්ෂණයට ආසන්න වශයෙන් සැහැල්ලු ස්ථර විස්සක් තරම් ඇතැයි සැලකෙන අතර ඇතැම් ඒවා අතිශය සිහින් ය. එය කෙතරම් සූක්ෂ්ම දැයි කිවහොත් එහි බුරුසු පහරවල්වල කිසිම හෝඩුවාවක් සිතුවම මත නොපෙන්වයි. මෙය තෙල් පින්තාරුකරණයේ දී තාක්ෂණිකව ජයගත් ඉතා අසීරු කාර්යයකි.

ලෝ ප්‍රකට මෙම සිතුවමට හසුව ඇති මෙම ස්ත්‍රියගේ අර්ධ සිනහව, නරඹන්නා දෙසට යොමුව ඇති බැල්ම (Gaze) විවිධ ලෙස අර්ථකථනය කර ඇත. මොනාලිසා නම් සිතුවම තුළ ඇති නිරූපිකාව ශත වර්ෂ ගණනාවක් පුරා ඇගේ සිනහව ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. එම සිනහව මෙම ආලේඛ්‍යයේ කේන්ද්‍රය බවට දෘශ්‍ය වේ. මොනාලිසා සිතුවම බටහිර සංස්කෘතික නිරූපණයක් වීමට සමත් වී ඇත. අදටත් මෙම ‘මොනාලිසා’ සම්බන්ධ සජීවී කතිකාවක් ඇති වීම සහ එය එයටම හිමි ගුණයෙන් පූර්ණය වීම විශේෂයි. මොනාලිසා සම්බන්ධ කතිකාව මොනාලිසා යන මැයෙන්මයි කීම නිවැරදියි.

ලූවර් කෞතුකාගාරය අභිබවා ගොස් මොනාලිසා සිතුවම ප්‍රබල වී ඇති බව කවුරුත් දන්නා දෙයකි. එම දැවැන්ත ගෘහ නිර්මාණාංගය ප්‍රමාණාත්මකව ඉතා කුඩා ප්‍රමාණයක් යුක්ත සිතුවම විසින් අතික්‍රමණය කර ඇත. එසේම මොනාලිසා සිතුවම් පිටපත් පිළිබඳව කතිකාවේ දී මොනාලිසා සිතුවමේ මුද්‍රිත පිටපත් කිරීම් හා සිතුවම පිටපත් කිරීම් ආදිය ගණනයට ගතහොත් එය ද අති විශාලයි. ගෘහ නිර්මාණ අවකාශයක මොනාලිසා සිතුවමේ ඡායාරූපයක් දැකගන්නට ලැබීම සුලබ කාරණයක් වීම පිටුපස මොනාලිසා අත්පත් කර ගැනීමේ ෆැන්ටසියකි.

15 වැනි සියවසේ මැද භාගයේ ස්ත්‍රිය සම්බන්ධ කතිකාව සහ ලස්සන පිළිබඳ අදහසක් මොනාලිසා රැගෙන එයි. ඇත්තටම ඒ ලස්සන, දිව්‍යමය ලස්සනකි. එනම්, එය, ගොඩනංවන ලද ලස්සනකි. ආගමික සන්දර්භයක් තුළ, එයින් පිටස්තරව ඇඳෙන මේ ගැහැනිය සාමාන්‍ය ගැහැනියකි. ඒ සාමාන්‍ය ගැහැනිය ලෝකයේ ගැහැනු පිරිමි සියල්ලන්ගේ ම ැන්ටසියක් වනුයේ කොහොමද ? එයයි, මොනාලිසා අත්පත් කරගන්නා අපූර්වත්වය.

මොනාලිසා යනු හුදෙක් ආලේඛ්‍යයක් පමණක් නොවේ. එය කලාව සම්බන්ධ පුනරුදයේ දෘෂ්ටිවාදයකි. සමාජයක්; වියමනක්; සහ ව්‍යුහයකි. එකවරක් ලූවර් කෞතුකාගාරයේ තිබූ මොනාලිසා අතුරුදන් වෙයි. ඒ අතුරුදන් වූ තැන ඇත්තේ හිස්කමකි. වෙනදා ලූවර් වෙත ඇදී ආ සෙනග එදා මොනාලිසා බලනු පිණිස, ඒ ආකාරයෙන්ම ඒ හිස්තැන බලන්න ඇදී ආවේ ය. මොනාලිසා විසින් හදනු ලබන හිස්තැන අප කියවා ගතයුත්තේ කොහොමද?

මොනාලිසා තේරෙනවා යනු මෙන්න මේ හිස්කම කියවා ගැනීමයි. හිස්කම කියවා අවසන් කරන්නට නොහැකි නිසා ම මොනාලිසා සදාකාලිකව කියැවිය හැකි ය. ඒ නිසා ම දැවැන්ත ලූවර් කෞතුකාගාරයට අර්ථයක් ගෙන එන්නට මේ කුඩා මොනාලිසා සියල්ලට ඉහළින් රැඳී සිටින්නී ය.

ප්‍රගීත් රත්නායක

Previous articleළමා අපචාර වීඩියෝව පිළිබඳව ක්‍රියාමාර්ග ගැන තොරතුරු සොයයි
Next articleගාල්ලට මන්ත්‍රී අසුනක් අහිමි වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here