ලේ විකිණූ අපරාධය ඇල්ලූ වීරයා මරන්න බෑ !

ඕනෙ නම් මේක රටට නොකියන පොරොන්දුව පිට, ලක්ෂ ගාණක් අරගෙන, තවමත් ජොබ් එකත් කරගෙන පාඩුවෙ ඉන්න තිබුණා. ඒත් ඔබ මතක තබා ගත යුතුයි, ඔවුන්ගෙ කොමිස් යෝජනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කළා.  

ලේ විකුණපු, කල් පැනපු ලේ පැකට් සල්ලි දීලා ගත්ත කේස් එක මතකද?’

‘මොකක්ද ඒ කේස් එක?’

‘ලේ විකිණුවා. ඒක මොන අපරාධයක්ද?’

‘ඒ විතරක්ද, පරණ ලේ පැකට්වලින් විෂබීජ ආසාදනය වෙලා කී දාහක් මැරෙන්න ඇද්ද?’‍

මේ ප්‍රශ්න – උත්තර ටික, එක දිගට මාත්, ඔබත් අතරේ සෑහෙන කාලයක් ගෙවා දමන්නට සමත්. මේ කියන ලේ විකුණපු නඩුව යම්තාක් දුරකට අධිකරණය ඉදිරියේත් ඉස්සරහට ආවා. චූදිතයන් අධිකරණය ඉදිරියට ගෙනාවා. ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂවරියත් ඒ අතර හිටියා. ඉදිරිපත් වුණු සාක්ෂි එක්ක ඔවුන් ඉන්නෙ කටඋත්තර නැතුව. ඒත් අධිකරණ ක්‍රියාවලිය සිද්ධවෙන්නෙ ඉතාම හෙමින්. සමහර විට චූදිතයන් බේරන්නම ඒ වැඬේ සිද්ධ වෙනවා කියලත් තර්ක කරන්න පුළුවන්.

ලොකු-ලොක්කො සෙට් එකක් එකතු වෙලා, රටේ මිනිස්සුන්ට මේ තරම් විපත්තියක් කරනවා කියලා කෑ ගැහුවෙ එක පොඩි මිනිහෙක්. ඒ මනුස්සයා ගැනයි අපි මේ ලියන්නෙ. කාඞ්බෝඞ් වීරයෝ මුරුංගා අතුවල නැඟගෙන කෑ ගහන හැටි අපි දකිනවා. ඒත් ඇත්ත වීරයො ඇත්තට තැනක් හම්බ වෙනකම් තමන්ගෙ යුතුකම ඉටු කරමින් කල් ගත කරනවා.

මතක තියාගන්න, ඔවුන් නිහඬ නෑ, ඔවුන්ගෙ සටන් දිනනවා. තමන්ට හිමි දේවල් අහිමි කරගෙන, ඔවුන් අනුන්ව දිනවනවා.

‘කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා කට්ටල ලංකාවට ගෙන්වීම සහ භාවිත කිරීම.’

රුධිර ප්ලාස්මා කට්ටල හරහා තමයි, ලේ ගන්න සහ ලේ දෙන වැඬේ සිද්ධ වෙන්නෙ. ලේ ගන්න කෙනාගෙ ලේ යන්නෙත් මේ කට්ටල හරහා. ලේ දෙන කෙනාට දෙන්නෙත් මේ කට්ටල හරහා. ඒ කියන්නෙ මේ ප්ලාස්මා කට්ටලවල විෂබීජ තිබුණොත් ඒක දෙන්නගෙම ජීවිතේට කෙළින්ම බලපානවා.

‘ජීවිත දෙකක් එක පාර අනතුරේ.’

සාමාන්‍යයෙන් මේ වගේ ප්ලාස්මා කට්ටල ටෙන්ඩර් කැඳවලා මිල දී ගන්න කොට අවුරුදු තුනකට එහා කල් ඉකුත් වීමේ දින සඳහන් වෙන්න ඕනෙ. ඒක තමයි පිළිගත් ක්‍රමවේදය. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එකපාර මිලදී ගන්න විශාල තොගයක් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න හැකියාව ලැබීම. අනෙක් කාරණය තමයි, මේ වගේ කට්ටලවල කල් ඉකුත් වීමේ දිනය ළං වෙනකොට රසායනික ප්‍රතික්‍රියා ඇතිවෙන්න තියෙන අවදානම. මේ ක්‍රමවේදය සත පහකට ගණන් ගන්නෙ නැතුව තමයි, මුලින් කියපු සිද්ධියෙදි වගකිවයුතු මහත්තුරු-නෝනලා ඔක්කොම වැඩ කරලා තියෙන්නෙ.

මේ කියන ප්ලාස්මා කට්ටල තොගය මිලදී ගන්න කොට ඒවා කල් පනින්න මාස දහයයි තිබුණෙ. ඒ කියන්නෙ භාවිතය මුළුමනින්ම අවදානම්. අනෙක් පැත්තෙන් ජනතා මුදල් නාස්තියක්.

ඔක්කොම එක ගොඬේ හිටපු නිසා, කවුරුවත් හිතුවෙ නෑ, මේක එළියට එයි කියලා…

‘ඔච්චර බරපතළ නම් ලෙඞ්ඩු මැරුණෙ නැද්ද ?’

ඔබේ ප්‍රශ්නය හරි.

ලෙඞ්ඩු මැරුණා. ඒත් එළියට දුන්නෙ වෙන කතාවක්. රුධිරය එකිනෙකට නොගැළපීම, ඇලජික් වීම, ශරීරයේ තිබුණු අභ්‍යන්තර රෝග… මේ වගේ හේතු පණ පිහිටුවලා ඩොක්ටර්ගෙ කටින්ම කිව්වහම, ඒක භාර අරන් පැත්තකට වෙනවා හැර, බහුතරයක් වෙන මොනවා කරන්නද?

ඒත් එකපාරටම මේ සිද්ධිය රට ම දැනගත්තා.

දැන් තමයි අපි, ඔබ දැනගෙන හිටපු, ඒත් දැන් අමතක වුණු, ඔහුව යළිත් හඳුනාගන්නෙ.

ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කළ සාමාන්‍ය කම්කරු දුමින්ද ප්‍රසාද්. ලොකු – ලොක්කො එක්ක හැප්පිලා මේ අපරාධය ගැන රටට කියපු, ඒ ඇත්ත වීරයා අද පොඩි සිල්ලර කඩයක් කරගෙන ඉන්නවා. කොළඹ, දෙමටගොඩ, ධර්මාරාම පාරෙ මිනිස්සු එක්ක හැප්පෙනවා.පිටකොටුව, තොග වෙළෙඳපොළවල් ගාණෙ ගිහින් තොග මිලට බඩු ගන්න හෙට්ටු කරනවා. බිස්නස් එක වැඩිදියුණු කරගන්න විවිධ උපාය-උපක්‍රම හොයනවා. වෙනම ගබඩා නෑ. තමන්ට කියලා තියෙන පොඩි ගේ පුරා අල, ලූනු, තොග බඩු…

ඕනෙ නම් මේක රටට නොකියන පොරොන්දුව පිට, ලක්ෂ ගාණක් අරගෙන, තවමත් ජොබ් එකත් කරගෙන පාඩුවෙ ඉන්න තිබුණා. ඒත් ඔබ මතක තබා ගත යුතුයි, ඔවුන්ගෙ කොමිස් යෝජනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කළා.

‘මං මෙහෙම හිටපු කෙනෙක් නෙමෙයි. ඒත් මාත් ජීවත්වෙන්න ඕනෙ. ඒකට සල්ලි ඕනෙ. මටත් වගකීම් තියෙනවා. රස්සාව නැති කරලා දැන් අවුරුදු 12 ක්. මම වෙන මොනවා කරන්න ද?’

‘දැන් හිතෙනවද ඒ වෙලාවෙ පාඩුවෙ පැත්තකට වෙලා කොමිස් කීයක් හරි අරන් හිටිය නම් හොඳයි කියලා ?’

‘නෑ. කොහොමවත් නෑ. කවුරු නොදන්නවා වුණත්, මං මිනිස්සු සිය ගාණකගෙ ජීවිත බේරුවා කියලා මං දන්නවා. ඒක කොච්චර මීඩියාවලින් ගියා ද. ‘ලංකා’ පත්තරේ කොච්චර ලිව්වද. රූපවාහිනීවලින් කොච්චර ඒකට ප්‍රසිද්ධියක් දුන්නද. දැන් නඩුවෙදිත් මං කරපු වැඬේ තහවුරු වෙලා තියෙනවා. මට කිසි දුකක් නෑ.’

ජාතික රුධිර මධ්‍යස්ථානයේ ඒ වෙලාවෙ දුමින්ද වෙනුවෙන් පෙනී හිටපු කිසි කෙනකුට, ලොක්කන්ගෙ තර්ජනය එක්ක හැප්පෙන්න බැරි වුණා. ආණ්ඩු මාරු වුණා. හැමෝම ලොක්කන්ව බේරන්න ප්ලෑන් කළා. වීරයාව මරලා දාන්න සැලසුම් හැදුවා.‍

සතුටුදායක සේවය වෙනුවෙන් ඔහුගේ නමට ලියුම් ගණනාවක් නිකුත් කරලා තියෙනවා. කොළඹ, ජාතික රෝහලේ ලේ බැංකුවෙන් ඔහුගේ සේවයට විශේෂ ඇගයීමක් පවා කරලා තියෙනවා. ලේඩි රිජ්වේ ළමා රෝහලත් එහෙමයි.

ඔහුට විරුද්ධව චෝදනාවක් හොයාගන්න නැතිකමට මෙහෙම එකක් හැදුවා…

‘දූෂිතයන් සමග එක්ව ආයතනයේ පරිපාලනය අවුල් කිරීමට කටයුතු කිරීම.’

ඔන්න ඔය චෝදනාව ඔවුන් හතර වටේ ලිපි ගහලා, විමර්ශන කරලා තහවුරු වෙන තැනට වැඩ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක ලේකම්වරයෙක් විමර්ශනයක් අවසානයේ ඔහුට මෙහෙම කියලා තිබුණා. ”ඔයා මොනවටද ඔය ලොකු ලොකු කේස් හොයන්න ගියෙ… පාඩුවෙ රස්සාව කරගෙන හිටිය නම් ඉවරයි නෙ.”

මේ චෝදනාව පිටින් දාලා දුමින්දව හතර අතේ මාරු කළා. දුමින්දගෙ අභියාචනා ෆයිල් අතුරුදන් කළා. ඔහුගේ මේ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබුණු විමර්ශනය හිටිගමන් නතර වුණා. එදායින් පස්සෙ දුමින්දට රස්සාවට ගිහින් පොත අත්සන් කරන්න දුන්නෙ නෑ.

”වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ සේවය අත්හිටුවන ලදී.”

ගෙදරට එවපු ඒ ලියුමට අනුව, දුමින්දට නැවත රාජ්‍ය සේවයට ඇතුළු වීමේ හැකියාව නැති කරලා තියෙනවා. විශ්‍රාම වැටුප් සංග්‍රහය යටතේ කිසියම් දීමනාවක් හෝ විශ්‍රාම වැටුපක් ලබාගැනීමේ හැකියාව නැති කරලා තියෙනවා. 1999 අවුරුද්දෙ ඉඳලා සෞඛ්‍ය සේවයේ ස්ථිර කම්කරුවෙක් විදිහට කරපු සේවය වෙනුවෙන් ලැබුණු තෑග්ග තමයි ඒක.

රස්සාව හදාගන්න හතර වටේ ගියත් ඒක හරි ගියෙ නෑ. ඇයි… ඔහු කොන්ද කෙළින් තියාගෙනමයි රස්සාව ඕනෙ කියන්නෙ.‍

මහත්තුරුනි, වීරයා මරන්න බෑ කියන්නෙ ඒකයි

ශාලික විමලසේන

Comments are closed.