ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිසි පරිදි දැන්වීමක් කර නැහැ

වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමති

මහින්ද යාපා අබේවර්ධන

ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට යාම තහනම් කළා කියලා, අපේ රටේ ඡන්ද හැදෙන්නේ කොහොම ද? අපේ රටේ ඉන්නේ උගත්, බුද්ධිමත් ඡන්දදායකයෝයි. ඔවුන් මුළා කරන්න පුළුවන් ජාතියක් නොවෙයි.

■  හමුදාපතිවරයාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීම ගැන ප්‍රචාරයේ ඇත්ත තත්ත්වය මොකක්ද?

ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් එහෙම ප්‍රකාශයක් කළා කියා අපට දන්වා නැහැ. පුවත් පත්වල පළ වූවා මිස අපට ඒ ගැන නිසි පරිදි දැන්වීමක් කර නැහැ.

■  හිටපු ජනාධිපතිවරයා රට උගුලකට ඇද දැමීමෙන් මේ ප්‍රචාරවලට ඉඩකඩ ලැබුණු බව කියන්න පුළුවන් නේද?

නෑ. එහෙ ම කියන්න බැහැ. හිටපු ජනාධිපතිවරයා අපේ රටට, දැවැන්ත සේවයක් කළ පුද්ගලයෙක්. හිටපු ජනාධිපතිවරයා ශවේන්ද්‍ර සිල්වා සුදුසු තනතුරට පත් කර තිබෙනවා.

■  යුද අපරාධ චෝදනා එල්ල කෙරුණු අයෙක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හමුදාපති ධුරයට පත් කිරීම නිසා රටට මේ බරපතළ ප්‍රශ්නය ඇතිවී තිබීම ගැන මොකද කියන්නේ ?

ඒ චෝදනාව එල්ල වූයේ, කොහේ දී ද? ඔහුට විරුද්ධව කිසි ම චෝදනාවක් නැහැ. මෙන්න අහවල් තැන දී අහවල් දේ කළා කියලා නිශ්චිත කිසි ම චෝදනාවක් නැහැ. එහෙ ම බොරු චෝදනාවක් හරි විභාග කරලත් නැහැ.

■  එහෙනම්, මේ ඇතිවී තිබෙන තත්ත්වය මොකක්ද?

ඇමෙරිකාව වාගේ රටේ ලෝකයේ හැමෝගෙන් ම ගෞරවය දිනා ගත්තු රටකින් අපි වාගේ පුංචි රටකට මේ වාගේ අයුක්තිසහගත චෝදනාවක් ඉදිරිපත් කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඒ හැරෙන්නට අපට වෙන කරන්න දෙයක් නැහැ.

■  වර්තමාන ආණ්ඩුවත්, එක්සත් ජාතික පක්ෂයත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ගැන කතා කළාට ඊට වඩා බරපතළ තත්ත්වයක් මේ චෝදනා පිටුපස ඇතිවී තිබෙන බව ඔබ හිතන්නේ නැද්ද?

නැහැ. නැහැ. රටට එල්ල වෙච්ච චෝදනාව මොකක් ද? ඒ අය මෙයින් උත්සාහ කරන්නේ රට අපකීර්තියට ලක් කිරීමටයි. ඔවුන්ගේ වුවමනාව එයයි.

■  එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවලට මෙරට ත්‍රිවිධ හමුදාව තහනම් කිරීම වඩාත්ම බරපතළ තත්ත්වයක් නොවෙයිද?

ඒකත් ඔය කතාවේ තවත් එක් කොටසක් පමණයි. එහෙම නැතිව ඊට තවත් විශේෂ හේතුවක් නැහැ. අපේ ත්‍රිවිධ හමුදාව අතිවිශිෂ්ට අන්දමින් සේවය කර තිබෙනවා. ඒ රටවලට ගිහින් සාමසාධක කටයුතුවල යෙදෙද්දී, ඔවුන් කටයුතු කර ඇති ආකාරය අතිවිශිෂ්ටයි. වයසක උදවිය ඔසොවාගෙන ගිහින් ඔවුන්ට උදවු කළ ආකාරය ඒ ලෙස ම සියල්ලන්ට ජනමාධ්‍ය මඟින් දැකගන්න පුළුවන්. ලංකාවේ මානව හිමිකම් කඩ වූවා යැයි චෝදනා කරන යුද්ධය අවසානයේ දීත් සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කළේ අපේ ත්‍රිවිධ හමුදාවයි. එදා ඔවුන් කටයුතු කළ ආකාරය ලෝකයාගේ ප්‍රශංසාවට ලක් වුණා.

■  රටක් හැටියට අපට අවශ්‍ය වෙන්නේ, ජාත්‍යන්තරය ඉදිරියේ නිවැරැදි වීමද? එහෙම නැත්නම්, ආණ්ඩුවල දේශපාලන වුවමනාවන් අනුව හිඟන්නාගේ තුවාලය වාගේ මේ ප්‍රශ්න පවත්වාගෙන යාමද?

යුද්ධ කාලයේ කවදාවත් අපේ රටේ මානව හිමිකම් කඩවීමක් සිදු වූයේ නැහැ. මේ අය එවැන්නක් මවන්න හදනවා. එසේ මවන්න හදන්නේ, ඒ රටවල ජීවත් වෙන්න. විශේෂයෙන් ඩයස්පෝරාව කියන ඒ පිරිස්වල වුවමනාවටයි. තමන්ගේ පැවැත්මට මෙය පවත්වාගෙන යාමට ඔවුන් උත්සාහ කරනවා. මේක ඔවුන්ට මුදල් ආකාරයක්. ඔවුන් සම්මාදම් එකතු කරනවා. පරිත්‍යාග ගන්නවා. ලංකාවේ මෙහෙ ම මානව හිමිකම් කඩ වෙලා තිබෙනවා. ඔවුන්ට උදවු කළ යුතුයි. ඔවුන්ට ගෙවල් හදා දිය යුතුයි ආදී වශයෙන් කියමින්, ඔවුන් පරිත්‍යාග එකතු කරනවා. ඔවුන් ඒවායින් යැපෙනවා. එන්.ජී.ඕ. හදාගෙන කරන්නේ, ඔය වැඩකටයුතු ටිකයි. කෝටි ගණන් මුදල් මේ ආකාරයට ඔවුන් හම්බ කරනවා. එංගලන්තයේ පෙට්‍රල් ෂෙඞ් ව්‍යාපාරය කරන්නේ කවුද? ලංකාවේ එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයට හිතවාදීන් එම පෙට්‍රල් ෂෙඞ් ව්‍යාපාර කරගෙන යනවා. ඔවුන්ට මේ මුදල් ලැබෙන්නේ කාගෙන් ද? එන්.ජී.ඕ. මඟින් සම්මාදම් පරිත්‍යාග ලෙස උපයන මුදල් ඔවුන් මෙම ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ඒක රස්සාව කර ගත්ත අය අත්හැරීමට කැමැති නැහැ. ලංකාවේ ප්‍රශ්නයක් නැහැ කිව්වොත්, ඔවුන්ගේ ආදායම් නවතිනවා.

■  ජනාධිපතිවරණයේදී ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම පෙන්වලා, මේ ආණ්ඩුව පිහිටුවා ගන්න පසුබිම සකස්කර දුන්නා. දැන් මැතිවරණය ආසන්න වෙමින් තිබියදී, ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ඉස්සරහට දාලා, ඡන්දය දිනන්න ඇමෙරිකාව ඉඩ හදා දෙනවා කීවොත්, ඔබ මොකද කියන්නේ ?

ඔය අපේ විරුද්ධවාදීන් කියන කතා පමණයි. ඒවායේ කිසි ම හරයක්, පදනමක් නැහැ. ඒකෙන් ඡන්ද හැදෙන්නේ කොහොම ද? ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට යාම තහනම් කළා කියලා, අපේ රටේ ඡන්ද හැදෙන්නේ කොහොම ද? අපේ රටේ ඉන්නේ උගත්, බුද්ධිමත් ඡන්දදායකයෝයි. ඔවුන් මුළා කරන්න පුළුවන් ජාතියක් නොවෙයි. පසුගිය කාලවල යම් යම් අවස්ථාවල ඇමෙරිකාව කළ ප්‍රකාශ මෙන් ම ඔවුන් මේ අවස්ථාවේත් පක්ෂාග්‍රාහීව කටයුතු කළ ආකාරය ජනතාව තුළ අප්‍රසාදයක්, කලකිරීමක් වර්ධනය වීමට හේතු වුණා. ඒක තුළින් ඡන්දයක් දිනනවා ය කියන එක අමූලික බොරුවක්.

සංවාදය:  පද්මා වේරගොඩ ආරච්චි

Comments are closed.