පර්යේෂණවල ප්‍රතිඵල ලැබෙන්න නම් දේශපාලන වෙනසකුත් ඕනෑ

ආචාර්ය චින්තක පෙරේරා

ආචාර්ය චින්තක පෙරේරා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවට ලෝකයේ හොඳම පර්යේෂණ පත්‍රිකාවට හිමි ඇගයීම ලැබී තිබේ. ඒ නාය යෑම් සහ ඒවාට අදාළව සිදු කරන හානි පූරණය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳවය. 2018 වසරේ ලෝකයේ වැඩිම පිරිසක් පරිශීලනය කළ පර්යේෂණ පත්‍රිකාව වී ඇත්තේ ද එයයි. චින්තක සමග මේ කතාබහ ඒ පිළිබඳවය.

■  ලෝකයේ හොඳම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ ඇගයීමට ලක්වුණා. ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

ලංකාවේ නායයෑම් පිළිබඳව මම 2015 සිට අධ්‍යයනය කරන්න පටන් ගත්තා. මාවනැල්ල අරණායක ප්‍රදේශයේ සිදුවුණු නායයෑම ඒ අතරින් සුවිශේෂීයි. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරල මම අධ්‍යයනයක් කළා 2018 අවුරුද්දෙදි. නායයෑම නිසා ඒ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සමාජ ආර්ථික ක්‍රියාවලියට සිදු වුණු බලපෑම තමයි එහිදී මගේ අධ්‍යයනයට පාදක වුණේ. ඒකෙදි හඳුනා ගන්න ලැබුණ එක මූලික කාරණාවක් තමයි ආපදාවෙන් පසුව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවන්න විවිධ ආධාර, උපකාර සහ මැදිහත්වීම් සිදු කළත් ජනතාව ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් තෘප්තිමත්භාවයට පත්වෙලා තියෙන්නෙ ඉතාම අවම මට්ටමකින් කියන එක. ඒ පර්යේෂණ පත්‍රිකාව තමයි මේ විදිහට ඨසද ෑබඩසරදබපැබඒක ෘසි්ිඑැර කියන ලෝක පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්වුණේ සහ ඇගයීමට ලක්වුණේ.

■  එවැනි පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය දෙයක් නේද?

ඔව්. ලෝකයෙන්ම පර්යේෂකයන් එවැනි පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කරනවා. ඒත් මෙතන තියෙන විශේෂත්වය තමයි, එය ප්‍රකාශයට පත්කරපු 2018 අවුරුද්දෙ ලෝකයේ වැඩිම පරිශීලනයක් කරපු පර්යේෂණ පත්‍රිකාව බවට මේ පර්යේෂණ පත්‍රිකාව පත්වීම. ඒ නිසා තමයි 2018 අවුරුද්දෙ හොඳම පර්යේෂණයට හිමි සම්මානය මේ පර්යේෂණ පත්‍රිකාවට ලැබුණෙ. 

■  කවුද ඔබේ අනෙකුත් පර්යේෂණ කණ්ඩායම වුණේ?

ආචාර්ය ඩී.පී. ජයවර්ධන, ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, ආචාර්ය ආර්.එම්.එස්. බණ්ඩාර සහ නිරංග අලහකෝන් තමයි මගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්.

■  බොහෝ දෙනෙක් තමන්ගේ ආචාර්ය උපාධියෙන් පස්සෙ තමන් කරමින් සිටි පර්යේෂණ කටයුතු නතර කරනවා. එහෙමත් නැත්නම් ආචාර්ය උපාධිය ඉලක්ක කරගෙන තමයි පර්යේෂණ කටයුතුවල නියැළෙන්නෙ. ඔබත් එහෙමද?

නැහැ. මේ වෙනකොට මම මගේ ආචාර්ය උපාධිය ලබාගෙනයි තියෙන්නෙ. ඒත් මම මගේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් දැනටමත් ආරම්භ කරලයි තියෙන්නෙ. ඒ නිසාම දැනට ලෝක බැංකුවෙන් මගේ ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන දහයක මුදලක් වෙන් කරන්නත් කටයුතු කරල තියෙනවා.

■  ඔබ විශ්වවිද්‍යාලය සමයේ සිටම ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණු කෙනෙක්. ඒ කටයුතු ඔබේ අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් වුණේ නැද්ද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 2002 අවුරුද්දෙ ඇතුළත් වුණාට පස්සෙ මම දැක්කා රටේ අනාගත පරම්පරාවට උපාධියක් ලබා ගැනීමේ අයිතිය පියවරෙන් පියවර අහෝසි වෙමින් තියෙන බව. අධ්‍යාපන අයිතිය මුදල් මත තීරණය වෙමින් තියෙන බව. ඒ වගේම අපිට උපාධිය ලබා ගැනීමේ ඉඩකඩ ලැබිල තියෙන්නෙ අපිට කලින් පරම්පරාවන් ඒ වෙනුවෙන් කරපු කැපකිරීම් නිසා බව. ඒ නිසා තමයි මමත් උපාධියට අමතරව මගේ වගකීමත් සම්පූර්ණ කරන්න ඕනෙ කියලා හිතුවෙ. ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලනයට විතරක් නෙමෙයි, ඒ මොහොතේ ජාතික තලයේ පැන නගිමින් තිබුණු ගැටලු වලටත් මැදිහත් වුණා. ඒ අතරෙදි 2007 අවුරුද්දෙ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බවට පත් වුණා. ඒ කටයුතු වල අඛණ්ඩවම නිරත වෙමින් තමයි මම මගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කළේ.

■  විශ්වවිද්‍යාලය තුළදි දේශපාලන කටයුතු වල නිරත වුණත් ඉන් පසුව ඔබේ අධ්‍යයන කටයුතු නිසා දේශපාලන කටයුතුවලින් ඈත් විය යුතුයි කියල ඔබ හිතුවෙ නැද්ද?

නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව, මම විශ්වාස කරන සමාජ දේශපාලන අරමුණු හා ගැලපෙනව කියල දකින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු එක්ක සම්බන්ධ වුණා. මගේ එම්.එස්.සී. උපාධිය හදාරන්න ඉන්දියාවට ගිහින් හිටපු අවුරුදු දෙක ඇතුළෙ ඉන්දියාවේ වාමාංශික ශිෂ්‍ය කණ්ඩායම් එක්කත් මම වැඩ කළා. ආචාර්ය උපාධිය දක්වා මම ආවෙ ඒ කටයුතුවල අඛණ්ඩව දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියදීමයි.

■  දැන් ඔබ නිරත වෙලා ඉන්න පර්යේෂණ කටයුතු සහ ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන සැලසුම් එක්ක මෙතැනින් ඉදිරියට ඔබට දේශපාලන කටයුතු වල නිරත වෙන්න පුළුවන් කියල හිතනවද?

මම මේ කරපු පර්යේෂණයට අදාළව නායයෑම් පිළිබඳ අධ්‍යයනය කරද්දි ඒ ජනතාව හැම අතින්ම අවදානමක ඉන්නෙ කියන එක හොඳින් දැක්කා. ඔවුන්ගේ ජීවිත එහෙම අනාරක්ෂිත වෙලා තියෙන්නෙ පවතින දේශපාලන ක්‍රමය නිසා. ඒ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න මම හැම වෙලාවෙම මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න උත්සාහ කරනවා. දේශපාලන ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව මොන පර්යේෂණයක් කළත් ඒව පර්යේෂණ පත්‍රිකා වලින් එහාට යන්නෙ නැහැ. ඒ වගේම තමයි මගේ පර්යේෂණ විෂය ක්ෂේත්‍රයේ එක් කොටසක් තමා ස්වභාවික ආපදාවලදි ඒවායෙන් විපතට පත් වන ජනතාවට සහන සැලසීමේ කණ්ඩායම් ගැන. එහිදී පළමුවෙන්ම එන සහන කණ්ඩායමක්, ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව’ සහන සේවා බලකාය. සුනාමි ව්‍යසනයේදී මමත් ඒ සහන සේවා බලකායේ සාමාජිකයෙක් විදිහට කටයුතු කළා. දැන් මම ඒ ව්‍යසනයන්ට සහන සැලසීම ගැන අධ්‍යයනය කරද්දි ඔවුන්ගේ මැදිහත්වීම කලින්ට වඩා හොඳින් මට නිරීක්ෂණය වෙනවා. ඒකත් මට මගේ පර්යේෂණ කටයුතුවලට උත්තේජනයක් සපයනවා.

චතුර දිසානායක

Comments are closed.