කැරිබියානුවනට අභියෝගයක් !

18

කෙටි කාලයක නිහඬතාවයකින් පසුව යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සතුටුදායක කාලයකි. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලංකා සංචාරය නිසාවෙන්ය. එක්දින හා විස්සයි විස්ස තරගාවලි දෙකකට සහභාගී වීමට නියමිත කොදෙව්වන් ඊට පෙර පුහුණු තරග දෙකකට ද සහභාගී වේ. මේ වන විටත් එම පුහුණු තරග දෙක හා එක්දින තරගයක් පවත්වා අවසන්ව ඇත. පළමු පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත් අතර, එක්දින තරඟයේ තීරණය කුමක් වුවත් මේ තරගාවලිය දෙපිලටම වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යාමට හා එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙනි.

දෙරටේ ක්‍රිකට් ඉතිහාසය වසර හතළිහකටත් වඩා ඈතට දිවයයි. මුල්වරට දෙරට පිටියේදී මුණගැසී ඇත්තේ 1975 වසරේ දීය. මේ දක්වා දෙපිල අතර එක්දින තරග 57ක් පවත්වා ඇත. ඉන් තරග 28 ක ජය කොදෙව්වන් සතුවද 26 ක් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ද සමත්වී ඇත. තීරණයක් රහිතව තරග 3 ක් අවසන් වී ඇත. පැවැති තරගවලදී දෙපිලේ ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණු ලබා ඇත්තේ බ්‍රයන් ලාරාය. ඒ තරග 25 දී 1122 කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් ජයසූරිය තරග 30 දී ලකුණු 992 ලබා තිබේ. එක්දින පන්දු යැවීම්වල ඉදිරියෙන් සිටින්නේ මුරලි, සනත් හා වාස් ය. ඒ පිළිවෙළින් කඩුලු 34, 29 හා 26 ක් ලබා ගනිමින්ය.

දෙපිල අවසන් වරට එක්දින තරගාවලියකදී මුණගැසී ඇත්තේ 2015 වසරේ දීය. එය 3-0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් එම තරගාවලියට ක්‍රීඩා කළ බොහෝ දෙනෙක් මෙවර කණ්ඩායමේ නොමැත. අවසන් වරට දෙපිලම පසුගිය ලෝක කුසලානයේදී මුණගැසුණු අතර තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා කරමිනි.

විස්සයි විස්ස ඉතිහාසය දෙස බැලීමේදී දෙපිලම මුහුණ දී ඇත්තේ තරග 9 කට පමණි. ඉන් තරග 6 ක් ශ්‍රී ලංකාව දිනා ගනිද්දී කොදෙව්වන් තරග 3 ක ජය සතු කරගෙන ඇත. කෙසේ නමුත් 2012 විස්සයි විස්ස ලෝක කුසලානය ලංකාවෙන් උදුරා ගැනීමට කොදෙව්වන් සමත්වූ බව ද අමතක නොකළ යුතුය.

බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටු ප්‍රධානී රොජර් හාපර් සංචාරයට පෙර ප්‍රකාශ කර සිටියේ ඇෆ්ගනිස්තානය, ඉන්දියාව හා අයර්ලන්තයට එරෙහිව තම කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ නිසාත් ඒ පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවයි. ශ්‍රී ලංකාව සිය රට තුළ දී හොඳ කණ්ඩායමක් වුවත් තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට යාම ඔවුන්ගේ අපේක්ෂාව බවයි රොජර් හාපර්ගේ අදහස.

පළමුපෙළ තරගවල දැක්වූ දක්ෂතා හේතුවෙන් නැවතත් කණ්ඩායමට එක් වූ ඩැරන් බ්‍රාවෝ ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කර ඇති අයෙකි. එමෙන්ම ආබාධයකින් පසුව යලි කණ්ඩායමට එක් වූ පවෙල් ද කණ්ඩායමේ පිතිකරණය, පන්දු රැකීම හා පන්දු යැවීමේ අංශ ශක්තිමත් කරයි. නිකොලස් පූරන් හා ෂායි හෝප් පරිනත පිතිකරුවන් බවට පත්වෙමින් පවතී. චන්ද්‍රපෝල් හා සර්වාන් යුගලයේ  අඩුව කාලයකට පසුව පිරවීමට හැකි බව මේ පිතිකරුවෝ පෙන්නුම් කරමින් සිටිති. හෝල්ඩර්, කොට්රල් හා අල්ෂාරී ජෝෂප් ඇතුලත් ශක්තිමත් පන්දු යැවීමේ බලඇණියක් ඔවුන් සතුය. හේඩන් වෝල්ෂ්ගේ පා දඟ පන්දුවද ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වනු හැක්කේ ලංකාවේ තණ තීරු දඟ පන්දු යවන්නන්ට වාසි දායක වන බැවිනි.

තරගාවලියට පෙර පවත්වන පළමු පුහුණු තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී කොදෙව්වන් වෙනුවෙන් බ්‍රාවෝ ගේ ශතකයත්, පූරන් ගේ දක්ෂ පිතිහරඹයත් කැපී පෙනුන අතර අසිත ප්‍රනාන්දු හා දිල්ෂාන් මධුෂංක පන්දුවෙන් දස්කම් දක්වද්දී පළපුරුදු පන්දු යවන්නන් නොමැතිව කළ මෙහෙය අගය කළ යුතුය. දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් ලබා ගත් උපුල් තරංගද, ආබාධ වලින් පසු කණ්ඩායමේ ස්ථානයක් සොයන අසේලගේ අර්ධ ශතකයත් කැපී පෙනුනි. කෙසේ වුවත් එක් පුහුණු තරගයකින් සියල්ල නිගමනය කර මුහුද හත් ගව්වක් තියා අමුඩ ගැසීමට අවැසි නැත. භානුක රාජපක්ෂට ද එක්දින කණ්ඩායමේ ඉඩක් විවර වේ නම් කණ්ඩායමේ පිතිකරණ අංශය තවත් ශක්තිමත් කර ගත හැකිය. නවකයන් වන සඳුන් වීරක්කොඩි, පැතුම් නිශ්ශංක, අශේන් බංඩාර, අසිත ප්‍රනාන්දු වැනි දක්ෂයන්ට මේ පුහුණු තරග දෙක වැදගත් වන්නේ සිය දක්ෂතා දක්වමින් ජාතික කණ්ඩායමේ දොරගුලු විවර කර ගැනීමටය.

විස්සයි විස්ස තරග දෙක සඳහා නායකත්වයේ වෙනසක් සිදු නොවුනි නම් සුපුරුදු ලෙස මාලිංග ක්‍රීඩා කරනු ඇත. මැතිව්ස් ද නැවතත් සුපුරුදු රිද්මයට පැමිණෙමින් සිටියි. විස්සයි විස්ස තරග වලදී ධනංජයගේ පිත්තෙන් වැඩක් ගැනීමට අවැසි නම් ඔහු පිතිකරණය සඳහා මුලින් එවිය යුතුය. ඔහු ක්‍රීඩා කළ තරග වලදී ඒ බව මනාව පෙන්වා දී ඇත. කලකට පසු කණ්ඩායමට එක්වන තිසර ද නැවතත් සිය සුපුරුදු වේගවත් පිතිකරණය හා පන්දුවෙන් දක්වන දස්කම් පෙන්වන්නේ නම් කොදෙව්වන්ට එය විශාල අභියෝගයක් වනු ඇත.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව හා කොදෙව්වන් පිළිවෙලින් 8 හා 9 ස්ථාන වලද, විස්සයි විස්ස තරගවල දී 8 හා 10 යන ස්ථාන වල සිටියද කොදෙව්වන්  විස්සයි විස්ස පිටියේ අභියෝගාත්මක කණ්ඩායමක් බව අමතක නොකළ යුතුය.

එක්දින තරගාවලිය සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර දඟ පන්දුවෙන් යමක් කළ හැකි ධනංජය ද වනිඳුගේ සහයට සිටින නිසාත් කුසල් මෙන්ඩිස්, මැතිව්ස් හා දිමුත් පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සුපුරුදු රිද්මයට පැමිණෙන්නේ නම් ඉසුරු, දසුන් හා තිසර ගේ තුන් ඉරියව් දක්ෂතා එකවර ක්‍රියාත්මක වන්නේ නම්, නුවන් ප්‍රදීප් හා ලහිරු වේග පන්දුවෙන් කොදෙව්වන්ට අභියෝගයක් වන්නේ නම් මේ දැවැන්ත ක්‍රීඩකයන්ට එරෙහිව තරඟාවලිය ජයග්‍රහණය කිරීම අපහසු නොවනු ඇත.

චතුර චාමින්ද

Previous articleසිංගර් වෙතින් සුළු පරිමාණ කර්මාන්ත සඳහා මහන මැෂින් මාදිලි ගණනාවක්
Next article“ජීවිතේ කියන්නේ හැමදේටම වඩා වටින දෙයක්”- කළු රංජී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here