රට ණය අර්බුදයකට ගියේ සුනාමි වගේ ආපදාවකින් නොවෙයි

7

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය ජනක් කුමාරසිංහ

ලබා ගත් ණය කෙටිකාලීනව ප්‍රදර්ශනකාමී ජීවිතවලට වැය කිරීම වගකීම් විරහිතව සියලු ම ආණ්ඩු ක්‍රියා කර තිබෙනවා. නමුත්, ඒ ඇත්ත තත්ත්වය දේශපාලනඥයන් සහ ඉහළ නිලධාරීන් වසන් කරමින්, දිගින්දිගට ම රටේ සාමාන්‍ය මිනිසුන්ට කීවේ, තම පාලනය යටතේ ආර්ථිකය සංවර්ධනය වන බවයි; ණය ආපසු ගෙවීමේ කිසිදු ප්‍රශ්නයක් මතු නොවන බවයි.

■  බලයේ සිටි ආණ්ඩු ප්‍රකාශ කළේ, ණය කළමනාකරණය කිරීමේ හැකියාව තමන්ට තිබෙන බවයි. නමුත්, දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස විදේශ රටවලින් ඉල්ලා සිටින තත්ත්වයට අනතුර වර්ධනය වෙලා. මේ සම්බන්ධයෙන් ඔබ දකින්නේ කොහොමද?

ලෝකයේ ධනවාදී හෝ වේවා, සමාජවාදී හෝ වේවා කවර ආර්ථිකයක් යටතේවත් රටකට මුල් අවස්ථාවේ දී තමන්ගේ ආර්ථිකය තුළින් ම ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගන්න බැරි තත්ත්වයක් අද තියෙන්නේ. අතීතයේ ස්වයංපෝෂිත ආර්ථිකයන් යටතේ එසේ කළ හැකි අවස්ථා තිබුණා. නමුත් අද සංවර්ධන කටයුතුවලට අවශ්‍ය ප්‍රාග්ධනය තමන්ගේ ආර්ථිකය තුළින් ම හොයා ගන්න හැකියාවක් නැහැ. අද පවතින භෞතික සංවර්ධන මාදිලිය ගැන අපට වෙනම නිර්වචනයක් තිබෙනවා. එසේ තිබිය දී, වර්තමානයේ කතා කරන භෞතික සංවර්ධනයට අදාළ ප්‍රාග්ධනය සපයා ගන්න ණය ගැනීමේ අවශ්‍යතාව පවතිනවා.

ලබා ගන්නා ණය නිසි ප්‍රමුඛතා අනුව යොදාගෙන කළමනාකරණය කර ගැනීම මූලික වගකීමක්. ජපානය, මැලේසියාව, හොංකොං, චීනය වාගේ රටවල් අද තිබෙන තත්ත්වයට දියුණු වී තිබෙන්නේ, ණය නිසි ලෙස කළමනාකරණය කර ගත් නිසයි. ඔවුන් අද අනෙක් රටවලට ණය ලබා දෙන රාජ්‍ය බවට පත්වෙලා ඉන්නේ. ඉන් පැහැදිලි වන්නේ, ණය ලබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවයි. අවශ්‍ය වෙන්නේ කෙටිකාලීන, දිගුකාලීන ඉලක්ක ප්‍රමුඛතා හඳුනාගෙන ණය යෙදවීමයි. 1948දී අපේ රට නිදහස ලබන කොට ආසියාවේ සමෘද්ධිමත් ම ආර්ථිකයකට හිමිකම් කිව්වා. කෙසේ හෝ 1960 දශකය අගභාගයේ ඉඳලා නොණ්ඩි ගහන, දුම් දමන, ආබාධිත තත්ත්වයන් පෙන්නුම් කරන්න පටන් ගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලවත් අවශ්‍යතාව මතු වී තිබෙන ආර්ථික අර්බුදයක් දක්වා රට ගමන් කළේ, බලයේ සිටි සෑම ආණ්ඩුවක් ම ප්‍රායෝගිකව නිසි ලෙස ණය කළමනාකරණය නොකළ නිසයි.

■  අපි ලබා ගත් ණය අර්බුදයක් දක්වා ගමන් කළේ කොහොමද?

මූලික වශයෙන් මම දකින්නේ, ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් යොදවා ගැනීම්වලින් බැහැර වෙලා දෛනික පරිභෝජන උදෙසා සහ දෛනික සුඛවිහරණ කටයුතු උදෙසා යොදා ගත් නිසා බවයි. ඒ වාගේ ම ණය යොදා ගැනීමේ දී විශාල වශයෙන් සිදු කරන ලද වංචා, දූෂණ ඉතා ම ඉහළ ප්‍රමුඛතාවක තිබෙනවා. ඒ වාගේ ම මම ඉස්සෙල්ලා සඳහන් කළ පරිදි නිවැරදි ආර්ථික දැක්මකට අනුව ප්‍රමුඛතාවලට ණය යොදා නොගැනීම නිසා මේ බලවත් අර්බුදය ඇති වී තිබෙනවා.

අද තියෙන ප්‍රශ්නයේ ගැඹුර මෙන්න මේ මූලික කරුණු මත ඇති වී තිබෙන බව පැහැදිලියි. ලබා ගත් ණය කෙටිකාලීනව ප්‍රදර්ශනකාමී ජීවිතවලට වැය කිරීම වගකීම් විරහිතව සියලු ම ආණ්ඩු ක්‍රියා කර  තිබෙනවා. නමුත් ඒ ඇත්ත තත්ත්වය දේශපාලනඥයන් සහ ඉහළ නිලධාරීන් වසන් කරමින්, දිගින්දිගට ම රටේ සාමාන්‍ය මිනිසුන්ට කීවේ, තම පාලනය යටතේ ආර්ථිකය සංවර්ධනය වන බවයි; ණය ආපසු ගෙවීමේ කිසිදු ප්‍රශ්නයක් මතු නොවන බවයි.

ණය කළමනාකරණය යනු පොලියත් සමඟ ණය ආපසු ගෙවීමේ ශක්‍යතාව තියෙන ආයෝජනවල යෙදවීමයි. ඒ ආයෝජන ආදායම්වලින් ණය වාරික සහ පොලිය ගෙවා තවත් සංවර්ධන කටයුතුවල ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපයීමට යොදා ගත හැකියි. නමුත්, මේ දැක්මක් සහ වගකීමක් සහිතව ණය භාවිත නොකිරීමෙන් අද තියෙන අර්බුදය මෝරා ඇති බවයි, මගේ අදහස. දේශපාලනඥයන් සතුටු වන ආකාරයට ණය යොදා ගැනීමෙන් රට අභ්‍යන්තරවත්, ලෝකයා හමුවේත් ආර්ථික වශයෙන් අර්බුදයකට ගිහින් තිබෙනවා.

■  අපේ රට තුළින් ණය අර්බුදයක් ගැන අනතුරු ඇඟවූවත්, ජාත්‍යන්තරයෙන් මෑතක් වන තුරු එවැනි පුරෝකථනයන් කළේ නැහැ නේද?

කොහොම කොහොම හරි කාලෙන් කාලෙට වෙනත් මාර්ගවලින් ලබා ගත් ආදායම්වලින් ණය ආපසු ගෙව්වා. තවත් විදියකට කියනවා නම්, ණය ආයෝජනයෙන් ආදායම් උත්පාදනය නොකළාට වෙනත් විකල්ප ආදායම්වලින් ණය ගෙවීමේ හැකියාව මේ දක්වා තිබුණා. උදාහරණ හැටියට තේ, පොල්, රබර්වලින් වේවා, සංචාරක කර්මාන්තයෙන් වේවා ආදායම් ඉපැයීමේ හැකියාව අපේ රටට තිබුණා. රටේ භෞතික පිහිටීම සහ ඊට අනුව ගොඩනැඟී තිබෙන සම්පත් නිසයි, ඒ අමතර වාසිසහගත අවස්ථාව මේ දක්වා පැවැතුණේ.

නමුත් මෑත ඉතිහාසයේ දැනට දශක තුනක පමණ සිට ණය ගෙවීමේ හැකියාව ප්‍රබල වශයෙන් ම රඳාපැවැතුණේ, නුපුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට ගිහින් මේ රටට එවූ විදේශ මුදල්වලින්. මුල් කාලයේ ගත්ත ණය සහ පොලිය ගෙවීමේ විශාල ශක්‍යතාවක් තිබුණේ, මේ නුපුහුණු ශ්‍රමිකයන් ඉපැයූ විදේශ විනිමයයි. විෂම චක්‍රයක් හැටියට දශක තුනක් පමණ මේ තත්ත්වය ගමන් කළා. ආණ්ඩු ලබා ගන්නා ණය වගකීම් විරහිතව භාවිත කරද්දී, මේ දක්වා ණය වාරික සහ පොලිය ගෙවීමේ හැකියාව ලබා දුන්නේ, මේ රටේ දුප්පත් මිනිස්සු විදේශගත වෙලා උපයා දුන් සල්ලිවලින්. ඒ නිසා ජාත්‍යන්තරය හමුවේ මේ දක්වා අපි අසාධු ලේඛනගත වුණේ නැහැ. මේ නිසා විදේශ රටවලින් සහ අපට ණය දෙන ආයතනවලින් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් අවධානය යොමු කරන්නේ, අප රට තුළ ණය නිසි ලෙස යොදවනවා ද යන්න ගැන නොවෙයි. තමන්ගේ ණය වාරිකයයි, පොලියයි දෙක නිසි ලෙස ලැබෙනවා ද කියලයි. ඒ නිසා ඔවුන් අපට ණය ලබා දීම දිගට ම කරගෙන ආවා. ගත්ත ණය කොහෙන් හරි ගෙව්ව නිසා ලෝකය ඉදිරියේ අපට කළු පැල්ලමක් ඇති වුණේ නැහැ.

මීට අමතරව ගත් ණය පියවන්න තවත් ණය ගැනීමේ හැකියාවත් මේ දක්වා තිබුණා. මෙහෙම වෙන කොට අපට ණය ලබා දෙන ආයතන වැඩි අවධානයක් රට කෙරෙහි යොමු කළා. ඔවුන් ණය කළමනාකරණය ගැන රජයට බලපෑම් කරන්න පටන් ගත්තේ, ගත්ත ණය ගෙවන්න නැවත ණය ගන්නා අවස්ථාවේ දී. මේ අතර ඒකපුද්ගල ණය ප්‍රමාණය දිගින්දිගට ම ඉහළ යමින් පැවැතුණා වාගේ ම විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් ණය සහ පොලිය ආපසු ගෙවීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයකුත් වර්ධනය වුණා. කවදාවත් නොතිබුණු ණය අර්බුදයක් හරහා ආර්ථික අර්බුදයක් දක්වා රට වේගයෙන් තල්ලු වෙමින් යනවා.

■  ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ මොකක්ද?

ණය වාරික ගෙවීමේ හැකියාව අඩු වෙද්දී, ලබා දෙන විවිධ සහනයන් මේ නමින් හඳුන්වනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කරන බව දකින්න පුළුවන්. ණය කපාහැරීම එක ක්‍රමයක්. ලෝකයේ රටවල් මුහුණ දෙන අනපේක්‍ෂිත බරපතළ තත්ත්වයන් හි දී විශේෂයෙන් ම ණය කපාහරිනවා. මෙයත් ආකාර කීපයකට සිදු කෙරෙනවා. පොලිය කපාහැරීම, ණය වාරිකවලින් කිසියම් ප්‍රමාණයක් කපාහැරීම වාගේ මූලික ආකාර තිබෙනවා. අපේ රටට සුනාමි විපත සිදු වූ අවස්ථාවේ මේ වාගේ ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් විවිධ සහන ලැබුණා. ලෝකයේ වෙනත් රටවලටත් එහෙමයි. ඒ වාගේ ම ලෝක ආර්ථික අර්බුද හමුවේ රටවල් බලවත් තර්ජනයකට ලක් වීමේ දී ණය කපාහරිනවා. කොරියාව වාගේ රටවලට එහෙම කළ අතීතයක් තිබුණා.

ඊ ළඟට ණය ගෙවීමේ කාලය දීර්ඝ කර දීමත් එක ක්‍රමයක්. අර්බුදයට ලක් වී තිබෙන රට එක්ක සාකච්ඡා කරලා, පොලිය අඩු කිරීම, ණය වාරික සහ පොලිය ගෙවීමට ලබා දෙන කාලය දීර්ඝ කිරීම වාගේ ක්‍රියාමාර්ග මෙහි දී අනුගමනය කරනවා. ඒ වාගේ ම ඉතා කලාතුරකින් අනුගමනය කරන ක්‍රමයකුත් තිබෙනවා. ගෙවීමට තිබෙන නමුත්, ගෙවීමට නොහැකිව හිර වී ඇති ණය වෙනුවට අලුත් ණයක් ලබා දීම. මේක ඉතා පරිස්සමට කරන දෙයක්. ණය ලබා ගත් රට අනුගමනය කළ අසාර්ථක වූ ආර්ථික ක්‍රියාමාර්ග වෙනුවට නව ආර්ථික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීම තුළින් යථා තත්ත්වයට පත් වීමේ ඉඩ ලබා දීම මෙයින් සිදු කෙරෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඇත්තට ම මේ අවස්ථාව ඉතා ම වැදගත්. මෙතැන තියෙන්නේ, ආර්ථික ක්‍රියාමාර්ග විතරක් නොවෙයි. බරපතළ දේශපාලනික දෘෂ්ටිවාදී වෙනස්කම් තුළින් අනුගමනය කරන ක්‍රියාමාර්ග ඉවහල් වෙනවා. සරලව කියනවා නම්, අංගුලිමාල රහත් වුණා වාගේ සම්පූර්ණයෙන් වෙනස් ක්‍රියාමාර්ගයකට යොමු වීම තුළින් මේ ප්‍රගතිය ගන්න පුළුවන්.  ලෝකයට එවැනි විශ්වාසයක් දීමේ දේශපාලන නායකත්වයක් මෙහි දී අවශ්‍ය වෙනවා. අපේ රට අලුත් මාවතකට, අලුත් ගමනකට දැක්මක් සහිතව යන බව රට අභ්‍යන්තරයට වාගේ ම ජාත්‍යන්තරයටත් තහවුරු වෙන්න ඕනෑ. ඒ ප්‍රතිරූපය ලෝකයට දීලා, ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම්, ඒක ප්‍රශ්නයක් නොවෙයි.

මම මේ කතා කරන්නේ, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදවලට වඩා ප්‍රතිව්‍යුහගත කිරීමේ පදනම මොකක් ද කියන එක ගැනයි. සරලව කියනවා නම්, දිනපතා ම බොන මනුස්සයකුට අවවාද කරලා, දියුණු වෙන්න ආධාර කළාට පහුවදා ඉඳලා ම නැවතත් ඒ වැඬේ කරනවා නම්, වැඩක් නැහැ. බොන්නේ නෑ කියලා පොරොන්දු දෙනවා වාගේ ප්‍රතිව්‍යුහගතකරණයේ දී බොරු පොරොන්දු දුන්නොත්, අපේ රටට සිදු වෙන්නේ අනාගතයේ කිසි දවසක ලෝකයේ අනුග්‍රහය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමයි.

ඒ නිසා ආණ්ඩුව දැන් ලෝකයෙන් ඉල්ලා සිටින ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ, අතිශය තීරණාත්මක තත්ත්වයක්. බලයේ සිටින අය මේ රට රෑ වැටුණු වළේ දවාලෙත් හෙළුවොත්, මේ රටේ ජනතාව නැවත නැවත රැවටීමට ලක් වීම භාර ගත්තත්, ලෝකයා ඊට සූදානම් වන එකක් නැහැ. මේ රටේ ජනතාව නම්, දවල් වැටුණු වළේ ආයෙ ආයෙත් මහ දවල් ම ඇදගෙන වැටීමට රුචිකත්වයක් දක්වන බවක් පේනවා. ගෙවුණු කාලය පුරා ම ඔවුන් ඡන්දය භාවිත කළේ ඒ විදියට. හැබැයි, ලෝකයා ඊට සූදානම් වෙන එකක් නැහැ. ප්‍රතිව්‍යුහගත කරන හේතුව පැහැදිලිව ලෝකයට දිය යුතු බවයි, මම කියන්නේ.

■  නමුත්, ලෝකය මේ වෙනකොට අපේ රට ණය අර්බුදයකට යන රටවල් දහය අතරට ඇතුළත් කරලා තිබෙනවා. මේ ගැන ඔබ දකින්නේ කො‍හොමද?

ආර්ථික අර්බුදයට මූලික ප්‍රබල ලක්‍ෂණයක් තමයි, ණය ආපසු ගෙවීමේ හැකියාව අහිමි වීම. ගෙවා ගැනීමේ හැකියාව අහිමි වීම ඕනෑ රටකට එන්න පුළුවන්. හැබැයි, මෙතැන දී ඉතා ම පරිස්සමින් තේරුම් ගත යුත්තේ, ණය ගෙවා ගැනීමේ හැකියාව නැති වුණේ ඇයි කියන එකයි. සුනාමියක් ඇවිල්ලා හරි ලෝකයේ බරපතළ ආර්ථික අර්බුදයක ප්‍රතිවිපාක හැටියට හරි එහෙම වෙනවා නම්, ඒ තත්ත්වයට මුහුණ දීමට අනුග්‍රහය ලෝකයෙන් ලබා ගන්න පුළුවන්. නමුත්, දැන් ඇති වී තිබෙන්නේ, අපේ රටේ ණය යෙදැවීමේ දී අනුගමනය කළ දේශපාලනික අවස්ථාවාදී ක්‍රියාමාර්ගයි. ලෝකය කල්පනා කර බලන්නේ, මෙන්න මේ වාගේ තත්ත්වයන්. දැනටමත් ලෝකය අපේ රට ඔය තත්ත්වයට හෙළා තිබෙන්නේ, සුනාමිය වාගේ ස්වාභාවික ආපදාවක් නිසා නොවෙයි. මෙතැන තියෙන බරපතළ ම අනතුර ඒක.

ඉන්ද්‍රසිරි ජයසුන්දර

Previous articleකෙජ්රිවාල්ගේ ජයග්‍රහණය සහ දිල්ලි වැසියන්ගේ උපයෝගීතාවාදය
Next articleසිංගර් වෙතින් සුළු පරිමාණ කර්මාන්ත සඳහා මහන මැෂින් මාදිලි ගණනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here