කෙජ්රිවාල්ගේ ජයග්‍රහණය සහ දිල්ලි වැසියන්ගේ උපයෝගීතාවාදය

මෙම ජයග්‍රහණයේ ඇති විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිල්ලියේ සියලු ආසන භාරතීය ජනතා පක්ෂය දිනා ගන්නා තත්ත්වයක් තුළ මෙවැන්නක් සිදුවීමයි. පසුගිය ආසන්න මැතිවරණයේ දී ද තත්ත්වය එයම විය. ඒ අනුව නැවතත් පැවැත්වෙන මහ මැතිවරණයක දී ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරනු ඇත.

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් මෙවරත් අරවින්ද් කෙජ්රිවාල් ප්‍රමුඛ ආම් ආද්මි පක්ෂය අද අති විශිෂ්ට ජයක් ලබා තිබේ. ආසන 70න් 62ක් ඔවුන් දිනා ගන්නා ලද අතර, රාජ්‍ය බලය හොබවන භාරතීය ජනතා පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 8ක් පමණි. පසුගිය වතාවේ ද තත්ත්වය මෙසේම වූ අතර එහි දී ආම් ආද්මි පක්ෂය මීට වඩා ආසන කිහිපයක් වැඩියෙන් සහ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මීට වඩා ආසන කිහිපයක් අඩුවෙන් දිනා ගනු ලැබීය.

මෙසේ කෙජ්රිවාල් නවදිල්ලියේ මහ ඇමතිවරයා වශයෙන් පත් වන්නේ තුන් වන වරටය. 45 හැවිරිදි ඉංජිනේරු උපාධිධාරියකු වන අරවින්ද් කෙජ්රිවාල් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ක්‍රියාධරයෙකි. පසුගිය කාලයේ අන්නා හසාරේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී සටනේ නායකයෙකි. නවදිල්ලියේ බලයේ සිටි ශීලා දික්ෂිත්ගේ කොන්ග්‍රස් පාලනය හමාර කරමින් පළමුවරට විශිෂ්ට ජයක් ලබාගන්නට අරවින්ද් කෙජ්රිවාල්ගේ අවුරුදු දෙකක් වයසැති ආම් ආද්මි පක්ෂය 2015දී සමත් විය. සිය ජයග්‍රහණයෙන් පසුව නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව ඉදිරිපිට දී කෙජ්රිවාල් සිය දිවුරුම් දීම සිදු කළේය. ඒ සඳහා අති විශාල ජනතාවක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ජයග්‍රහණය පිළිබඳ අදහස පළ කරමින් කෙජ්රිවාල් ප්‍රකාශ කළේ මෙය ඉන්දීය මාතාවගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවයි.

එහෙත්, මෙම ජයග්‍රහණයේ ඇති විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිල්ලියේ සියලු ආසන භාරතීය ජනතා පක්ෂය දිනා ගන්නා තත්ත්වයක් තුළ මෙවැන්නක් සිදුවීමයි. පසුගිය ආසන්න මැතිවරණයේ දී ද තත්ත්වය එයම විය. ඒ අනුව නැවතත් පැවැත්වෙන මහ මැතිවරණයක දී ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරනු ඇත. එයින් පැහැදිලි වන්නේ ප්‍රාන්ත මැතිවරණයෙන් අරවින්ද් කෙජ්රිවාල් ප්‍රමුඛ ආම් ආද්මි පක්ෂය දිනවන්නට කටයුතු කළ සැලකිය යුතු ඡන්දදායකයන් ප්‍රමාණයක් මහ මැතිවරණයේ දී මෝදිගේ බීජේපීයට ඡන්දය දුන් අය බවයි.

ප්‍රාන්ත මැතිවරණයේ දී ඔවුන් කේජ්රිවාල්ගේ පක්ෂයට සිය ඡන්දය ලබා දෙන්නේ මෝදිගේ පක්ෂය ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රවේශයක් සහිතව සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ තත්ත්වයක් තුළය. දිල්ලි වැසියන් ජාතිවාදය සහ ආගම්වාදය ප්‍රතික්ෂේප කර ඇතැයි ඒ අනුව ඇතැමකුට තර්ක කළ හැකිය. එහෙත්, එය එසේම නම්, මහ මැතිවරණයේ දී මෝදිගේ පක්ෂය දිනන්නට හේතුවක් නැත. අනෙක් පසින් මැතිවරණය පුරාවට ඡන්දදායකයාගේ වර්ගවාදී, ආගම්වාදී භාවයන්ට අමතන්නට බීජේපීය දැරූ කිසිදු වෑයමක් සඵල වී නැත.

ලංකාවට ආසන්න ජනගහනයක් සිටින දිල්ලි ද ඇතුළු සියලුම ප්‍රාන්ත ආණ්ඩු ඉන්දීය ව්‍යවස්ථාව අනුව බලවත් දේශපාලන ඒකකයන් ය. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය ආදී ජන ජීවිතයේ සියලු අංගවලට අදාළ බරපතළ මැදිහත් වීම් සිදු වන්නේ මේ ප්‍රාන්ත ආණ්ඩු හරහා ය. ආම් ආද්මි යනු අලුත් පක්ෂයක් වන අතර, එය ප්‍රාන්ත තලයේ දේශපාලනයට එන්නේ 2013දී ය. 2015 සිට ඔවුන්ගේ සුබසාධනවාදී දේශපාලනය සැලකිය යුතු පිරිසකගේ ප්‍රසාදයට ලක් විය. ඒ නිසා ඔවුන් බීජේපීයට ඡන්දය නොදී ඇත්තේ ඒ ගැන ඇති කලකිරීම නිසා නොව බීජේපීයට වඩා හොඳින් මේ වැඩ කොටස කළ හැක්කේ කෙජ්රිවාල්ගේ පක්ෂයට බවට දන්නා නිසා ය. එය හොඳින්ම පසක් කරමින් මැතිවරණය ආසන්නයේ ජනතාව අතර නිතර ඇසුණු කතාවක් වූයේ, “ජාතික තලයට බීජේපී වුවත්, ප්‍රාන්ත තලයට ආම් ආද්මි” යන්නයි. එය එක්තරා ආකාරයක උපයෝගීතාවාදී දේශපාලන භාවිතාවකි.

චතුර දිසානායක

Comments are closed.