‘යක්ෂයගෙ අංකය’ හැඳි කුසල් අවාසනාව පරාජය කරයිද ?

මේ පොටෝ එක දැක්ක ගමන් මට මතක් උනේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ ටිරියන් ලැනිස්ටර් කියපු කතාවක්…

“ඔබ කව්ද කියන එක අමතක කරන්න එපා… මොකද ලෝකයා කවදාවත් ඒක අමතක කරන්නෑ… ඔබේ දුර්වලකම් සන්නාහයක් වගේ පළදින්න… එතකොට ඔබේ දුර්වලකම් පාවිච්චි කරලා ඔබට රිද්දන්න කාටවත්ම බැරි වේවි…”

අංක 13 කියන්නෙ අවාසනාවෙ අංකය. ඒක ඇත්තක් උනත්, බොරුවක් උනත් 13 අවාසනාවන්තයි කියන එක මුළු ලෝකෙම ප්‍රසිද්ධ කරුණක්. ක්‍රිකට්වලදිත් 13 කියන්නෙ අවාසනාවන්ත අංකයක් කියලයි මතයක් තියෙන්නෙ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයො අතර මතයක් තියෙනවා ශතකයකට ලකුණු 13 ක් අඩුවෙන් තියෙද්දි, ඒ කියන්නෙ ලකුණු 87 දි පිතිකරුවෙක් දැවී යන්න තියෙන හැකියාව ගොඩක් වැඩියි කියලා. මේ හින්ද ක්‍රිකට්වල දි 87 ‘යක්ෂයගෙ අංකය’ කියලයි කියන්නෙ.

මේ යක්ෂයගෙ අංකය කියන කතාව ආරම්භ වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුනු තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වුණු කීත් මිලර්ගෙන්. පොඩිකාලෙ මිලර්ගෙ ක්‍රිකට් ලෝකෙ වීරයා වෙන්නෙ සර් ඩොනන් බ්‍රැඩ්මන්. 1929 දි කීත් මිලර් නිව් සවුත් වේල්ස් කණ්ඩායමයි, වික්ටෝරියා කණ්ඩායමයි අතරෙ පැවැත්වුණු ක්‍රිකට් තරගයක් නරඹන්න යනවා. එතකොට මිලර්ගෙ වයස අවුරුදු 10 ක් විතර. මෙතනදි මිලර් දකිනවා තමන්ගෙ වීරයා ඩොනන් බ්‍රැඩ්මන් දැවී යන හැටි. වහාම ලකුණු පුවරුව දිහා බලන මිලර් දකින්නෙ බ්‍රැඩ්මන් ලකුණු 87 දි දැවී ගිය බව. ඉතින් ඒ සිද්ධිය මිලර්ගෙ හිතේ තදින් සටහන් වෙනවා.

ඊටපස්සෙ මිලර් පුවත්පත්වල ක්‍රිකට් තරඟවල විස්තර කියවද්දි නිතරම දකිනවා පිතිකරුවො ලකුණු 87 දි දැවී ගිහින් තියෙන හැටි. පස්සෙ කාලෙක මිලර් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරද්දිත් දකිනවා පිතිකරුවො ලකුණු 87 දි දැවී යනවා. මිලර් තමන්ගෙ සහෝදර ක්‍රීඩකයො එක්ක කියනවා තමන් පොඩි කාලෙදි බ්‍රැඩ්මන් ලකුණු 87 ට දැවී යනවා දැකපු බවත්, 87 කියන්නෙ අවාසනාවන් අංකයක් බවත්. ඉතින් මේ කතාව ඉක්මනින්ම ක්‍රීඩකයො අතර පැතිරිලා යනවා. 87 කියන්නෙ යක්ෂයගෙ අංකය කියන මතයක් ක්‍රිකට් ක්‍රීඩකයො අතර ඇතිවෙනවා. 87 සහ ශතකය අතර පරතරය ලකුණු 13 ක් වීමත් මේ කතාව ඒ තරම් පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති.

කොහොමවුනත් පස්සෙ කාලෙක කීත් මිලර් හොයාගන්නවා තමන්ට පොඩිකාලෙ උනේ වැරදීමක් කියලා. එදා තරගයෙදි බ්‍රැඩ්මන් දැවී ගිහින් තියෙන්නෙ ලකුණු 89 දි. ලකුණු පුවරුවෙ ක්‍රියාකරුගෙ අතපසුවීමක් නිසා තමයි බ්‍රැඩ්මන් ලකුණු 87 දි දැවී ගිය බව මිලර් දැකලා තියෙන්නෙ. අඩුගානේ ඩොනන් බ්‍රැඩ්මන් තමන්ගෙ ක්‍රිකට් ජීවිතේ කවදාවත් ලකුණු 87 දි දැවී ගිහින් නෑ. ඒ වගේම පස්සෙ කාලෙක ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු කීත් මිලර්වත් තමන්ගෙ ක්‍රිකට් ජීවිතේ කවදාවත් ලකුණු 87 ට දැවී ගිහින් නෑ. හැබැයි මිලර් තමන්ගෙ ටෙස්‍ට් ක්‍රිකට් ජීවිතේදි ඉනිම් 87 ක් සෙල්ලම් කරලනම් තියෙනවා.

මිලර්ගෙ යක්ෂයගෙ ඉලක්කමේ කතාව බොරුවක් කියලා ඔප්පු උනත් තවමත් 13 සහ 87 අවාසනාවන්ත අංක කියන මතය ගොඩක් මිනිස්සු අතර තියෙනවා. කුසල් මෙන්ඩිස් උනත් මේක නොදැන ඉන්න විදිහක් නෑ. එහෙමනම් මෙන්ඩිස් අවාසනාවෙ අංකය තෝරගෙන තියෙන්නෙ හිතාමතාමයි.

අනිත් අතට කුසල් මෙන්ඩිස් කියන්නෙ මෑත කාලෙ බිහිවුණු අවාසනාවන්තම ක්‍රීඩකයා. කණ්ඩායමේ හිටියත්, කණ්ඩායමේ නොහිටියත්, ලකුණු ගැහුවත්, ලකුණු නොගැහුවත් හැමදාම ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන ක්‍රීඩකයා. හොඳට බැට් කරපු දවසට කැච් එකක් අත ඇරලා හරි ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන, පිතිකරණයයි පන්දු රැකීමයි දෙකම හොඳට කරපු දවසට තරගයෙ වීරයාට දුන්න බයික් එක පෙරළගෙන හරි ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන්න තරම් අවාසනාවන්ත වෙන ක්‍රීඩකයා. කොටින්ම 13 වගේම කුසල් මෙන්ඩිස් කියන්නෙත් අවාසනාවෙ සංකේතයක්. ඉතින් දැන් මෙන්ඩිස් ජර්සි අංකෙ විදිහට අංක 13 තෝරගෙන. තමන්ගෙ දුර්වලකම සන්නාහයක් වගේ පැළදගෙන.

අන්‍තිමටම මට මතක් වෙන්නෙ ගොඩක් පොඩිකාලෙ පත්තරේක ක්‍රීඩා පිටුවක තිබිලා කියවපු පොඩි වාක්‍යයක්. එතකොට නායකයා මහේල ජයවර්ධන. (මහේල කියන්නෙත් ලෝකෙ වැඩිම වාර ගාණක් බිංඳුවට අවුට් උන ලිස්ට් එකේ පස්වෙනියට ඉන්න වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම බිංදුසාර කෙනෙක්) කොහොමහරි එදා දිනන්න බැරි තත්වෙක තිබ්බ තරගයක් හෙන ගේමක් දීලා ලංකාව දිනලා තිබ්බා. තරගයෙන් පස්සෙ මාධ්‍ය අමතලා මහේල කතාකරනකොට කියපු එක වාක්‍යයක් තිබ්බා මට කවදාවත් අමතක නොවෙන. ඒ තරගෙවත්, ඒ සිද්ධියවත් මට මතක නැති උනාට ඒ වාක්‍ය හොඳටම මතකයි.

“එදා වාසනාව තිබ්බෙ අපේ පැත්තෙ නෙමෙයි… ඒත් අපි කොහොමහරි අවාසනාව පරාජය කළා…”

ඉතින් අපි බලන් ඉමු, කුසල් මෙන්ඩිසුත් අවාසනාව පරාජය කරයිද කියලා…

සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

Comments are closed.