නාට්‍ය විනිශ්චය කරුවන් පිළිබඳ විවාදය මෙතරම් ව්‍යාකූල ඇයි?

21

රාජ්‍ය නාට්‍ය උළෙල මේ දවස් වල පවත්වනවත් සමඟම සුපුරුදු පරිදි විනිශ්චයට වඩා සුදුසු අය කවුද කියන විවාදය පැන නැගිලා තියෙනවා. මේ ගැන මගේ අදහස එකතු කරන්නට කලින් පැහැදිලි කළ යුත්තේ මම ඉගෙනගත් සහ නියැලෙන මගේ පැෂන් එක වූ රංගකලා විශය මගේ පුද්ගලික පටු උවමනාවන් තකා කිසිදු ගුරුකුලයක් හෝ පුද්ගලයකු ඇති කරන්න හෝ නැති කරන්න භාවිතා නොකරන බව. ඒ අනූව මං මේ ගැන අදහස පළ කරන්නේ මම දන්නා නාට්‍ය කලාවේ දැණුම සහ න්‍යායන් වලට අනුව හැකි තරම් පුළුල් තැනක ඉදන් බව කිව යුතුයි.

මට කියවන්නට ලැබුණු විස්තර වලට අනුව නාට්‍ය කලාවේ න්‍යායාත්මක සහ දාර්ශනික පැත්ත පිළිබඳව තියන අඩු දැනුම වාර්ෂිකව මෙන් පැන නගින මෙම නාට්‍ය විනිශ්චය කරුවන් පිළිබඳ විවාදය මෙතරම් ව්‍යාකූල වීමට ප්‍රධාන හේතුවයි. ඒ වගේම ලෝකය පුරා නාට්‍ය උත්සව අවුරුදු දහස් ගානක් තිස්සෙ පවත්වන අතර එදා මෙදා තුර වඩාම දියුණු ලෙස විනිශ්චය මණ්ඩල තෝරන වර්තමානයේ අන්තර්ජාතික නාට්‍ය කලාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම සහ අත්දැකීම් සිංහල නාට්‍ය කලාව ප්‍රමාණවත්ව ඇසුරුකර නැතිවීම අනිත් හේතුවයි. එනම් වඩා හොඳ විනිශ්ච මණ්ඩලයක් තෝරා ගන්නා ආකාරයට අපිට ආදර්ශයට ගැනීමට ඕනෑ තරම් ආදර්ශ උදාහරණ ලෝකය පුරා තියෙනවා.

නාට්‍ය විනිශ්යකරුවෙක් හෝ විචාරකයෙක් වීම

නාට්‍ය කලාවේ තියෙන නිෂ්පාදනය, රචනය, අධ්‍යක්ෂණය විචාරය හා රංගනය ආදී අංශවල් එකිනෙකා මත අන්තර් සම්බන්ධතාවයක් තියණ නමුදු ඒ වගේම ඒවා වෙනම විෂයන්. එක් විෂයයක පරිණත වූ පමණින් අනිත් විෂය කරන්න පුළුවන් බවක් අදහස් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, හොඳ නාට්‍ය විචාරකයෙක් කියන්නේ අවශ්‍යයෙන්ම හොඳ නාට්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ අනුව ලෝකයේ සිටින බොහෝ නාට්‍ය විචාරකයින් හා විනිශ්චයකරුවන් නාට්‍ය කලාවේ නිෂ්පාදනය රංගනය අධ්‍යක්ෂණය ආදියෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල සිටින අය නොවන නමුත් නාට්‍ය කළාව පිළිබඳව හොඳ දැනුමක් අත්දැකීමක් රසිකත්වයක් තියෙන අයයි. හොද විනිශ්යකරුවෙක් හෝ විචාරකයෙක් වීමට නිරන්තරයෙන් නාට්‍යවල නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වල නියැළී සිටිය යුතුයි කියා ලංකාවේ සමහරු විශ්වාස කරන දේ පදනම් විරහිතයි. මොකද එසේ සිටි පමණින්ම නාට්‍ය කලාව දැනුමක් රසයක් හා විචාරය පිළිබඳ ප්‍රවීණත්වයක් ඇතිවෙනවා කියලා කොහෙන්වත් තහවුරු වෙලා නෑ. ඕනෑම නාට්‍ය ක්ෂේත්‍රයක නිරන්තරයෙන් නාට්‍ය කලාවේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදිලා ඉන්න අය සුලබව ඉන්න අතර එය අවශ්‍යයෙන්ම නාට්‍ය විනිශ්චයට ගන්න සුදුසුකමක් වෙන්නේ නැහැ. දසවස් ගණනාවක් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව තුළ පොත්පත් ආදිය පවා ලියා පළ කරල විවිධාකාර ක්‍රියාකාරකම්වල නිරත වී ඉන්න ඒත් තවමත් නාට්‍ය කලාව, ඊට අදාළ දේශපාලනය සහ සෞන්දර්යය පමණක් නොව ජීවිතය ගැන ම ඉතාම පටු අදහස් දරන්නන් මම ඕනෑ තරම් ලංකාවේන් පෙන්නල දෙන්නම්. ඒ වගේම නාට්‍ය කලාව පිළිබඳව විභාග පිට විභාග ගත්ත සමහරුන් ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. කෙසේ හෝ නාට්‍ය විනිශ්චයක් සඳහා හොඳ දියුණු ඇහැක් සහ රසිකත්වයක් ඇති වීමට නම් ඉතා පුළුල් මට්ටමෙන් නාට්‍ය නරඹා තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ බොහෝ නාට්‍ය විනිශ්චකරුවන් සම්බන්ධයෙන් මම අත්දැකලා තියෙන ගැටලුවක් නම් ඔවුන් ලංකාවේ ඇතුලේ නිෂ්පාදනය කරන යම් නාට්‍ය ප්‍රමාණයක් දැක තිබීමත් මොනවහරි නාට්‍ය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙලා තිබීමත් හැරුණුකොට ලෝකයේ නිෂ්පාදන වෙන නාට්‍ය, සමකාලීන කලාව සහ සෞන්දර්ය සංකල්ප ඒවායේ දේශපාලනික හා දාර්ශනික ගැඹුර ගැන ප්‍රමාණවත් පුළුල් අවබෝධයක් නැති වීමයි. කෙනෙකුට එවැනි දැනුමක් අවබෝධයක් තියෙන බව නිරීක්ෂණය කිරීමට ඔහු හෝ ඇය නාට්‍ය නිර්මාණම කළ යුතු නැහැ. පුද්ගලයාගේ තවත් විවිධාකාර නිෂ්පාදන, උදාහරණ සම්මුඛ සාකච්ඡා, ලිපි ලේඛන හා වෙනත් කලා භාවිතාවන් ආදිය තුළින් ඒ කියන අවබෝධය තියෙනව ද නැද්ද යන්න ඉතා පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. පුළුල් අර්ථයෙන් නිර්මාණ විතරක් නෙමෙයි ඒ සියල්ලම පුද්ගල නිෂ්පාදන සහ භාවිතාවන් විදිහටයි අපි සලකන්නේ.

නාට්‍ය‍ විනිශ්චයට සුදුසු ද

මේ වෙනකොට පෙනෙන විදියට විවේචනය එල්ල වෙලා තියෙන්නේ සෞම්‍ය ලියනගේ සහ අශෝක හඳගම වැන්නන් විනිශ්චයට සුදුසු ද නැද්ද කියන කාරණයටයි. මගේ අදහසනම්, මම ඉහත පැහැදිලි කරපු විස්තර වලට අනුව ඔවුන් දෙදෙනා නාට්‍ය‍ විනිශ්චය සඳහා සුදුසු දෙනෙක් බවයි. ඒ දෙදෙනාම ඉහත මම කියපු කාරණා ඔවුන්ගේ විවිධ භාවිතාවන් සහ ප්‍රකාශ තුලින් ඉතා හොඳින් පැහැදිලිව පෙන්නල තියෙනවා. හඳගම නාට්‍ය රචකයෙක් සහ නිෂ්පාදකවරයෙක් විදිහට ගත්තොත්, කවදා හෝ ඔහු අවසානයට කර ඇති නාට්‍යයක (උදාහරණය මාඝාත වැනි ) සංකල්ප තාමත් වර්තමාන බොහෝ සිංහල kitchen sink නාට්‍ය වලට වඩා ඉදිරියෙන් ඇති බව මගේ අදහසයි. ලෝක නාට්‍ය කලාවට අනුව යම්කිසි නාට්‍ය කලාවක් යල් පනින්නේ කාලයාට අනුව නෙමේ භාවිතාවන්ට අනුවයි. පිටපත් කීපයක් ඉතුරුවෙලා තියන අවුරුදු දහස් ගණන් පැරැණි ග්‍රීක නාට්‍ය අදත් අපි නිෂ්පාදනය කරන්නේ ඒ නිසයි. හඳගමගේ මාඝාත සංකල්පයක් විදියට අදටත් සමකාලීන නම් ඉන් කියන්නේ ඒ නාට්‍යකරුවා ද අදටත් අප්ඩේට් බවයි. ඒවාගේම ඔවුන් සුදුසු වූ පමණින් ඔවුන්ගේ සෑම විනිශ්චයකටම අපිට එකඟ වෙන්න පුළුවන් බවක් ඉන් කියන්නේ නෑ.

කෙසේ හෝ විනිශ්චයකරුවන්ගේ නාට්‍ය කලාවට අදාල නැති වෙනත් භාවිතාවන් සම්බන්ධ අප සෑම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන් අතර ඒ තත්ත්වය පාලනය කරන්න බෑ.එසේම ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රය අතිශය කුඩා මිනිස් සමාජයක්( Community) බැවින් මොන නාට්‍යය විනිශ්චකරුවා තෝරාගත්තත් ඔහු හෝ ඇය සමග පුද්ගලිකව පැටලුණු පිරිසක් ඉඳීම වළක්වන්නත් බෑ.

අප බොහෝ කාලයක සිට කරමින් සිටිය යෝජනාවක් නම්, ලෝක රංගකලාවේ ඉතා දියුණු මට්ටමට ගිහින් තිබෙන රංග විචාරයේ සිට විනිශ්චය දක්වා රංගකලා න්‍යායන් පිළිබඳවත් ඉතිහාසය ඇනලයිස් කිරීම ආදී විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳවත් සිංහලින් කියවන සමාජයට යම්කිසි දියුණු පරිවර්තන වැඩසටහනක් යටතේ දැනුම සංසරණය විය යුතු බව. අවසානයේ අප සේවය කළ යුත්තේ නාට්‍යකරුවන් ඇති නැති කරන්නේ කෙසේද කියන එකට නෙමෙයි, පටු ආකල්ප වලට පවතින්නට නොහැකි, වඩා දියුණු රංග කලාවකට පවතින්නට අවශ්‍ය පුළුල් සමාජ දේශපාලන යථාර්ථයක් ජය ගැනීමටයි. මගේ මේ සටහන ද ඒ වෙනුවෙන් විනා කිසිදු නාට්‍යකරුවෙක් වෙනුවෙන් නොවෙයි.

-ධනංජය කරුණාරත්න

Previous articleමා-ඔය වනසන මහ කුණු කන්ද
Next articleසයින්දමර්දු තීරණය තාවකාලිකව හකුලා ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here