කොල්ලකරුවෝ ගැලවුම්කරුවන්ට අඳින පානම

10

පොතුවිල් පොලිසිය විසින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවේ තීන්දුව 2015 මැයි මස 06 දින ප්‍රකාශයට පත් කෙරුණු අතර, විත්තිකරුවන් කර සිටි එම ගම්වැසියන් සියලු‍ දෙනාම නිදොස් කොට නිදහස් කෙරිණි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක හමුදා යොදවා පානම පාරම්පරික පදිංචිකරුවන් පලවාහැර බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් ඒවායේ උරුමකරුවන්ට නැවත ලබා දීමට ගත් කැබිනට් තීරණයට 2020 පෙබරවාරි 11 වැනිදාට පස් වසරක් සපිරිණි. මෙම කැබිනට් තීරණයට අමතරව මානව හිමිකම් කොමිසමේ තීන්දුවකින් ද, අධිකරණ තීන්දුවකින් ද එම ජනතාවගේ උරුමය නැවත ලබා දිය යුතු බවට තීරණය කර ඇතත්, මේ දක්වාම තමන්ට යුක්තිය ඉටු වී නැති බව පානම ජනතාව කියා සිටිති.

කැබිනට් තීරණයට පස් වසරක් සපිරීම නිමිති කරගෙන, පානම උරුමය දිනාගැනීමේ අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා පසුගිය අඟහරුවාදා (11දා) පානම විහාරස්ථානයේ දී පැවති මහජන රැස්වීමක දී මෙම අරගලයට අඛණ්ඩව නායකත්වය සපයන පානම චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ, උදුරා ගත් උරුමය නැවත ලබා දී, ජනතාවගේ ජීවන මාර්ග යළි නඟාසිටුවීම සඳහාත්, පානීය ජලය ඇතුළු මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහාත් කටයුතු කරන තුරු කිසිදු දේශපාලනඥයකුට හෝ පක්ෂයකට සහාය ලබා නොදීමට ගම්වැසියන් තීරණය කර ඇති බවයි. බලයේ සිටි සියලු‍ ආණ්ඩු සිය ජනතාවට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ජනතාව බරපතළ රැවටීමකට ලක් කර ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ඉඩම් කොල්ලයේ සුලමුල

පානම යනු, නැඟෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රදේශයයි. ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්යාය යන ජනාවාස ඊට අයත් ය. යුද සමයේ පවා විවිධ දුෂ්කරතා මැද ගම් බිම් රැකගෙන සිටි පානම ගම්වැසියන් සිය ඉතිහාසයේ දරුණුම අභියෝගයට ලක් වන්නේ යුද්ධය නිම වීමෙන් වසරකට පමණ පසු, 2010 ජූලි 17 වැනිදා ය. එදින මධ්‍යම රාත්‍රියේ මුහුණු බැඳගෙන ආයුධ සන්නද්ධව ගම්මානවලට කඩාවැදුණු පිරිසක් විසින් නිවාස සහ දේපළ ගිනිබත් කොට ගම්වැසියන්ට පහර දී පලවා හැරිණි. බෞද්ධ විහාරස්ථානයක් ද ගිනිබත් කෙරිණි. ගම්වාසීන් කියා සිටින්නේ, ප්‍රදේශීය දේශපාලකයකුගේ සහාය ඇතිව ගුවන් හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් මෙම අපරාධය සිදු කළ බවයි.

පසුව එම ඉඩම් ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් එකී චෝදනා සනාථ වන අතර, එසේ අත්පත් කර ගත් ඉඩම් ප‍්‍රමාණය අක්කර 1,220ක් ලෙස සැලකේ. එයින් අක්කර 480ක් පානම ජනතාවගේ පාරම්පරික ඉඩම් ය. අනෙක් අක්කර 840 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ය.

උරුමය උදෙසා අරගලය

මෙම ජනතාවගේ ඉඩම් නැවත ලබා දිය යුතු බවට නිර්දේශ කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය ඔවුන්ගේ අරගලයේ වැදගත් ජයග්‍රහණයකි. එමෙන් ම තම පාරම්පරික ඉඩම්වල රැඳී සිටි රාගම්වෙල පදිංචිකරුවන් 7දෙනෙකුට එරෙහිව පොතුවිල් පොලිසිය විසින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවේ තීන්දුව 2015 මැයි මස 06 දින ප්‍රකාශයට පත් කෙරුණු අතර, එම විත්තිකරුවන් සියලු‍ දෙනාම නිදොස් කොට නිදහස් කෙරිණි. මේ අතර, 2015දී රාජපක්ෂ රෙජීමය පරාජය වීමෙන් පසුව පත් වූ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 2015 පෙබරවාරි 11 වැනිදා තීරණය කළේ, හමුදාව විසින් දැනට ඉදිකිරීම් සිදු කර ඇති අක්කර 25ක භූමිභාගය හැර සෙසු ඉඩම් ප්‍රමාණය ඒවායේ මුල් හිමිකරුවන් වෙත නිදහස් කළ යුතු බවයි.

පැරණි නාඩගම සහ අලු‍ත් නාඩගම්

ඊනියා යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය පානම වැසියන්ගේ ඉඩම් යළි ලබා දීමට තීරණය කළ ද, ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වූ දයා ගමගේ අමාත්‍යවරයා එම තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමට ක්‍රියා කළ බව ගම්වැසියන්ගේ චෝදනාවයි. කැබිනට් තීරණයක් මෙන්ම අධිකරණ නියෝගයක් ද තිබිය දී ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා කර ඇති අස්වාභාවික ආකාරය එය තහවුරු කරන සාධකයකි. සංචාරක ව්‍යාපාරය සඳහා මෙම ඉඩම් අත් කර ගැනීම ඔහුගේ අභිලාෂය වූ බව පෙනේ.

එම දේශපාලකයාගේ බලය පිරිහෙන විට නව පාලනය පැත්තෙන් ඔහුගේ තැන ගන්නට කැසකවමින් සිටින හෝටල් ව්‍යාපාරිකයකු වන පොහොට්ටුවේ සංවිධායකවරයෙක් පානම ජනතාවගේ අලු‍ත්ම ගැලවුම්කරුවාගේ චරිතය රඟදක්වමින් සිටියි. 11 වැනිදා පානම ගම්වැසියන් හා ඔවුන්ගේ අරගලයට දිගු කලක පටන් සහාය වන සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් එක්ව පැවැත් වූ

රැස්වීමකට අනාරාධිතව පැමිණි මෙම දේශපාලකයා, රැස්වීමේ කටයුතු බලහත්කාරයෙන් සියතට ගෙන අර්බුදය විසඳීමට යැයි තමන් විසින් ම කමිටුවක් පත් කළේ ය. ඔහු සමඟ එහි පැමිණි පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයන් සියලු‍ දෙනාම එම කමිටුවට ඇතුළත් කළ ඔහු, එහි සභාපති ලෙස දිසාපතිවරයා නම් කළේ ය. කිසිදු නිල බලයක්ු නැති ඔහු, රාජ්‍ය නිලධාරීන් පවා තම අභිමතය පරිදි නම් කරමින් බලය ප්‍රදර්ශනය කළ අතර ක්‍රියාකාරිකයන් සියලු‍ දෙනාගේ තොරතුරු ලබාගෙන තිබේ.

රැස්වීම ආසන්නයේ නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ද යොදවා තිබිණි

ජීවන්ත ජයසේකර

Previous articlePickMe සමාගමේ තරිඳු කුමාරගේට Arizona State Universityයෙන් ශිෂ්‍යත්වයක්
Next articleමා-ඔය වනසන මහ කුණු කන්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here