‘ආදරය සහ කරුණාව පිරුණු රටක මම සුවය ලැබුවා’

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද (පෙබ:19) ජාතික බෝවන රෝහ විද්‍යාතනයෙන් (IDH)පිටව ගියේය.

ආදරය සහ කරුණාව පිරුණු රටක්

“ශ්‍රී ලංකාව ලස්සන ඒ වගේ ම ආදරය සහ කරුණාව පිරුණු රටකින් මට ප්‍රතිකාර කිරීම ගැන පමණක් නෙවේ මට දුන් ආදරය සහ ශක්තිය ගැනත් මම හැමදෙනාටම ස්තුතිවන්ත වනවා” යැයි එම චීන කාන්තාව(ලෝ යෑං) පැවසීය.

මේ අතර ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහභාගි වී සිටි අතර, ඇමතිනිය ප්‍රකාශ කළේ, අදාළ චීන ජාතික කාන්තාව සුවපත් කිරීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවය.

චීනය තුළ පමණක් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 2004ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද චීනයේ පමණක් මේ වන විට වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 74,185ක් වන බව අද (පෙබ:19) චීනය නිකුත් කළ නවතම වාර්තා වළ සඳහන් වේ.

මේ අතර චීනය ඇතුලූ ලෝකය කැළැඹීමකට ලක්කළ මාරන්තික කොරෝනා වෛරසය ඖෂධ කීපයක් යොදාගෙන මිනිස් සෛලවලට ඇතුලූවීම වැළැක්විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලාංකික පර්යේෂකයෝ කොරෝනා පාලනය කළ හැකියි

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්‍ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් ගේ ප‍්‍රධානත්වයෙන් ආචාර්ය කනිෂ්ක සෙනතිලක සහ මහාචාර්ය කමනි තෙන්නකොන් යනඅයගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

ජෛව තොරතුරු තාක්‍ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදා ගෙන සිදුකළ පර්යේෂණයට අනුව දැනට සායනික තත්ත්ව යටතේ භාවිතට ගැනෙන ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියමන ආයතනයේ අනුමැතිය ලත් ඖෂධ කීපයක් ආධාරයෙන් වෛරසය නිවාරණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂණ කණ්ඩායමට සොයා ගැනීම හැකිවිය.

ඉදිරි දින කීපය ඇතුළතදී තමන් සිදුකළ මෙම නව සොයාගැනීම පිළිබඳව විද්‍යාත්මක ප‍්‍රජාව වෙත මුදාහැරීමට සූදානමින් වන බව මෙම කණ්ඩායම පවසයි.

Comments are closed.