“අධිපීඩන මල් වැස්ස යටින්” දිවෙන දේශපාලන කවිය

1970 – 80 දශක කිහිපය තුල ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ සංවාදයන්ට බඳුන් වූ කාරණයක් වූයේ කලාව සමාජය වෙනුවෙන් ද? කලාව කලාව වෙනුවෙන් ද? යන ප්‍රකට කාරණයයි. එවකට කලා ක්ෂේත්‍රයේ දැවැන්තයින් ලෙස හඳුනාගෙන සිටි විකල්ප ධාරාවේ කලාකරුවෝ කලාව සමාජය වෙනුවෙන් යන කාරණය දැඩිව විශ්වාස කලා පමණක් නොව ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියෝය. ඊට පසු පරම්පරාව ද ඒ අනුව යමින් එය දේවභාෂිතයක් ලෙස ගෙන සිය නිර්මාණකරණයේ නියැලෙන්නට උත්සාහ ගනු පෙනිනි. නමුත් ඉන් දශක දෙක තුනකට පසු පෙර කී දැවැන්තයෝ සිය මුල් දේශපාලන දෘෂ්ටියෙන් ඉවත්ව කලාව කරගෙන ගිය අතර ඔවුන් අනුදත් පසු පරම්පරාව ඉන් අන්දමන්දව සිය නිර්මාණකරණයෙන් ඉවත්ව ජීවිතය ඉදිරියට ගෙන යනු දකින්නට ලැබුණි. විශේෂයෙන් ඒ පූර්වජයන් අනුදත් දේශපාලනය වූයේ එවකට ලොව පුරා පැතිරීගිය හා ගොස් තිබුණු මාක්ස්වාදී දේශපාලනයයි. එහි හාස්‍යජනක රූපාන්තරණය වන්නේ ඔවුහු සිය නිර්මාණකරණයේ දී අත්හැරියේ ද ඒ දේශපාලන දෘෂ්ටිවාදය විමයි.

ක්‍රියාකාරී දේශපාලන කවියේකුගේ නිර්මාණ

කෙසේ වෙතත් අද ද නිර්මාණකරණයේ නියැලෙන නූතන පරම්පරාව අතර සිය වාමවාදී දේශපාලන දෘෂ්ටිය මත පිහිටා නිර්මාණ කරණ අය දකින්නට ලැබේ. කලාව තුල යම් දේශපාලන දෘෂ්ටිවාදයක් තිබිය යුතු බව සත්‍යයකි. නිර්මාණකරුවාගේ සමාජ දේශපාලන දැක්ම සිය නිර්මාණයන් තුල යටින් දිවෙන අරුතක් ලෙස වැතිරේ. ඇතැම් හු සිය දේශපාලන දැක්ම ඍජු ප්‍රකාශයන් ලෙස සිය නිර්මාණයන්ට ඇතුලත් කරයි. මේවායේ සමාජ බලපෑම වෙනම තලයක සාකච්ඡා කළයුතු කාරණයකි.

රිවිහාර පින්නදූව විසින් රචිත කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන “අධිපීඩන මල්වැස්ස යටින්” කෘතිය ක්‍රියාකාරී දේශපාලන කවියේකුගේ නිර්මාණ එකතුවක් ලෙස සැළකීම වඩාත් යුක්ති සහගත වේ. ඔහුගේ කෘතියේ බහුතරයක් නිර්මාණ තුල ඔහු අනුදත් දේශපාලනය දැකිය හැකි අතර ඒවා ඍජු රළු ප්‍රකාශන ලෙසින්ම ඇතුලත් වී තිබීමද සුවිශේෂ කාරණයකි. ඇතැම් විට ඒවා හුදු සටන් පාඨ පමණකැයි ද, ඒ තුල කාව්‍යාත්මක බවක් නැතැයි ද කියා කෙනෙකුට ඒවා ඍජුවම බැහැර කළ හැකි වුවද රිවිහාර ගේ කවි තුල කාව්‍යාත්මක බවක්, සියුම් පරිකල්පනයක් නැතිවාම නොවේ. සාමාන්‍යයෙන් කවියක තිබිය යුතු බොහෝ සම්මත ලක්ෂණ වල සේයාවක් ඔහුගේ නිර්මාණ සියල්ලේම පාහේ දකින්නට ලැබේ. විටෙක ඒ සියල්ල යට ගොස් ඔහු පිළිගත් දේශපාලන දෘෂ්ටිවාදය ප්‍රබලව මතුවේ.

නගර සභාවෙන් ඇවිල්ලා
ගෙනියන් නෑනෙ කුණු ටික
ඉතිං මං හිතුවා හාරන්න
කුණු වලක් වත්ත පල්ලෙහා
උදුලු පාරවල් දෙක තුනක් වදිද්දිම
හමුබුණා ඇටසැකිලි
වර්ග දෙකකින්
සයනයිට් කරල් දාගත්ත ඇටසැකිලි
මල්මාල දාගත්ත රණවිරු ඇටසැකිලි
(ඇටසැකිලි – පිටුව 19)

රිවිහාර මේ කවියට නගන්නේ අපේ අමිහිරි කෘර ඉතිහාසයයි. පරම්පරා ගණනක් මරාදැමුන ඒ මිනීවලවල් උඩ සත්මහල් ප්‍රාසාද ඉදිවුණ ලේවැකි ඉතිහාසයයි. කුණු වල දශක ගණනක් අපසු හාරන විට එක් එක් කාලවල මරා දැමුණු මිනිසුන්ගේ ඇටසැකිලි මෙසේ හමුවේ. කවියේ කාව්‍යාත්මක බව, වක්‍රෝත්තිය, ව්‍යාංගය දැකිය හැකි නොවුන ද ඔහු ගේ අනුභූතිය අපට බැහැර කල නොහැකිය. ඒවා අපේ ජීවිත ඉතිහාසය තුල මකා දැමිය නොහැකි සටහන් ය.

ඍජු දේශපාලන සමාජ කාරණා

රිවිහාර ගේ “අධිපීඩන මල්වැස්ස යටින්” නිර්මාණ එකතුවේ එන කාව්‍යයන් බැලූ බැල්මට කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. බහුතරයක් ඍජු දේශපාලන සමාජ කාරණා කවිකිරීමට ගත් උත්සාහයන් ය. අනෙක් කොටස ප්‍රේමය විවාහය වැනි ලෞකික කාරණා හා බැඳුනු නිර්මාණයන් ය. එහෙත් මේ සෑම එකකම සියුම්ව කිසියම් දේශපාලන දෘෂ්ටියක් පවතී. ඔහු විශ්වාස කරණ ලෙස මානවයා හා බැඳුනු සියලු කාරණා දේශපාලනිකය. එය සමාජ සත්‍යයකි.

දුක සඟවනා ඇස් යට
සිනහවක් තවරගෙන
දුරක ගහන් යන ජීවිත
ළඟදි සිල්ගන්න ඕසෙට
පාර අද්දර ඉඳගෙන
අතපාන පොඩි එටකක් මුව අග
මුමුණනා ගීයක පදවැලට
ආණ්ඩු පෙරලන රතිඤ්ඤාවක
හඬින් තනුවක් ලැබේවිද
(හීන සරුංගල් අරිනට – පිටුව 26-27)

කඳුළු නෙතු පුරවාන
ඉකිගසන ගාසාව
මරණයක් හිනාවෙන
විත්තිකරු කවුරුන්ද
ජීවිතෙන් දඩකොළ ලියන

සලිත වෙන බෙත්ලෙහෙම
ගිනිගන්න ගව මඩුව
ෂෙල් වෙඩිල්ලකින් හිල් වෙච්ච
කුරානයෙ පිටු අඩුය.
(ඉකිගසන ගාසාව – පිටුව 33)

රිවිහාර ගේ කවිය මේ දූපතින් එහා දේශපාලන කාරණා අත්පත්කරගන්නේ එලෙසිනි. ඔහුට කවිකමක් නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. ලොක්යේ බොහෝ මානව විරෝධි සංසිද්ධි කවි ඇසින් නිරෟක්ෂණය කරමින් එහි ඇති දේශපාලන කියැවුම අත්පත් කරගන්නෝ දුර්ලභය. එකම අභියෝගය ඒ අනුභූතීන් කවියට නගන විට ඒවායේ කාව්‍යාත්මක ගුණය රඳවා ගන්නේ කෙසේද යන්නයි. නැතිනම් තමන් නොදැනීම ඒවා සටන්පාඨ බවට පෙරැලී දියාරු වී යයි.

ප්‍රේමය පාදක වූ රචනා

“පෝරුවක් උඩ උඩ බලාගෙන”, “බලාගෙන ඉන්න අයට”, “ආත්මීයව දැනුණු අනාත්ම වූ ප්‍රේමය”, “මගෙ කවිය නුඹ”, “ආදරේ ධ්‍යාන” වැනි නිර්මාණ ප්‍රේමය පාදක කර රචනා වුවද ඒ තුලද සියුම් දේශපාලනයක් යටිතලයෙහි රඳවන්නට රිවිහාර උත්සාහ ගෙන තිබේ. “වෙනුරගෙ පෙම්වතී ඈ” වැනි නිර්මාණයක රිවිහාර කතා කරන්නේ ශිෂ්‍ය අරගල වෙනුවෙන් දිවිපිදූ තරුණයෙකුට පෙම්වතියක් සිටියානම් ඇගේ සිත ඉපැදී තිබිය හැකි ආදරය කෙබඳු එකක් විය හැකි ද යන්නයි.

අපේ හිත් තුල ඇඳුණු
ඒ මහා යෝධයන්
හරිම සරල පෙම්වතෙක්
වෙන්න ඇති ඈ ගාව
තරුණ ලේ ඉවකරන
පිසාචයො සරන සමයක
දඩබිමට ඔහු යද්දි
දඩයමක් වෙන බව දැනම

ගිනියම්ව හදවත

කොච්චර නම් වුනත්
ඇය බියෙන් සැලෙන්නැති

(වෙනුර ගේ පෙම්වතී ඈ – පිටුව 95)

අතීතය විසින් අපේ ජීවත වලට එකතු කරන ලද බොහෝ දේ යළි වර්තමාන සමාජ දේශපාලනය මත තබා විමසන්නට ද රිවිහාර උත්සාහ ගනී. “ඇලිස් ඔයා දැන විස්මිත ද?”, “පිනෝකියෝ දරට අරන්” වැනි නිර්මාණ තුල එය දක්නට ලැබේ.
කෘතිය නාමකරණය කරන “අධිපීඩන මල් වැස්ස යටින්” නිර්මාණය නූතන අත්දැකීමක් කවියට නැංවූ අවස්ථාවකි.

හඬ කොළ බයිබලය දෙස බලාගෙන
සටන් පාඨ සජ්ජායනා කරමින්
ආදරේ ජීවම් කරන්නට
විජේරාමෙ ඉඳන් කොටුවට
පයින් යන්නට
ප්ලැකාඩ් මත සිහින ලියලා
උස්සගෙන යන්නට
සිලි බෑග් එකක් පුරවලා දෙන
අමෘතය ටිකක් රහ බලන්න
(අධිපීඩන මල් වැස්ස යටින් – පිටුව 63)

රිවිහාර ගේ නිර්මාණ එකතුව පුරාම දැකිය හැක්කේ දේශපාලනමය කාරනා අනුභූතීන් ලෙස ගෙන කාව්‍ය නිමවා ඇති ආකාරයයි. නමුත් එම අනුභූතීන් වඩාත් ප්‍රබල කම්පනයක් පාඨකයාගේ සිත් තුල ඇති කරණ ආකාරයෙන් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කර ඇතිදැයි ඔහු යළිත් විමසා බැලීම වටී. දේශපාලන කවියෙකු ගේ අත්දැකීම් එලෙස නිර්මාණාත්මක විය යුතු නැතැයි කෙනෙකුට තර්ක කළහැකිය. නමුත් සිය දේශපාලන ප්‍රකාශය ප්ලැකාඩ් මත ලියූ දේශපාලන සටන් පාඨයක් නොවී රසිකයාගේ මනස් අවදිකරන තියුණු හා සියුම් බවක් ඇති කරන්නට නම් එය කිසියම් කාව්‍යාත්මක බසකින්, කාව්‍ය උපක්‍රම භාවිතයෙන් ඉදිරිපත් විය යුතුය. රසිකයාට ඒවා ලිහා බලා අවබෝධ කරගැනීමට ඉඩ හල යුතුය. නිර්මාණයක් ඇසුරේ ඔහු ජීවිත පරිඥාණය ලබන්නේ එවිටය. නැත්නම් එය දේශපාලන සටන් පාඨයක් ව විසිහතර පැයෙන් අමතක වී යනු ඇත.

– කපිල එම්. ගමගේ (fb)

Comments are closed.