කොරෝනා: බිහිවීම, පැතිරීම හා වැළැක්වීම

14

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ  සමඟ කළ සාකච්ඡාවක්  ඇසුරිනි.

මේ ලියන මොහොත වන විට කොරෝනා වෛරසය චීනයට අමතරව රටවල් 25 කට වඩා  වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වෙලා. මෙය වසංගත තත්ත්වයක්. දිනෙන් දින ඉහළ යන ආසාදිත  සංඛ්‍යාවත් ආසාදිත මරණ සංඛ්‍යාවත්  කිසිවෙකුට හරියටම කියන්න බැහැ. ඒ තරමට එය මොහොතින් මොහොත වෙනස් වෙනවා.

z2019-nCoV’ ලෙස හඳුන්වන මේ වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2020 ජනවාරි 20වන දින සිය නිවේදනයක් මඟින් ලොවපුරා හදිසි තත්ත්වයක් නිවේදනය කළා. මෙම වෛරසය හැඳින්වීමේදී 2019 ලෙස යොදා ගන්නේ එය සොයාගත් වර්ෂයයි. එහි n අකුරින් new හෙවත් ‘නව’ යන්න අර්ථ ගන්වනවා.  Cov වෙතින් coronavirus (කොරෝනා වෛරස්) යන්න සංකේතවත් කෙරෙනවා.

මේ සටහන තබන මොහොත වන විටත් කොරෝනා ආරම්භය ගැන තියෙන්නේ බෙහෙවින්ම විවාද සම්පන්න අදහස්. තවමත් කොරෝනා වෛරසය බිහිව මිනිසුන් අතරට පැමිණුනේ කෙසේද යන්න පිළිබඳව අවසන් නිගමනයක් නැහැ.

ඒ කෙසේ වෙතත් දැන් මේ අර්බුදකාරී අවස්ථාවේ චීනයේ සිට කි.මී. 3914ක පමණ දුරින් පිහිටි ශ්‍රී ලංකාව මේ මොහොතේම අවධානය යොමු කළ යුතු වන්නේ කොරෝනා වෛරසය පිළිබඳව වෙනත් දේට වඩා එය පැතිරීම අපට බලපාන්නේ කෙසේද යන්නයි. එලෙසම ඉන් වළකින්නේ කෙසේද යන්නයි.

ගොඩබිමෙන් කිසිදු සම්බන්ධයක් චීනයත් සමඟ නොමැති වුවද ශ්‍රී ලංකාවටද කොරෝනා වෛරසයේ ඉලක්කයක් වීමට  බරපතළ අවදානමක් තිබෙනවා. ඊට හොඳම උදාහරණය පසුගිය දා කොරෝනා වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් මුණගැසීමයි.

අප කොරෝනා වෛරසයට ගොදුරුවිය හැකි ප්‍රමුඛම ආකාරය වන්නේ චීනයෙන් හෝ  වෛරසය ආසාදිත වෙනත් රටකින්  ආපසු පැමිණෙන ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් සමග ළඟ ඇසුරකි.

එලෙසම චීනයෙන් හෝ ආසාදිත වෙනත් රටකින්  පැමිණෙන ශ්‍රමිකයන්, සංචාරකයන්, නාවිකයන්, ගුවන් සේවක සේවිකාවන් (රටට ඇතුල්වන හෝ Transit  පුද්ගලයන්) සමග ළඟ ඇසුරක් තිබීම ද රෝගය වැළඳීමට බලපා හැකියි.

ඒ අතර ගුවන් තොටුපළකදී හෝ වරායකදී හෝ සෙනග ගැවසෙන අප නොදන්නා තැනකදී (උදා: ජනාකීර්ණ රෝහලක, වෙළඳ සලක, ආයතනයකදී, බස් හෝ දුම්රිය නැවතුමක) අහම්බෙන් අපට හමුවන ඉහත ආසාදිතයෙකු සමග ඇසුරක් නිසා අපට වෛරසය වැළදීමේ සම්භාවිතාවක්ද  තියෙනවා.

මෙතැනදී ළඟ ඇසුරක් ලෙස හඳුන්වන්නේ ආසාදිත පුද්ගලයෙකු සමග ගුවන් යානයක හෝ නැවකදී ඇසුර, කහින  විටක හෝ කිවිසුම් යවන විට ඒ අසල සිටීම, හමුවීමකදී අතට අත දීම වැනි සිදුවීම්ය. සංචාරක කර්මාන්තය ප්‍රමුඛ ආර්ථික ඉලක්කය කරගත් අපි වැනි රටක මේ නිසා පවතින අනතුර සාපේක්ෂව ඉහළයි.

මෙතැනදී අපට කළ හැකිදේ මොකක්ද?

මුලින්ම අපි ඉහත සඳහන් කළ ආකාරයේ ළඟ ඇසුරකට ඇති ඉඩ අවම කරගත යුතුයි. ඒ සමඟම නිවසෙන් බැහැර ඕනෑම සැක සහිත ස්ථානයකදී ඉඩ ලද සෑමවිටකම තම තමන්ගේ අත් සබන් හෝ වෙනත් විෂබීජ නාශකයක් භාවිතාකර සේදීම. හැකි සෑම විටකම තම අත් නොසෝදා මුහුණ, මුව, නාසය අතින් ඇල්ලීම

අවම කරගැනීම කළ යුතුයි. මෙහිදී අපට ඇතිකර ගතහැකි වැඩිම ප්‍රතිලාභයක් ගෙන දෙන පුරුද්ද බැහැර සිට නිවසට හෝ නවාතැනට පැමිණි විගස සබන් යොදා අත් සෝදා ගැනීමයි.

තමන් අවට පරිසරය පිළිබඳව සැක හැර ගැනීමට නොහැකි තැනකදී ආරක්ෂිත මුව වැස්මක් භාවිත කිරීමට අපි හුරු විය යුතුයි. ඒ අතර තමන්ට ශ්වශන ආසාදනයක් හෝ උගුරේ ආසාදනයක් ඇති සෑමවිටම  මුවවැස්මක් භාවිත කිරීම අදාළ රෝග ව්‍යාප්තිය අවම කිරීමට හේතුවක් වේවි.

මෙවැනි මූලික මෙන්ම අත්‍යවශ්‍ය දේ දෛනික පුරුද්දක් ලෙස අපට වර්ධනය කර ගන්න හැකියාවක් තිබෙනවා නම් වෛරසය පිළිබඳව අනියත බියකින් තොරව අපට අපගේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය අවුල් කර නොගෙන පවත්වා ගෙන යා හැකියි

සිසිර යාපා

Previous articleඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප‍්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි
Next article“අධිපීඩන මල් වැස්ස යටින්” දිවෙන දේශපාලන කවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here