රතුපස්වල යුක්තියේ හැඩය

10

ශ‍්‍රී ලංකාවේ මෑත කාලයේ ආණ්ඩුවක් කරන ලද අපරාධ අතර රතුපස්වල සිදුවීමට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් සමාගමක අපජලය පොළොවට මුදාහැරීමෙන් භූගත ජලයට මිශ‍්‍ර වීම නිසා ගම්පහ දිස්ති‍්‍රක්කයේ වැලිවේරිය, රතුපස්වල ඇතුළු ගම්මාන 30ක ජනතාවට ළිං ජලය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය. ඊට එරෙහිව සහ පිරිසිදු පානීය ජලය ඉල්ලා ප‍්‍රදේශවාසීන් 5,000කට වැඩි සංඛ්‍යාවක් දින පහක් තිස්සේ කළ උද්ඝෝෂණ මර්දනය කරනු ලැබුවේ 2013 අගෝස්තු පළමුවනිදා යුද හමුදාව ලවා පහර දීමෙන් සහ වෙඩි තැබීමෙනි. එම වෙඩි තැබීමෙන් සහ පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර, 50කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මේ වෙඩි තැබීම කළ හමුදා කණ්ඩායමට නායකත්වය දුන්නේ බි‍්‍රගේඩියර් අනුර දේශපි‍්‍රය ගුණවර්ධන ය. මේ සම්බන්ධයෙන් බි‍්‍රගේඩියර් දේශපි‍්‍රය ගුණවර්ධන ඇතුළු හතර දෙනකුට එරෙහිව ගම්පහ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ අතර, ඔවුන් දැන් සිටිනුයේ ඇප පිට ය. යුද හමුදාවෙන් ම කළ මූලික පරීක්ෂණයකින් ද දේශපි‍්‍රය වැරදිකරු බව තීරණය කර තිබීම විශේෂත්වයකි.

මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, පහර දීම, බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 96ක් ඔවුන්ට එල්ල කර තිබිණි.

ආණ්ඩු මාරුවෙන් පසු නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ එම චෝදනා ඉවත් කරගෙන සංශෝධිත චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කරන බවයි. ඒ අනුව චෝදනා 96, චෝදනා 83ක් දක්වා පහළ දැමීමට නියමිත ය.

ඇප පිට සිටින මේ ප‍්‍රධාන චූදිතයා විශේෂ ආරාධිතයකු ලෙස පසුගිය 30 වැනිදා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වීමට අදාළ ඡායාරූපයක් අප පුවත් පත පසුගිය සතියේ මුල් පිටුවේ පළ කළේය. ඉන් පසු මිනීමැරුම් නඩුවකට ඇප පිට සිටින මේ ප‍්‍රධාන චූදිතයා පසුගිය නිදහස් උත්සවය දා මේජර් ජෙනරාල් ධුරය දක්වා උසස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. අපරාධ චෝදනා එල්ල වූවකුට කුමන තත්ත්වයක් යටතේ හෝ මෙසේ උසස්වීම් ලබා දීම නීති විරෝධී වේ. අධිකරණයෙන් නිදොස් කොට නිදහස කළහොත්, එම වරප‍්‍රසාද පසුව ලබා ගැනීමේ අයිතිය ඔහු සතු ය.

වතුර ඉල්ලූ අහිංසකයන්ට වෙඩි තැබූ චූදිතයාට උසස් වීම් දීමෙන් ආණ්ඩුව මේ රතු එළිය දැල්වූයේ නිකමට නොවේ. ඒ අතරේ ඔහුට එරෙහි චෝදනා ද සංශෝධනය කෙරේ. ඉදිරිය පැහැදිලි ය.

-එරංගාජයවර්ධන

Previous articleවිනී හෙට්ටිගොඩ කාටුන් ‘ලංකා’ 2020-02-16
Next article“නාමල්ගේ විනාඩි 18 ක හඬපටයක් තියනවා” – රන්ජන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here